Saturday, March 21, 2020

වැස්ස පිළිබඳ මගේ ම පෙර වදන




වැස්ස පිළිබඳ මගේ ම පෙර වදන



එදත් වැස්ස වහින්නට විය. අම්මා සමාජ අධ්‍යයනයේ දී ළමයින්ට ඉගැන්වූ අයුරින් මැයි සිට සැප්තැම්බර් දක්වා මහ වැසි වැටුණත් ඒවා නිරිත දිගට නෑකමක් දක්වන බවක් නම් පොඩි අපට නොතේරිණි. අවුරුද්ද පුරා ම අපට වැස්සෙන් හිඟයක් නොවිණි. එසේ වන්නේ මුහුද අපේ ළඟම නෑයකු වන නිසා යැයි මට සිතුණි. අපේ ලොකු අම්මලාගේ ගෙදරට මුහුද පෙනෙන දුරය. ඒ වැස්ස හරි හුරතල්ය. අපටම කියා පුංචි කුඩ තිබුණත්, අම්මා විසින් මසන ලද වැහි කබා තිබුණත් අප ආසා කළේ තෙමෙන්නටය. ලෙඩ වෙනවාට අපේ බයක් නොවිණි. අම්මා ඉන්නවා නොවැ.. ඒ වැස්ස අපට පීඩා කළේ ද නැත. මීපාවල ඉස්කෝලේ හෝඩියේ පංතියේ සිට වැස්ස වැටෙන හැටි දැල් අතරින් අපි බලා සිටියෙමු.  හෝඩියේ අපේ හෙට්ටි මිස් අද ජීවතුන් අතර නැත. ඇය ගෙනැත් දුන් පාටවලින් මම චිත‍්‍ර පොතේ වැස්ස ඇන්දෙමි. 

ගමේ සිට නගරයට එද්දී වැස්ස ද අප පසුපසම පැමිණියේ ය. ශිෂ්‍යත්වය සමත් වූවාට තෑගි ලෙස අම්මලා විසින් තෑගි කරන ලද රතු පාට ඉස්පෝර්ට් බයිසිකලයෙන් විටෙක උසස් පෙළ ටියුෂන් පංතියට ද, විටෙක පාසලට ද යන කොලූ ගැටයා ධාරාණිපාත වැස්සේ වුවද දකුණතින් බයිසිකලයේ හැඬලය අල්ලාගෙන වම් අතින් කුඩය ඔසවා ගෙන දිගටම පැද්දේ ය. හෝලූවාගොඩ ගැලූ එක් දවසක බයිසිකලයත් සමඟින් ගං වතුරට ගසාගෙන යන්නට හදද්දී සුගතෙ මාමා අප එගොඩ කළේය.

කොළඹ වැස්ස අපට ආගන්තුක විය. එය අපට හිරිහැර කළේය. කුණු දූවිලි මුසු වී ඇති වැහි බිංදු රෝග කාරකයින් සේ සලකා අපි වැස්ස පාත් වද්දී කුඩ ඉහළා ගත්තෙමු. එහෙත් ඒ වැස්සට අප ලෙඩ වී ඔත්පල විය. ජීවිතය පිට පිට ම පරාජය වන්නට විය. ජයග‍්‍රහණයක් පෙනෙන තෙක් මානයකවත් නොවිණි. ගවු ගාණක් ඈත දුරක සිටි අපේ අම්මලා මේ වැස්ස ගැන දැන සිටියේ නැත. මා ද එය ඔවුන්ගෙන් වහන් කළේ සිතැවුලක් නොවන්නටය. එහෙත් සෙහාන්ලා, කරන්ලා, චමත්ලා, සමන්තලා අප අත නොහැරියෝය. දෙපා සිඳුණ අතීතය ගැන අද අපි දෙපයින් සිටගෙන කතා කළත් එදා එය ඒ තරම් මිහිරි නැති බව හේරත් ද හොඳින් දනී. පතළ නැණැති ජනක පෙරේරාණන් වැනි විද්වතකු අප අසල ම හිඳීම අප ලද වාසනාවක්මය. දිමුතුගේ සමු ගැනීම කිසිදු සැඩ පහරකට ගසා නොයන සීතල ම මතකයක් ය. සීතලට ගුලි වෙමින් කවිය ඇතුළු හදටම වැදී වැතිරිණි. එහෙත් ඒ වැස්සේ තෙමෙමින් පාළු පිට්ටනිය මැද, දිරාගිය කණුව මතට වී පොද වැස්ස ගැන ගීය ගැයූවෙමි.

පාළු පිට්ටනිය මැද
දිරා ගිය කණුව මත
හරිහමන් නමක් නැති කුරුල්ලා
වැරදුණේ කොතැනදැයි හොයනවා

ගං ඉවුර අස 
මල් පිරුණ ගස
ඇස් පියාගෙන හිතනවා
මහලු කූඩුව සිහි ව
පියාඹා යනු බැරි ව
හෙමින් තටු පිරිමදිනවා

හිටිවන ම කළු ගැසුණ
නිහඬ නිසසල අහසෙ
රිදී ඉරි ඇඳෙන හැටි දකිනවා
ගිටාරය වය වයා
පොද වැස්ස ගැන ගීය ගයනවා
වැරදුණේ කොතැනදැයි අහනවා

මුරුගසන් වරුසාව වී අහස
කඩාගෙන වැටෙනවා
වැරදුණේ මෙතැන නොවෙදැයි
ඌට නිකමට හිතෙනවා
ඒත් දිගට ම ගයනවා

‘‘මඟ වැටුණ කොස්කොළ ඔටුන්න ඔහු යළි අහුළා ගත්තේය. එය රත්තරන් ඔටුන්නකැයි බොහෝ දෙනෙක් කීහ. එහෙත් එය ගලවා මල්ලේ දමා ගෙන දියතලාවට පැමිණියේය ඔහු. ඔහු මෙහි ආවේ එන්නට  ඕනෑ නිසා ය. ඉමහත් අකැමැත්තෙනි. අවුරුදු ගණනාවක් ගෙදරින් ඈත්ව බෝඩින් ජීවිතයට පුරුදුව සිටියෙන් නොස්ටැල්ජියා තත්වයක් නොවුණත් එදා කියා ගත නොහැකි කිසියම් අපුලකින් ඔහු සිත පිරී තිබිණි. තමා කිසිදා නොදුටු, නොවිඳි අලුත්ම පරිසර පද්ධතියකට පිටත් වන නිසා වන්නට පුළුවන. ඔහු උන්නේ සීතලට ගැහෙමිනි. දත් මිටි කට කට ගාමිණි. එහෙත් කොළඹ කට්ට අවුවට දැවී, තැවී, තුවාල වූ සිතේ තැන්වලට සීතල ඔසු තවරා කැළැල් නොහිටින්නටම සුවපත් කරන්නට දියතලාව නම් වූ ඇයට හැකි විය. ඉන්පසු කොලුවා සීතලෙන් වේව්ළුවේ නැත. එය සෞම්‍ය කාලගුණය විය ඔහුට. තමා සතු සියලු සෞන්දර්යයම ඇය ඔහු නෙත් මානයේ තැබුවාය. ගස්වල මල් පිපී තිබුණි. ඒ මල් අතර එක් සුවිශේෂී මලක්ද විය. එහෙත් මහලු කෝකිලයාම ඉගිළ ගියේය. කැඩපතේ පෙනෙන නරකෙස් දැක දැක වැළපුණේය. මියෙන තුරුම ඌ ඒ දුක ගයනු ඇති.’’
https://gamunupdassanayake.blogspot.com/2014/10/blog-post_18.html

දියතලාවේ වැස්ස සීතල ම සීතලය. අපට සිරගත වන්නට සිදු විය. හිරා, ලකා, තරා, ප‍්‍රියා අපි සිව් දෙනා එදා එකම වාට්ටුවක සිරකරුවෝ වීමු. එළියේ වහින වැස්සේ සීතල දැනුණත් ඒ දෙස බලන්නටවත් නිදහසක් අපට නොවිණි. එහෙත් මල්ලේ ඇති ඔටුන්න ගැන සිතන විට යම්තාක් සිත උණුසුම් වෙයි. ඇතැමුන් තම ලොකුකම් පෙන්වන්නට අපට පයින් ගසා එළවද්දී ගුරුතුමා යළි අප කැඳවා මඟ පෙන්වීය. මලින්ද අයියා, චාරුණී, ලක්මාලි, ගයාත‍්‍රී සොයුරු ජ්‍යෙෂ්ඨයිනි, ඔබ අපට බොහෝ දේ කියා දුන්නෝය. බොහෝම ස්තූතියි. ප‍්‍රබෝධන, බුද්ධිකා, තරිඳු, චමින්ද, හිමාෂාලා ද ඒ ගමනේදී අපට තැනින් තැනදී හමු වූ සහෘදයෝ ය. පහේ, දෙකේ, තුනේ, හතේ ඇතුළු සියලු වාට්ටු කාර්ය මණ්ඩලය සිහිපත්කරමි.

මොනරාගලට වැස්ස නේත්‍රෝත්සවයකි. නොවැම්බරයේ නම් එක දිගට ම වසී. කාෂ්ටක යැයි බොහෝ දෙනා හැඳින්වුව ද මේ බිමේ බොහෝ තෙතමනයන් රැඳී තිබේ. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ‘‘වස්සානේ’’ අවුරුද්ද පුරාම දකින්නට නොලැබුණත් ඒ සෞන්දර්යය තවමත් ඉතිරි ව ඇත. මේ මිනිසුන් තෙමෙන්නේ වැස්සට මතු නොවේ. අහසින් නොවැටෙන බොහෝ ව්‍යාධීන්ට ඔවුහු ගොදුරු වෙති. මෙහි වැස්ස බොහෝ විට ඔවුනට හිරිහැර නොකරයි. එහෙත් තාත්තලාගේ ඉල්ලීම මෙයාකාරය.

අදත් මරගල කන්ද මතින් එයි දිවාකර
වක්කරන් නගරයට සෙංගමාලේ පාට
කුරුලූ බිළිඳියක තටු සවි නැතිව බිම වැටුණ
තුරුලූ කර ගත් මවට සුබ ද මේ උදෑසන

ඈත හේනක ඇහෙන පැල් කවක තාලයට
නැලවෙන්න පුළුවන්ද බඩ ඉරිඟු පැළයකට
ගිනි අව්ව බීලාය පොළොවෙ තෙත ඔක්කෝම
හුලංදා ඔයත් දැන් අසරණය දුප්පත්ය

මොනරුන්ට වියා දෙන්නට ඉරුණ පිල් කළඹ
නැහැ පුංචි දුව කුරුම්බැට්ටි මැසිමත් එක්ක
දිය සිඳී වේදනා නහර වැල් සේ පෙනෙත
කතරගම දෙයියනේ අහස ඇයි නිශ්ශබ්ද

සිඳී ගිය ඔය හැඩ ව සිනා සී ගලන්නට
අහස පුරවන් ඉන්න වැස්ස ඩිංගක් දෙන්න
තැලසීමියා පුංචි දුවට යළි නැගිටින්න
ඔබට පුළුවන් නේද ලේ බිඳක් දන් දෙන්න

මොනරාගල සිට පොතුවිල් යද්දී ලේ බැංකුව හමු වේ. 

‘‘කිලෝමීටර දෙකක් ගෙවුණ තැන වම් පැත්තේ මට මගේ ගෙය හමු වෙයි. මැද ගේට්ටුව ඉදිරියේ නතර වී හිස ඔසවා බලමි. කිලෝමීටර දෙසියයකටත් ඈත පිහිටි මගේ ගමට අත පොවන්නටවත් බැරි මට ලේ බැංකුව ලෙස පුවරුවක් ගසා ගත් මෙයට ගෙදර යැයි කීමේ කවර වරදද? එදා ඔවුහු මා පිළිගත්තෝය. කතා බහ කළෝය. තේ හදා දුන්නෝය. කෑවාද බීවාද කියා ඇසුවෝය.’’ 

ඒ මතක එයාකාරය. අබේසිංහ මැඩම්, ප‍්‍රභාත් අයියා, යසිත් අයියා, ශ‍්‍රීමාලි නංගී ඇතුළු මොනරාගල ලේ බැංකුවේ සියලූ කාර්ය මණ්ඩලය සෙනෙහසින් සිහිපත් කරමි. 

-----

මතු ලියැවෙනුයේ මා අත් දුටු දේ ය. අත්විඳි දේ ය. මට කියා ගන්නට බැරි වූ දේ ය. කියා ගන්නට බැරි ව හිතේ කැකෑරෙමින් තිබූ දේ ය. කියා ගන්නට  ඕනෑ වූ දේ ය. කෙනෙක් එය බොරුවක් ලෙස වුව ද දකින්නට බැරි නැත. අතාත්විකයැයි කියන්නට ද පුළුවන. තව නොයෙක් දේ කියනු ඇත. ඒ සියල්ල අසා සිටීමට මා සූදානම්ය. 

මගේ ඒ අත්දැකීම් නිර්මාණයක් වූ පසුව විවිධ තරගවලදී ඒවාට වටිනාකම් ලැබිණි. ලංකා ලේඛක සංවිධානයට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සංවිධායකවරුන්ට, දකුණු පළාත් සාහිත්‍ය තරගාවලිය සංවිධායකවරුන්ට මා ස්තුතිය පුද කරන්නේ එම දිරිගැන්වීම් ආධුනික අපට මහත් පිටිවහලක් වූ නිසා ය. 

මගේ අත්දැකීම් කෙටි කතා පොතක් බවට පත් වන්නේ ගොඩගේ සමාගමේ කෙටි කතා ව්‍යාපෘතිය මගිනි. එහි සම්බන්ධීකාරක උපාලි ලීලාරත්න මහතාත්, ගොඩගේ මැතිතුමා ඇතුළු නන් අයුරින් උපකාර කළ එම කාර්ය මණ්ඩලයත් ස්තුති පූර්වක ව සිහිපත් කරමි.

ගැමුණු පී. දසනායක
අඟුරුමුල්ල, නරාවල, පෝද්දල
2015-11-08






No comments:

Post a Comment