Tuesday, October 7, 2014

දෝව, දෙමෝදර, බෝගොඩ



අද 2014 ක් වූ ඔක්තෝබරයේ ශනිදාවක්. එකොළහ මාරට පමණ ඇති. මේ සතියට වැඩ අහවරයි. මළිඳු අයියා පැමිණෙයි. මම බෝඩිමට යමි.

සිහින් සිරි පොදක් වැටෙයි. එහෙත් සරු වන පාටක් නැත. කොහි හෝ යා යුතුය. ගෙදර ගියොත් අම්මා මනමාලියන් බලන්නට අඬ ගසයි. මේ ඌවේ මේ තරම් මනමාලියන් ඉන්දැද්දී තව ගෙදර යනු කුමටද. ඊයේ ලංකාවේ උස ම මනමාලිය බලන්නට ගොස් නොමැරී ආවේ පූරුවේ පිනකට බව ඔබත් දන්නවා නොවැ... අදත් යං කොහේ හරි.

ගමනාරම්භය- දියතලාව
ගමනාන්තය- හතට පෙර යළි දියතලාව
ගමන් සගයින්- මාත් එක්ක තව දෙන්නයිග එක- ඩිස්කවරි වන් ටූ ෆයිව්ල දෙක- ඩී ත්‍රී ටූ ඩබල් සීරෝ

දියතලාව සිට බදුල්ල දෙසට ගමන් කරමි. බණ්ඩාරවෙල සිට කිලෝමීටර හයක් පමණ ගිය තැන මගේ පළමු නැවතුමයි.


දෙමළ බැතිමතුන්ගේ දෝව රජ මහ වෙහෙර

අප බණ්ඩාරවෙල මාතර බස් එකේ ගමේ යද්දී කොයි තරම් වාර ගණනක් මෙතැන පසු කර ඇත්දග හුනස්නෙන් නැඟී සිට ගෞරව කරනු විනා මා අඩි සලකුණු නම් මේ බිමේ නැතග ඒ කිසිම දිනෙක මේ තරම් ජන ගංගාවක් මේ බිමේ දැක නැතග අද පෝ දිනකුදු නොවේග සියල්ලෝම දෙමළ ජනතාවෝයග කුමන අසිරියක්ද මේග බැතිමතුන්ගේ පාවහන් බලා ගන්නා අම්මාගෙන් මම ඒ ගැන විමසීමිග  ර්‍ණ මේ දෙමළ අය හැම අවුරුද්දකම ඇවිත් මේ දවසට දානයක් දෙනවාඝ

ටාටා බස් කීපයකින්ම පැමිණි දෙමළ බැතිමතුන්ගෙන් පින් බිම පිරී ඇත. අයෙක් පොඩි උන්ද අතින් කටින් උස්සා ගත්තෝ ය. අයිස්ක්‍රීම් කාරයින් හා රස කැවිලි කාරයින් දෝවේ පෙරහර කාලය සිහිපත් කරවයි. මා යද්දී දාන කටයුතු අවසන්ය. ඔවුහු දානය පිසූ බඳුන් සෝදා බිම ද සුද්ද පවිත්‍ර කරති.



දෝව රජ මහා විහාරය ඓතිහාසික වටිනාකම් ඇති පෞරාණික සිද්ධස්ථානයකි. බස් පාරට නොපෙනෙන වැදගත්කමත් සුන්දරත්වයත් දැක බලා ගනු පිණිස පඩි පෙළ බැස පහළට ආ යුතුය. මෙහි අතීතය වලගම්බා රජ දවස තෙක් දිවෙන්නකි. පලා යන වලගම්බා රජු මෙහි සැඟවී සිට ඇත. එම ළෙන අපට දැක ගත හැකිය. මෙහි විහාර ගෙයි සිතුවම් වලගම්බා හා මහනුවර යුගයට අයත්ය. විහාරයට වම් පසට වන්නට විසල් කළු ගල් තලාවෙක පිහිටි ගලේම නෙළා ඇති හිටි පිළිමය විශේෂිතය. එය බුදුරුවාගල කළු ගලේ නෙළා ඇති ප්‍රතිමාවට බොහෝ සමානය. පෞරාණික කුඩා දාගැබ විහාරයට ඇතුළු වන තැනම පිහිටා ඇත.





















වරුසාව සිය අණසක පතුරවමින් සිටී. එහෙත් යළි හැරිය යුතු නොවේ. වැහි කබා හැඳගෙන ගමන ඉදිරියට යා යතුය.


ආරුක්කු නවයේ කෝච්චි පාලම

තව ටිකක් බදුල්ල දෙසට යද්දී දකුණු පැත්තේ මඟ පෙන්වන පුවරුවක් ගසා ඇත. මහ පාරේ සිට කිලෝමීටර් පහක් ගිය විට පාලම ළඟටම යා හැකිය. වම් පසින් පාලමයග දකුණු පස කෙටි බිං ගෙයකි. පාලමේ මැද හරියට පැමිණි විට පාමුළ ගලා යන දිය පහරක සංගීතය ඇසේ. කෝච්චි පාර දිගේ දෙමෝදර දෙසට ඇවිද යන්නට මට සිතේ. එහෙත් බයිසිකලය දමා යා නොහේ. බැඳීම් සමඟ සෞන්දර්යය විඳීමේ ඇති බාධාව යළිත් වරක් පසක් වේ.








පරණ නෑයෙක්- දෙමෝදර ඉස්ටේසම

තවත් දුර බදුල්ල ප්‍රධාන පාරේ පැමිණි විට දෙමෝදර දුම්රිය ස්ථානයට යන මාර්ගය හමු වේ. එයත් අපූරු සුන්දර ස්ථානයකි. මිනිසකු ජටාව බඳිනාකාරය බලා සිටීමෙන් සිතේ උපන් නිර්මාණාත්මක අදහස මේ බැව් ජනප්‍රවාදයෙහි එයි. එය තහවරු වන්ට මේ මඟෙහි නො ඇවිද්දොත් නම් එය අඩුවකි. එහෙත් මේ එයට වෙලාව නොවෙයි. නිසැකව ම මෙතැනට යළි පැමිණෙන්නෙමි.





මීට වසර ගණනාවකට එපිට දියතලාවක් ගැන හාංකවිසයක්වත් නොදැන සිටි කොළඹ සිට ආ කෝච්චියේ පැමිණි කොළු ගැටයෙක් බදුල්ලේ සිට එන රාත්‍රී තැපැල් දුම්රියට දුවගෙන ගොස් මාරු වන සැටි මා ඉදිරියේ මැවී පෙනෙයි. කොල්ලා උන්නේ අතිශය කළකිරුණ සිතිනි. සරසවිය එපා ම වී තිබිණි. ජීවිතය එපා කියන්නට බැරි තැනය ඔහු උදේ නවයයි කාලේ උඩරට මැණිකෙට ගොඩ වුණේ රුපියල් පනස් අටයි සත පනහේ ටිකට් එකකුත් අරගෙන. ඒ පා සටහන් මට මෙතැනට පෙනේ. මා දෑස මගේ දෙපා දෙස බලයි. ඉන් පසුව මේ දෙපා කොයි තරම් දුර ගියාද. අතීතයේ කඳුළක් මුවගට සිහින් සිනාවක් නඟා දුන්නාය. දැහැනින් මිදී ඇස පිසදාගෙන යළි ගමන යා යුතුය.





බදුල්ල දෙසට තවත් යමිග හාලි ඇල හංදියෙන් නුවර එළියට නො හැරී තව මීටර් කීපයක් ගිය විට වම් පසට පාරක් ඇත. ඒ මඟෙහි කිලෝමීටර් දහයක් ගිය තැන බෝගොඩ රජ මහා විහාරයට යා හැකිය.


මඩ ගොඩකින් එතෙර වී- බෝගොඩට

මාර්ගය මැද හරියේ සිට දිගටම අලුත්වැඩියා කරමින් පවතී. දිගටම එකම මඩ වගුරකි. අතිශයින්ම ලිස්සන සුලුය. සමබරතාව පාලනය කර ගැනීම ලෙහෙසි නැත. බොහෝ තැන්වලදී පා බිම තැබීමට සිදු වේ. පාවහන් මඩ තට්ටුවකින් වැසී ඇත. බුල්ඩෝසර් කැටපිලර් ඩිපර් ඒ මඟ අරක් ගෙන ඇත.



කෙසේ හෝ ඇදි ඇදී ගොස් අවසානයට පැමිණියෙමි. පාර අයිනේ වම් පස බෝධියයි. දෝව වාගේම මෙහිද විහාරය ඇත්තේ කඳු පාමුළේ ය. මීටර් පන්සියයක පමණ දුරක් පිය ගැට පෙළ බැස්සෙමි. පිය ගැට පෙළ දෙපස නේක විධ තුරු ලතායෙන් ගැවසී ගත්තකි. මන බඳනා දසුනෙකි.





පහළට බැස්ස හැටියේම මේ විහාරයේ නමට විභූෂණයක් වූ එම ලී පාලම දැක ගත හැකිය. ගල් තලාවක් හරහා ගලන දිය පහරක් මතින් ඉදිව ඇති මේ පාලම තනිකරම ලීයෙන් සැදුවකි. බිම සිට බැලූ විට කෙළින්ම ඉහළට දිවෙන පිය ගැට පෙළයි. ගුරුන්නානන්සේ මැවී පෙනෙන්නා සේය. මගේ මතකය නිවැරදි නම් මීට කලකට ඉහත දඬුබස්නාමානයේ අවසන් අංගං හටන් ජවනිකා සඳහා දර්ශන තල සැපයුවේ මේ බිමයි.
මේ බිමද එදා තැන් මාරු කරමින් සැඟව හුන් වලගම්බා රජුට රැකවරණ සැදූවකි. ඒ ගල් ගුහාව මෙහි දක්නට ලැබුණත් එයට අගුළු ලා ඇත.
















අන්ධකාරයේ පළමු බලමුළු වටින් ගොඩින් එබිකම් කරන්නට පටන් ගෙන ඇත. දිගු පිය ගැට පෙළ නැඟ මහ පාරට මතුව යළි ගමන ඇරඹුයෙමි.

හාලි ඇළ කවියා

හාලි ඇළට එද්දී මට ඔහු සිහිපත් විය. තුමුළ නමුණුකුලට පෙම් බැන්ද උමා ගැන ලිව්වේ ඔහුය. සුදත් ගාමිණී බණ්ඩාර. එහෙත් ඔහු අද බදුලු ගොසින් බව නිවසේ දුරකතනය පැවසී ය.

බදුල්ල කොළඹ මාර්ගයට විත් මම යළි දියතලාවට එමි.

හෙටත් නිවාඩුයි.......

යමු කොහේ හරි.....

              ගැමුණු පී. දසනායක
               2014 ඔක්තෝබර් ගමනක්


No comments:

Post a Comment