Sunday, January 14, 2018

කොස්ලන්ද විහාරය (කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාමය විහාරය) KOSLANDA VIHARAYA

කොස්ලන්ද විහාරය (කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාම විහාරය)

කොස්ලන්ද ටවුම අද බොහෝ කාර්යබහුල ය. හෙට ජනවාරි 14 දෙමළ ජනතාව ඔවුන්ගේ තෛපොංගල් අවුරුද්දට ලහි ලහියේ සූදානම් වෙයි. 

බෙරගල සිට හෝ වැල්ලවාය සිට කොස්ලන්ද ටවුමට පැමිණ එතැනින් පූණාගල පාරේ කිලෝමීටරයක් පමණ ගිය තැන කොස්ලන්ද පුරාණ විහාරය හමු වෙයි. එය අද ශ‍්‍රී අරියවංශාරාමය ලෙස නම් කර ඇත. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ද එලෙස ය. අද විහාරස්ථානය ද කාර්ය බහුලය. උදෑසන ලේ දන්දීමේ පින්කමකි. සවස අල්ලපු වැටේ ඉස්කෝලේ පැවැත්වෙන ධර්ම දේශනාවකි. ඒ සඳහා පදලංගල හාමුදුරුවන් වැඩමවීමට නියමිත ය.


ලේ දන්දීම





විහාරය පිළිබඳ ඉතිහාස තොරතුරු සොයා ගැනීමට අපහසු වුවත් තැන තැන මේ ගැන කෙටියෙන් සඳහන් වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය

‘‘ඌව පළාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්පිටිතැන්න ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.
කොළඹ බෙරගල හරහා වැල්ලවාය පාරේ කොස්ලන්දෙන් හැරී පුනාගල මාර්ගයේ මද දුරක් ගිය විට මෙම විහාරය හමු වේ.
විහාරගෙය ඇතුළත කළු ගලෙන් නෙළන ලද හිඳි බුදු පිළිමයකි. කොස්ලන්දට නුදුරු උඩහමුල්ල ග‍්‍රාමයේ ලෙනක් තුළ තිබී මෙම පිළිමය විහාරයට ගෙන ආ බව කියයි. පිළිමය රැගෙන එන විට සිවුරු රැලි නිමවා තීන්ත ආලේප කොට තිබී ඇත. මෙම පිළිමය දෙපස හිටි පිළිම 02 ක්ද සැරියුත් හා මුගලන් අගසව් දෙදෙනාගේ මුර්ති ද නිර්මාණය කොට ඇත.
විහාරගෙයි වියන නෙළුම් මෝස්තරය සහිත වන අතර බිත්තිවල සූවිසි විවරණය, සත්සතිය සිතුවමට නගා ඇත. මේවා මහනුවර යුගයේ සිතුවම් ලක්ෂණ ප‍්‍රකට කරයි. මේ හැරුණු විට ඉපැරණි බෝධියක් මෙම විහාරස්ථානයේ දක්නට ලැබේ.  විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය සහ චෛත්‍යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත.’’
http://www.archaeology.gov.lk ,  14-01-2018 )


ඌව ඉතිහාසය-නාවුල්ලේ ධම්මානන්ද හිමි

‘‘කොස්ලන්දේ විහාරය

අනතුරුව අපගේ පැමිණීම වූයේ කොස්ලන්ද නගරයේ රම්‍ය භූමියක පිහිටි සිද්ධස්ථානයක් වෙතය. මෙහි වූ චෛත්‍යාදිය නම් ඉතා පැරණි නොවූව ද ප‍්‍රතිමාලයයෙහි වූ පස් රියන් පමණ වූ ශිලාමය ප‍්‍රතිමාව ප‍්‍රතිමා නිර්මාණ ශිල්පයේ ජය ධ්වජයක් බඳු වෙයි. පැරැණි නටබුන් වෙහෙරක තිබී ගෙනවුත් දැනට මෙහි සුරක්ෂිතව තබා තිබෙන මෙහි නිර්මාණ සමයය ද පුලස්ති පුර සමය සේ සැලකිය හැකි ව තිබේ’’
(පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමි, ඌව ඉතිහාසය. ඇම්.ඞී. ගුණසේන, කොළඹ: 1966 සැප්තැම්බර්, 188 පිටුව)

ඌවේ වංහුං - සුජීව කුමාර කෝවිලතැන්න

‘‘කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාමය විහාරය

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පිටියතැන්න ග‍්‍රාම නිලධාරී වසමේ මෙම පූජනීය භූමිය පිහිටා ඇත. 19 වන සියවසට අයත් පිළිමගෙයි තැන්පත් කර ඇති පිළිමය ගල්වලින් සකසා රෙදි අලවා මැටි ගසා සකස් කර තිබේ. එහි ඇති සිතුවම් ද 19 වන සියවස දක්වා ඈතට දිව යයි. පොහොය ගෙයද පැරණි ස්වරූපයක් ගන්නා අතර, ගරාවැටීමට ආසන්න චෛත්‍යය ද වසර 100ක් පමණ පැරණි බව පැවසේ.
කොළඹ බදුල්ල මාර්ගයේ බෙරගල හන්දියෙන් කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ කි.මී. 17ක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟා විය හැකිය.
(සුජීව කුමාර කෝවිලතැන්න, ඌවේ වංහුං. කර්තෘ ප‍්‍රකාශන: 2015, පිටුව 221 )






















ගැමුණු පී. දසනායක
2018-01 ගිය ගමනක්

Friday, January 12, 2018

පීස්ස ඇල්ල පීස්සගම පාරෙන් PEESSA ELLA

දෙවෙනි ගමන - පීස්ස ඇල්ල

එදා මා කැමරා හදවතේ රැඳුණු පීස්ස ඇල්ල දුටු ඇසක් හඬා වැටිණි. දෙවැනි ගමන ඒ වෙනුවෙනි. පළමු ගමනත් ගිහින් යනවනම් ඉන්න මං එක්ක යන්නම් මේ ලින්ක් එක දිගේ.
http://gamunupdassanayake.blogspot.com/2017/10/blog-post.html
එදා මා යද්දී ගමන් මඟ පිළිබඳ මෙලෝ හසරක් දැන සිටියේ නැත. එහෙත් අද... මඟ මඟ අඩියක් අඩියක් ගානේ දන්නා ලූෂාන්තයින් ය. ඔහු තවත් යාළුවෙකුත් ගමනට කැන්දාගෙන විත් තිබිණි. පස්සර සිට ත‍්‍රී වීලයෙන් පැමිණි ඔවුන් අපට සෙට් වුණේ මොනරාගල හන්දියෙනි. හරියටම කියනවා නම් මොනරාගල සිට බදුල්ල පාරේ විනාඩි හතළිස් පහක පමණ දුරක් ආ විට උඩට දිවෙන බිබිල පාර හමුවන තැනදී ය. මාර්ගය නම් මේ දිනවල පිළිසකර කෙරෙමින් පවතී. තැන තැන පස්, ගල් ගොඩවල්ය. යන්ත‍්‍ර සූත‍්‍රය. ඇතැම් විට වාහන මාරු වීම සඳහා මඳක් රැඳී සිටීමට සිදු වේ. හෙට දවසේ මඩකළපුව දක්වා දිවෙන සුපිරි මගක් වෙනුවෙන් අප ඉවසිය යුතු ය. හැමදාම වගේ අදත් අපේ නඩය අතිශයින් දුප්පත් ය. 

‘‘හුස්මක් අයදින ජීවිතයක් ළඟ හිතන්න විතරක් පුරුදු වෙලා
හිඳින්න හිතවත මොහොතක් නැවතී මනුස්ස දෙවිවරු වඩිනු බලා’’

ඉදිරියෙන් දුවන ලූෂාගේ ත‍්‍රීවීල් එකේ පිටේ ගසා ඇත්තේ ඔහුගේ සිතිවිල්ලයි. එදා මා පීස්ස ඇල්ලට යද්දී දුටු මඟ ලකුණු එකින් එක පසු වේ. යසන්තගේ ඉස්පිරිතාලය පසු විය. මීදුම්පිටිය ටවුම පසු විය. මිල්ලබැද්ද නම් වන ලූෂාන්තගේ ගමේ හන්දියේදී ඔවුන් ත‍්‍රී වීලයෙන් බැස අපට එක් විය. බිබිල දෙසට ඇදෙන අපට එදා මා හැරුණ කාංචනා මාවත දැක ගත හැකි ය. එහෙත් ‘‘ දිගටම යං.....’’. දැන් අපට හොප්ටන් වතු යාය දැකිය හැකිය. ඒ පසුවූයේ හොප්ටන් ප‍්‍රාදේශීය රෝහලයි. දිගටම දකුණු පැත්ත බලාගෙන ගියොත් පීස්සගම කිරි ගම්මානය ලෙස ගසා ගත් පුවරුව වරදින්නේ නැත. එතැනම ඌව පළාත් සංචාරක අමාත්‍යංශයෙන් ගැසූ පුවරුව ඇල්ලට කිලෝමීටර 5 යි කියා අප දැනුවත් කරයි.


මෙතැනින් දකුණට ඇති අතුරු මාර්ගයයි අපට ඒ අඬ ගසන්නේ. මේ පාර එදා මා ගිය කාංචනා පාරට වඩා යහපත් ය. එහි කුඩා වාහන දෙකකට පවා මාරු විය නොහැකි බව මා කීවා මතක ඇති. එහෙත් මෙහි ගමන අමාරු නැත. මඟ දෙපස ද සෞන්දර්යය යායක් එළා ඇත.






 පීස්සගමට යන මේ පාරේ බස් එකක් ධාවනය වන බව ලූෂාන්ත කීවේ ය. කිලෝමීටර් පහකින් පමණ අංශක අනූවේ වැලමිටි වංගුව ළඟ නතර විය යුතු ය. මඟ පිළිබඳ නිනව් දන්නා ලූසා නොහිටින්නට මට එතැන මඟහැරෙනු ඇත. එතැන බෝඞ් ගසා නැත. දකුණු පැත්තේ පහළට දිවෙන පඩිපෙළ පෙනෙන්නේ බැස බැලූවොත් පමණි. 





ඔව්... දැන් වාහනවලින් බැස පඩිපෙළ බසින්න. 




පඩිපෙළ බසින තැනම ඈතින් අපට ඒ සොඳුරු මනාලිය දැක ගත හැකි ය. මහ පාරට පවා ඒ දසුන දැකිය හැකි වුවත් කැලෑව වැවී ඇති නිසා එය තරමක් දුෂ්කර ය. මීට වසර ගණනාවකට කලින් නම් එය පාරට පෙනෙන සොඳුරු දසුනක් බව අපට කීවේ ලූෂාන්තගේ මිත‍්‍රයා ය. මිස්ටර් විජේසිංහ ය.

ලූණුගල ප‍්‍රාදේශීය සභාව විසින් ඉදි කොට ඇති පඩි පෙළ දිගේ කිසිදු අපහසුවකින් තොරව ඉදිරියට ම ගමන් කිරීමේ පින ඔබට ඇත. එහෙත් මා එදා ගිය දුෂ්කර ගමනෙන් ලද ආස්වාදය නම් අපූර්ව එකකි. 




පඩිපෙළ බසිද්දී ඈතින් වම් පසින් කඳු යායක් දිසේ. 





‘‘ඒක මොනරාගල කන්ද... මොනරෙක් තටු අකුළන් හිටියාම පේන විදිය නිසා එහෙම කියනවා....’’ ලූෂාන්ත අපට විස්තර කළේය. ඒ පෙනෙන්නේ මොනරාගල දිසාවයි. ‘‘ඒ කන්දත් අපේ තමයි... කඳු යායම අපේ තමයි.... ’’ කියා මොනරාගල අපට කිව හැකි ය. දෙපස නෙල්ලි ආදී පඳුරුයෙන් ගහණ ය. වියළි කලාපයේ පිහිටිය ද තෙත් කලාපීය ලක්ෂණ දරණ විශේෂිත වනාන්තරයකි මේ පීස්ස රක්ෂිතය. 



පඩි පෙළ පාමුල ඇළ මාර්ගයයි. එය පීස්සගමට ජලය ගෙන යයි. කොන්ක‍්‍රීට් බැමි සහිත ඇළ ඉවුර මතින්, හුඹස් උඩින් පනිමින් අපි ඉදිරියට ඇදෙමු. 



මගදී පැරණි පීස්සගම ජල විදුලි බලාගාරය හමුවේ. 






‘‘දැන් පහළ අලූතෙන් ඉදි කළ බලාගාරයක් තියෙනවා’’.





කැලෑ මගේ එසේ ඇදෙන අපට එදා මා උඩ සිට පැමිණි දුෂ්කර මඟ මූණට මුණ ගැසේ. ඒ මීටර හය හතක් උස පඩි පෙළකින් කඩා හැළෙන කුඩා ඇල්ල පාමුලදී ය. 




මින් පසුව ඇත්තේ දෙපසින් හමුවන මඟ එක් වී යන පොදු මඟයි. එයද බැස්මකි. පඩිපෙළ සහිත ය. ඒ මඟ ගැන නම් අද අමුතුයෙන් කිව යුතු නොවේ. මා එදා විස්තර කෙරුවා මතක ඇති නොවැ... එහෙත් අද එදාට වඩා කොළ රොඩු වැටී පඩි පෙළ මත දිය සීරාව රැඳී ඇත. වඩා පරිස්සමෙන් යා යුතු ය.








 ‘‘කවුදෝ රජකෙනෙක් කොහේදෝ යුද්ධෙකට යන ගමන් මේ ගල්වල නිධන් තියල ගිහිල්ලා. ඒත් දැන් නම් නැතිලූ....’’

වැස්සක් කඩා පාත් වේ. කුඩ මොකටද... ගස්වැල්ම අපට සෙවණ දේවි... මඟ දෙපස තැන තැන ඇති ලෙන් වැහි ආවරණ ම ය. 

ඇල්ල පාමුල ඉදිකොට ඇති පීඨිකාවට ගොඩ වෙමු. සොඳුරු මනාලිය පිරිස සමඟ යළි පැමිණි මනාලයා දෙස බලා සිටී. හඃ... හඃ.... හා.... ඉතින් විඳිමු ඇති තරම් මේ සෞන්දර්යය. 









සෞන්දර්යය පසුපස මැකී ගිය ආදර කතාවන්ද නැතුවා නොවේ. කෙල්ලක් මෙහි උඩ සිට පැන්න කතාව කීවේ ගාමිණීය... ඒ එදාය. මම මෙතනදී අදත් එය මතක් කළෙමි. 




දැන් මා දෙපැත්තකින් මෙතනට පැමිණ ඇත. සුන්දරතාවන් පසුපස හඹා යන ඇස් සිවු දිසාවෙන්ම බැල්ම ලන හැටි.... තවත් දිසාවක් ඇත. ඒ ඇල්ල පාමුලට පැමිණෙන මඟයි. ඒ මඟ කීවේ අපේ සුබා මිස්ය. එය ඇගේ ගම හරහා ඒ කියන්නේ මැදගම දෙසිනි. ඒත් ඇයට මඟ පිළිබඳ නිනව්වක් නැත. දන්නා කෙනෙකුගෙන් අසා ඇය හෙට මඟ කියනු ඇති. ඉතින් අපි මේ සුන්දරිය බලන්නට ඒ පැත්තෙනුත් එමු.









ඇල්ල පිළිබඳ

මෙය කුඹුක්කන් ඔයේ සොඳුරු නිර්මාණයකි. කුඹුක්කන් ඔය මඩොල්සිම කඳුවැටිවලින් ඇරඹී කිලෝමීටර 116 ක මඟ ගෙවා කුමනෙන් මුහුදට වැටෙන සෞන්දර්යයයි. ඇල්ල නිර්මාණය කරනු පිණිස අඩි 300 ක පමණ ඉහළකින් බිමට පනී. 


පීස්ස ඇල්ල ඉතිහාසය

මෙම ඇල්ල ආදියේ හඳුන්වා ඇත්තේ ‘‘මොරහෙළ ඇල්ල’’ නමිනි. එහි ඉතිහාසය පණ්ඩුකාභය රජ දවස දක්වා දිවෙන්නකි. ඌව විහාර වංශයට අනුව මේ ඇල්ලේ මැද ඇති ගුහාව ඍෂි ලෙනක් වන අතර එයින් ඇතුළු වී යා හැකි උද්‍යානය මහා ඍෂි වාමන සූත‍්‍රගේ වාසභවනයි.

‘‘ජන ශූණ්‍යව මහ ගණ වනයෙන් වැසී ගත් ඍෂි ලෙන පිළිබඳ ලේඛනයක් මුලින්ම හමු වන්නේ මොරඇල්ල පසෙකින් පෙනෙන ගබ්බරු කන්දේ ගලෙක කෙටූ අක්ෂර මාලාවකිනි. වසර හැත්තෑවක් රජ කළ පණ්ඩුකාභය රජතුමන්ට හමු වූ මොරඇල්ලේගල සම්බන්ධ විස්තර අනුව ඊට පිවිසීමේ භාග්‍යය ලද පළමුවැන්නා ද එම රජතුමන් ය. එතුමා ඍෂි ලෙන දැක බලා අනතුරුව එතුළ විශේෂ ශෛලමය කාමර සාදවා විවිධ වස්තු තැන්පත් කළේ ය. ’’
(ඌව විහාර වංශය, බණ්ඩාර, වි.වා.මු. තිලකසිරි සංස්. ධම්මතිලක හිමි, ඔබ්බේගොඩ, ඌව පළාත් සභාව, 1991, පිටු 196)


අතීතයේ දුටුගැමුණු රජතුමා යුද්ධය පිණිස යන ගමනේදී මහත් සේවාවක් සැපයූ ස්ථානයකි මැදගම හා ඒ අවට ප‍්‍රදේශය. ඒ අවට ග‍්‍රාම නාම එනම් බකිනිගහවෙල, අයිවෙල, දිගාවෙල ආදියේ නම් සෑදී ඇති අයුරු ගුණසේකර ගුණසෝමයන්ගේ ‘‘ජනකතා සංග‍්‍රහයේ’’(ඇස්. ගොඩගේ, 2011) මොනවට විස්තර කරයි. ගැමුණු කුමරු සටනට ගෙන යන අවි ගබඩා කෙරූ වෙළ අවි වෙල ලූ පසුව අයිවෙල වූයේ. අපූරුයි. ගුණසේකර ගුණසෝමයිනි ඔබට බෝම ස්තුතියි. ඉතින් මේ දුටුගැමුණු රජු වෙහෙරබද්ද නම් ඇළ බැඳීම සඳහා පිරිස එක්රැුස් කළ ස්ථානයලූ පීස්ස බවට පත්වූයේ. ගමන අතරතුර අප ලූෂාන්තයින් පැවසූ ‘‘කවුදෝ රජකෙනෙක් කොහේදෝ යුද්ධෙකට යන ගමන් මේ ගල්වල නිධන් තියල ගිහිල්ලා. ඒත් දැන් නම් නැතිලූ....’’ කියන කියමනට අදාළ රජතුමා දුටුගැමුණු ම වන්නට ඇත. 


පසුකලෙක ඞී. ඇස්. සේනනායක යුගයේ පීස්සගම ආශ‍්‍රිත ව කළ පීස්ස ජල ව්‍යාපෘතිය නිසා අතීතයේ සිට හැඳින්වූ මොරහෙළ ඇල්ල ද පීස්ස ඇල්ල බවට පත් වූවැයි සිතිය හැකි ය.    

ගැමුණු පී. දසනායක
2018-01 ගිය ගමනක්