Saturday, October 18, 2014

ලිප්ටන් සීට්



ස්ථාන මාරුව දුර දුර අඩි තබමින් ළඟ ළඟ ම පැමිණේ. එය කොල්ලාගේ අතින් ඇදගෙන ගම රටට රැගෙන යනු ඇති.  ඉස්කෝලේ යන්නට අකමැති හෝඩියේ පන්තියේ පොඩි එකෙකු සේ ඔහු ඒ අතින් මිදී යළි දුවන්නට හැකි හැම වැර ම යොදනු මට මා ඉදිරියේ මැවී පෙනෙයි. මීට මාස දහ අටකට ඉස්සර ඔහු මෙහි ආවේ එන්නට  ඕනෑ නිසා ය. ඉමහත් අකැමැත්තෙනි. අවුරුදු ගණනාවක් ගෙදරින් ඈත්ව බෝඩින් ජීවිතයට පුරුදුව සිටියෙන් නොස්ටැල්ජියා තත්වයක් නොවුණත් එදා කියා ගත නොහැකි කිසියම් අපුලකින් ඔහු සිත පිරී තිබිණි. තමා කිසිදා නොදුටු, නොවිඳි අලූත්ම පරිසර පද්ධතියකට පිටත් වන නිසා වන්නට පුළුවන. ඔහු උන්නේ සීතලට ගැහෙමිනි. දත් මිටි කට කට ගාමිණි. එහෙත් කොළඹ කට්ට අවුවට දැවී, තැවී, තුවාල වූ සිතේ තැන්වලට සීතල ඔසු තවරා කැළැල් නොහිටින්නටම සුවපත් කරන්නට ඇයට හැකි විය. ඉන්පසු කොලූවා සීතලෙන් වේව්ළුවේ නැත. එය සෞම්‍ය කාලගුණය විය ඔහුට. අද හෙට හැර යන්නට සිදුව ඇත්තේ එහෙව් දියතලාව ය.


තමා සතු සියලූ සෞන්දර්යයම ඇය ඔහු නෙත් මානයේ තැබුවාය. ගස්වල මල් පිපී තිබුණි. ඒ මල් අතර එක් සුවිශේෂී මලක්ද විය, සාමාන්‍යයෙන් මල් නොපිපෙන තැනක. කමක් නැහැ. අප‍්‍රකාශිත පේ‍්‍රමය එලෙසම තිබුණාවේ. කවුරුන් හෝ හැඩම කෙනෙක් ඒ මල නෙලා ගත්තාවේ.


මේ බිමේ සෞන්දර්යය එයාකාරය. අද මා දුටු ඒ දසුන් නේත්‍රෝත්සවයක්මය. ඉතින් කෙලෙස ඒ චමත්කාරය හදවතේ හංගාගෙන තනියම විඳින්නෙම්ද.



ලිප්ටන් සීට්


තේ කන්දක් මුදුනේ පිහිටියා වූ ලිප්ටන් සීට් වෙත යන්නට දෙපසකින් මාර්ග දෙකක් ඇත. එකක් හපුතලේ ගොස් දඹේතැන්න පාර දිගේය. ඒ මඟ කෙටිය. ලංකාවේ ලොකු ම තේ පැක්ටේරියත්, තොටලාගල වැව ලෙස ගම්මුන් අතර ප‍්‍රසිද්ධ කුඩා රිච්මන්ඞ් වැවත් මේ මෙඟහි පැමිණෙද්දී දැක ගත හැකිය. අනික් පාර බණ්ඩාරවෙල ටවුමේ දුම්රිය පොළ අසලිිනි. කිලෝමීටර් දහ අටක මඟක් ගෙවිය යුතුය. මා යන්නේ ඒ පාරේය. 



ඒ මඟේ මඳ දුරක් යද්දී පාර දෙකට බෙදේ. පහළ පාර පූනාගලටය. උඩහට යන කාපට් පාර අපේ ගමනාන්තයට ඔබ රැගෙන යනු ඇත. පාර දිගටම එළා ඇත. බස් යන පාරකි. එහෙත් සමූපකාරය ළඟදී බස් එකෙන් බැස තේ වත්තට යන පාරට ඇතුළු විය යුතුය. මෙවන් ගමනකට වඩා සුදුසු සහකරුවකු ඔබ විසින් තෝරා ගත්තොත් යහපති. මොටෝ සයිකලය ඒ සඳහා සුදුසුම ලෙස නම් කරන්නේ ඔහු මාගේ ආදරණීය යහළුවා නිසා ම නොවේ. හෙල්මට්, ජැකට් ගලවා දමා වනක්කම් කිය කියා ඇෙඟ් දැවටෙන සීත සුළඟ පිළිගන්නට හොඳම මඟ මෙය නොවේද. නායබැද්ද වත්තට ඇතුළු වෙද්දී එතැන පැක්ටේරිය අසලදී ටිකට් පතක් මිළට ගත යුතුය. ගේට්ටුව ඇරෙන්නේ ඉනික්බිතිවය. 



එතැන් සිට කඳු තරණයයි.  තරණයක් යැයි කීවාට මහත් වූ නැග්මක් නැත. එකම උසක මීටර් ගණනාවක් ගමන් කර වංගුවක් ගෙන ටික ටික උඩට යා යුතුය. තාර එළුෑ මඟ ද වරදක් නැත. තිබෙන්නේ ඔහේ උඩටම යන්නටය. උඩට යද්දී සඳලූ තලේ සිට පුරවර සිරි නැරඹිය හැකිය. එය අපූර්ව වූ චමත්කාරජනක දසුනෙකි. 




දැන් උදේ හතට පමණ ඇත. ඈතින් පහළින් නගරය ගිනි පෙට්ටි සේ දිසේ. මෑතින් බැලූ බැලූ අත එක යායට තේය. තේ කූඩය පිටේ බැඳන්, දිග කෝට්ටක්ද උස්සන් ළඳුන් තම රාජකාරිය පිණිස පාර දිගේ එතිි. පහළ පෙනෙන නගරයේද මිනිසුන් මේ වාගේම රාජකාරිය පිණිස එහෙ මෙහෙ යනු ඇති. එහෙත් එය මහත් කලබලකාරීය. හිස ගිනි ගත්තවුන් සේය. එයින් වියුක්තව පැය කීපයක්වත් මෙහෙම ඉන්නට ඇත්නම්. අතිශය සංකීර්ණ වටපිටාවක් මධ්‍යයේ පිහිටි කඳුකර වත්තක ජීවත් වන මේ මිනිසුන්ගේ ජීවිත ඉතා සරල ය. තේ වත්තේම ඉපදී, තේ සමඟ ම ජීවත් වී, එහිම මියයන ඔවුන්ගේ සෑම දාඩිය, කඳුළක්ම මේ බිමට පොහොර වෙයි.


නායබැද්ද නිමා වී මීළඟට අප පිවිසෙන්නේ දඹේතැන්න වත්තටය. එය වඩාත් සුන්දරය. ඈතින් හපුතලේ දක්වා වූ මාර්ගය ඇද වී යන කළු පැහැ පීත්ත පටියක් මෙන් පෙනේ. 



මීදුම ඇවිත් යළිත් යයි. ලිප්ටන් සීට් තිබෙන්නේද මේ වත්තේය. එයට ඇතුළු වෙද්දීද යළි ටිකට් ගත යුතුය. අතිශය සුන්දර මඟක් කෙළවර වන්නේ ලිප්ටන් සීට් නම් වූ අංශක තුන්සිය හැටේ නැරඹුම් ස්ථානයෙනි. මගේ තුරඟා මෙතැනම ගාල් කරමි. හතර වටින්ම පෙනෙන්නේ සෞන්දර්යයේ පරිපාකයයි. ඒ හැටි මීදුම නැත. ලංකාවේ පළාත් පහක්ම මෙතැනට පෙනෙනවාලූ. මා වන් දුහුනෙකුට නිශ්චිත වශයෙන්ම හඳුනා ගත නොහැකි වුවත් මම ද එය විශ්වාස කරමි. අනවශ්‍ය පණ්ඩිතකම් අවශ්‍ය නැත. අංශක තුන්සිය හැටක් පුරා කෝටි ගාණක් සොඳුරු දසුන් ය. ඇස් ඉදිරිපිටය. මෙව්ව නොදකින දෑස් කුමටද. ඉතින් විඳ ගනිමු. අහා....



















තෝමස් ජේ. ලිප්ටන්, ප‍්‍රසිද්ධ වැවිලිකාර මහත්තයා මා ඉදිරියේ වාඩි වී හිඳින්නා සේය. එක්දාස් අටසිය අනූව තරම් ඈත යුගයේ උඩරට දුම්රියෙන් ඇවිත් මෙම තේ වත්ත මිළට ගෙන තේ කම්හල අරඹා සිය වත්තේ සිදුවන දෑ සියල්ල ඔහු මෙතැන ගල උඩ වාඩි වී බලා හිඳී. ඒ ඔහුගේ අසුනයි මේ සීට් එක. ඉනික්බිති කොයි තරම් දේ සිදු වුණිද. සුදු ජාතික යුවළක් උඩරට ක‍්‍රමයට විවාහ වී වාර්තා තැබුවේද මෙහිදීය. සියලූ සුන්දරතාවන් මැද කඳුළක පැල්ලම්ද මේ බිමේ නැතුවා නොවේ. අකුණු ගසන සුන්දරත්වය වින්ද කොරියානු ජාතික යුවළක් ඒ සුන්දරත්වයටම බිලි වූයේ අපටද පාඩම් කියා දෙමිනි. ඊටත් එපිට කාලෙක සුදු ජාතික පාලකයකුටද හෙණ ගසා මියැදී ඇත. ඔහු අලි සිය ගණනක් දඩයම් කළ අයෙක්ලූ. ඌට නම් හෙණ නොගැහුවොත් තමා පුදුමෙ.



මිස්ට මුරලි.... නෑ.. නෑ... ඒ මුරලි නෙමෙයි. මේ මහත්මය ඉංදියාවේ. මෙතනදි මට හම්බ වුණේ. ලංකාවේ විදේශීය බැංකුවක සේවය කරන්නේ... ලැබුණ පුංචි විවේකයේ සෞන්දර්ය විඳින්න ඇවිත්. තව බලන්න යන්න තියෙන තැන් ගැන මගෙන් ඇහුව. විනාඩි ගාණකින් අපි හොඳ යාළුවන් වුණා. සුදු ජාතික යුවතියන් තිදෙනෙකුත් මෙතැනට ආවා. මුරලි ඔවුන් එක්ක කතාවට සෙට් වුණා. මුරලි ගානේ අපි හැමෝටම එතැන තියෙන පොඩි කඩෙන් වඬේ, සමෝසා එක්ක ප්ලේන්ටියක රස බලන්න ලැබුණා. ඒ අතර ආ ගිය තොරතුරු කතා කළා. ඔවුන් වැඩමුළුවකට ඇවිත් ජාතික අධ්‍යාපන ආයතනෙ. හරිම අපූරුයි. ජාති ගණනක මිනිස්සු එකම තැනක ඉඳන් එකම සෞන්දර්යය වින්ද. 



පැයක් විතර එතන ඉඳල අපි සමු ගත්ත. මුරලි නම් මාත් එක්ක ටික්ක දුර ආව බයික් එකේ. හපුතලේ පාර ළඟදි ඔහු බැස්ස. ගෙනිහින් දාන්න ඇහුවත් ඔහු පයින් යන්නයි කැමති වුණේ සෞන්දර්යය විඳිමින්. සිංහල අකුරක්වත් බැරි වුණත් මම ඔහුට මගේ කවි පොතක් දුන්නා සිහිවටනයක් හැටියට තියා ගන්න කියල. 






























මං ආපු පාරෙම බණ්ඩාරවෙලට ඇවිත් මගේ චාරිකාවේ ඉතුරු හරියට පිවිසුණා.




අමතක වූ පාරක්










ලිප්ටන් සීට් යනවා කියා එන බොහෝ අයගේ ගමනාන්තය ලිප්ටන් සීට්මයි. එහෙත් ඒ අතරමඟත් තවත් බොහෝ මඟවල්  තිබේ සැංගී, තවත් බැලිය යුතු. මා ඒ පිළිබඳ දැන ගත්තේ ගෙදර ආ පසුය. එබැවින් පසු දිනෙක එදා අතපසුවීම නිවැරදි කර ගතිමි. එහෙත් ඒ සවස් කාලයේ නම් මීදුමය. එදා මෙඟහිම පැමිණ ලිප්ටව් සීට්වලට නොහැරී සෙන්ට් කැතරින් සීට් එකෙන් හැරුණෙමි. ඈතදීම ඒ යෝධයන් දැකිය හැකිය කුඩාවට. තේ වතු මැදින් යද්දී එදා වාගේමය. මේ සවස් කාලය බැවින් නෙළුෑ තේ ගෝනිවලට අහුරා ලොරිවලට පටවයි.





මේ මඟ දිගේ කිලෝමීටර් දෙකක් පමණ යා යුතුය. මඟ පෙන්වන පුවරුද තැන තැන සවි කර ඇත. ඩයලොග් ජී.එස්.එම්. හා බ්‍රෝඞ් බෑන්ඞ් කුළුණු එකම තැනක ඇත. මා දන්නා පරිදි ඈතින් පෙනෙන්නේ ස්වර්ණවාහිණී කුළුණ විය යුතුය.
 









 මේ මෙඟහි අවසානයේ ලංකාවේ පළමු රූපවාහියේ විකාශන කුළුණ දැකිය හැකිය. ඇතුළු වීමට තහංචි දමා ඇති එහි පිටත සිට ගෙන අතීතයට ගියෙමි. සූරියකන්දෙන් ඇවිත් මේ ප‍්‍රදේශයට ස්වාධීන රූපවාහිනී විකාශය කරන්නේ මෙතැනිනි. මේ පෙනෙන කුඩා කුළුණ මුලින්ම අපේ රටේ රූපවාහිනී සේවාවක් විකාශය ආරම්භ කළ කුළුණයි. මට අපේ ජනමාධ්‍ය පාඨමාලාවේ අපට ඉගැන්වූ රූපවාහිනී ඉංජිනේරු උපාලි අරඹවෙල මහතා සිහිවේ.





රූපවාහිනී කුළුණුවලින් සමු ගෙන, ආ මඟ දිගේ ගොස් හංදියෙන් වමට හැරී හපුතලේ මඟට පිවිසෙන්නේ එදා නොදුටු දේ දකින්නටය. එහෙම නම් හපුතලේට පල්ලම් බසිමු. අද හොඳටම මීදුමය. තත්පරයෙන් තත්පරය මෙහි වටපිටාව වෙනස් වේ.












ඉස්කෝල ඇරී දැන් බොහෝ වේලාය. එහෙත් ඇතැම් ළමයෙක් තාම මහ මඟය. මේ ළමයි හැතැප්ම ගණන් පයින් තේ වතු දිගේ කඳු නගිමින් බසිමින් අකුරු කරන්නට යතිි. හෙමි හෙමින් ගාට ගාට කඳු නඟින මේ දරුවා අට වසරේය. 


මේ මා ගමන් කරන්නේ දඹේතැන්න වත්ත මැද්දෙනි. 










කිලොමීටර් ගණනාවකින් අපට දඹේතැන්න තේ කර්මාන්ත ශාලාව දැකිය හැකිය. එය ලංකාවේ ලොකුම තේ පැක්ටේරියයි. එතැන තරමක් ජනාකීර්ණය. පොළකි. නිතර ජනතාව ගැවසෙති. කලබලකාරීය. බණ්ඩාරවෙලට යන බස්ද මෙතැනින් පටන් ගනී. 






මඟ දිගටම තද මීදුමය. මඟ දෙපසම නේක තුරු පෙළින් ගැවසී ඇත. විවිධ වූ වන මලින් අලංකාර වි ඇත. ඒ අතර විසල් ගස් පිරි රක්ෂිත වනයක්ද වේ. 
































මීටර් දෙක තුනක් නොපෙනෙන තරමටම හිටි හැටියේ මීදුම ගන වේ. මම පැද යන්නේ විස්සට පමණය. එකවරම මීදුම් සළු තිර ගැළවී පාවී යයි. අරුමයකි. මගේ දකුණු පස මෙතෙක් වේලා මීදුමකින් සඟවා ගෙන සිට ඇතතේ කදිම වැවකි. ඒ රිච්මන්ඞ් ලේක්. ගම්මුන් පවසන පරිදි තොටලාගල වැව. වැව කුඩා වුවත් සෞන්දර්යයේ නම් අග‍්‍රම පලයකි. මීදුමින් වැසී සැඟව සිටි එය වේගයෙන් පලා යන ඇසකට නම් නිසැකවම මඟ හැරේ.










මෙම මෙඟහි ඇත්තේ දඹේතැන්න පැක්ටරිය මතු නොවේ. පිටරත්මලේ ද තවත් පැක්ටරියකි. 





















මෙවන් සොඳුරු දසුන් මැදින් සීතලේ පැමිණ හපුතලේ නගරයට පිවිස දකුණට හැරී යළි දියතලාවට යමි.

                         ගැමුණු පී. දසනායක