Tuesday, December 30, 2014

රක්ඛිතාකන්දෙන් බුදුරුවගලට

උඳුවප් සීතල මතක
 

මේ උඳුවප් මාසයයි. සීතලම සීතල මාසයයි. සීතල ඇට මිදුළු තුළටම කිඳා බසින කාලයයි. හදවත පතුලේම ගිලී ඇති අතීතය ගොඩ ගසයි.
දෙසැම්බරයට යද්දි මේ සීතලත් අරන් යන්නැයි කියන්නාක් මෙන් ඉල් මහේ මැද දිමුතු අපට නොකියාම නික්ම ගොස් තිබුණී. අවුරුදු හතකට ඉස්සර එදා ඒ පාන්දර අදටත් සිහිනයක් මෙනි. සහෘදයකුගේ සමු ගැනීම ඒ තරම්ම වේදනාකාරීය. උදුම්බර සිතේ පිදුම ඒ වේදනාවෙන්ම ඉපැදුණි.
 

‘‘හොඳ යාළුවෙක්
හමු වන්නෙත්
කලාතුරකින්
 

හදිස්සියට
ඇවිත් යන්න ආව වගේ
ඔවුනුත් නොකියම යා නම් 

----- 
පුදමි මේ පොත   
දිමුතුට.....’’

කාට වුවත් ඔහු හමු විය යුතුම මිනිසෙකි. යහළුවෙකි. සහෘදයෙකි.
 

මතකය ඉන් එපිටට පියවර තබයි. මහ මුහුද යක්ෂාවේශ වන්නේද එවන් මාසයකය. අදට වසර දහයකට පෙරදීය. මර සෙන් වන් දළ රළට හොඳ නරක නො පෙනුණි. අක්කාත් ඇගේ පොඩි උන් තිදෙනාත් මුහුදු පතුළටම උදුරාගෙන ගියේ පා සටහනක්වත් නොතබාය.

‘‘ මුහුදු පතුලේ සිට
අදටත් ගොඩ ගසන මතකය
වෙරළ සුදු වැලි මත
ඇහිඳින සිප්පි කටු සේ

පුදමි මේ පොත
 

ළහිරු
සමින්දි
මින්දක
ආදරණීය දූ පුතුන්ට....’’

 

(පියාඹන්න තටු ලැබුණා-පිදුම)

 


මා කියවූ කෙටි කතාවක සිටි පෙම්වතාගේ ප‍්‍රථම පේ‍්‍රමය ගිලිහී වැටෙන්නේද මෙවන් සමයකය. අවුරුද්ද පිළිබඳ සඳහනක් නොවූවත් එය මේ උඳුවප් කාලයට වුව ගලපා ගැනීමේ කවර නම් වරදද.
 


‘‘සීතල කෙමෙන් වැඩි වෙමින් පවතියි. ප‍්‍රථම පේ‍්‍රමය ගැඹුරින් හුස්ම ගන්නා හඬ මට ඇසෙයි. තව ටිකකින් එය අවසන් හුස්ම හෙළනු ඇත. මට කළ හැකි කිසිත් නැත. යන්න එපා කියන්නටද නොහැකිය. තීරණය මා අතේ නො වේ. කතා අසා, එය විශ්වාස කොට අවසන් නිගමනයට එළැඹුණේ ඇයමය.

ඔයා කෑවද නිදා ගත්තද කියා අසනා යාළුවෙක් ඉතින් මින් මතු නොසිටිනු ඇත. ජංගම දුරකතනයේ ලියුම් පෙට්ටිය හිස්වම පවතිනු ඇත. ලබන දුරුතු මහේ සීතල වඩ වඩා දැනෙනු ඇත. එහෙත් මම ඔබට සුබ පතමි. මක් නිසාද යත්, කිසිවකු නොදුන් ආදරයක් ඔබ මට දුන් නිසා.
 


‘‘ශිවා ච
 සුන්දරා ච
 භවතු තේ
 ජීවන යාත‍්‍රා’’
(සුන්දර ද, යහපත් ද වේවා ඔබේ ජීවන යාත‍්‍රාව)
’’
 

ඒ කතාවේ පෙම්වතා පෙම්වතියට සුබ පතන්නට ඒ වචන ඉල්ලා ගන්නේ මට මතක හැටියට භගවත් ගීතාවෙනි.

 

සියලූ සෞන්දර්යය හැර දමා මටද එන්නට සිදු වූයේ උඳුවප් ලබද්දීය. එහෙත් ඒ සෞන්දර්ය චාරිකා මතක කෙසේ නම් අමතක කරන්නෙම්ද. එදා රාවණා ගුහාවෙන් පිටත් වී රාවණා ඇල්ල ළඟ නතර වී ආපසු වැල්ලවාය දෙසට ගමන් ඇරඹුවා මතක ඇති. ඔව් අපි යමු. රාවණා ගුහාවට ගොස් යළි එද්දී ඇල්ල පාරට වැටෙන තැන් සිට හරියටම කිලෝමීටර් එකොළහමාරක් සටහන් වෙද්දී පාරේ වම් පස රක්ඛිතාකන්ද විහාරයට මඟ පෙන්වන පුවරුව දැකිය හැකිය. කන්දෙ විහාරය යන නමින් ප‍්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලබන ඒ රජ මහා විහාරයට මහ පාරේ සිට කිලෝමීටර් දෙකක දුරකි. විහාරයට පිවිසෙන අවසන් කිලෝමීටරය පමණ වන අරණක් මැදිනි. නේක වන ගුල්මයන්ගෙන් ගැවැසී ගත් එය අපට තුරු වියනක් සාදා දේ. ඒ පාර නම් අබලන්ය. ගල් ගෙඩි ගැළවී ගොස් ඇත. 






රක්ඛිතාකන්ද රජ මහා විහාරය
 

විහාර ගෙයක් අලූතින් ඉදි කරන්නට ඇරඹූ ලකුණු ඈතිනි පෙනෙයි. එහෙත් එය අතරමග නතර කර අතැර දමා ඇති සෙයකි. කොන්ක‍්‍රීට් කණු වල් ගස්වලින් වැසෙමින් පවතී. ඊට ඔබ්බෙන් වන ආවාස ගෙය නිහ~
ව කියා පාන්නේද ඉතා ඉක්මනින් අලූත්වැඩියාවක් අවශ්‍ය බවයි.




එතැන් සිට දකින දුර දර්ශනය නම් අතිශය ප‍්‍රියංකරය. එය ලිප්ටන් සීට්වල හෝ බෙරගල සිට අප දකින දර්ශනයට දෙවෙනි නොවේ. 





කිසිවෙකුත් පෙනෙන්නට නැත. මම කුඩා පියගැට පෙළ බැස එතැන් සිට ගල් ඇල්ලූ මාවත දිගේ ඇවිද යමි.





එතැන පැරණි ළෙන් විහාරය දැකිය හැකිය. විහාරාධිපති හිමියෝද දායක මහතකු හා කතා බස් කරමින් වැඩ සිටිති. එම ළෙන් පියැස්ස බැලූ බැල්මට නා පෙණයක් සේ ඈතට දිස් වේ.










උන් වහන්සේ ඉතා කාරුණිකව ළෙන් සිතුවම් ඇතුළු විහාරය පිළිබඳ විස්තර කළ සේක. එම සිතුවම් මහනුවර යුගයට අයත් වේ. වලගම්බා රජතුමාට කඳවුරු සැපයූ මෙම ළෙන්වල සිට දෝව ආදී ප‍්‍රදේශවලට උමං මාර්ගද විහිද ඇත. මෙම විහාර සිතුවම්වල විශේෂත්වයක් වේ. විජාතික පාලනයේ බලපෑම මේ චිත‍්‍රවලින් මොනවට පිළිබිඹු වේ. දෙවිවරුන්ගේ රූපවල පවා ගෙළේ කුරුසිය අඳින්නට ඔවුන් අණ කොට ඇත. ආරක්ෂකයින්ගේ හිසට ඉංග‍්‍රීසි යකඩ තොප්පි පළඳා ඇත. ආයුබෝවන් කියනවා වෙනුවට අතට අත දෙන අයරින් නිර්මාණය කළ ලිය වැල් මෝස්තරයක්ද මෙහි දක්නට තිබේ. 













දෙදාස් දොළහේදී පමණ ඇරඹූ උඩහ ප‍්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් නිසා විහාර භූමියට සිදුව ඇති හානිය උන් වහන්සේ විස්තර කළේ අතිශය කනස්සලූ සිතිනි. මෙවන් විහාරස්ථානවලට ලැබෙන රාජ්‍ය අනුග‍්‍රහය ඉතා මඳ බව උන් වහන්සේගේ කතාවෙන් මතු නොව බැලූ බැල්මටම පෙනේ.

රක්ඛිතාකන්දෙන් සමු ගෙන වැල්ලවායට එද්දී සවස හතර පසු වී තිබිණ. අහසේ කළු වලාකුළු කඳවුරු බැඳීම අරඹා ඇත. එහෙත් බුදුරුවගලටම යන්නට තීරණය කළෙමි. වැල්ලවායේ සිට එතරම් දුරක් නැත. බුදුරුවගල පහළ ඌව පුරා විද්‍යා කෞතුකාගාරය අසලින් දකුණට හැරිය යුතු ය. මඟ හොඳට තිබේ. පෙඳ පාසිවලින් වැසුණ කුඩා ජලාශයක් අතරමඟදී අපට හමුවේ.






මොනරුන් එකා දෙන්නා මඟ දෙපස දැකිය හැකිය. විටෙක උන් පාර මාරු වේ. මේ ප‍්‍රදේශවල මොනරා අති සුලබය.  


වැල්ලවායේ ආඩම්බකාර මොනරී

ගාල්ලේ ඉපැදුණ, ජීවත් වුණ අපට මොනරා යනු දුර්ලභ සත්ත්වයෙකි. අපේ සිහිනවල ජීවත් වූ කුරුල්ලෙකි. පුංචිම කාලයේ අම්මා අපට බත් කටක් කවා ගත්තේ මොනර හාමිට ඇඳුම ලැබුණ කතාව කියා දෙමිනි. මොනරා ගැන මුළින්ම ඇසූයේ එදාය. මුළින්ම දැක්කේ මිහිර පත්තරෙනි. එක වසරේදී මගේ යාළුවෙක් දුන් මොනර පිහාටුව මගේ පිහාටු එකතුවේ වටිනාම පිහාට්ට විය. නිතර නිතර පොත් පිටු අතරින් ගෙන එය හරව හරවා රස වින්දෙමි. එක් එක් පැත්තට විවිධාකාරයෙන් දිළිසෙන ඒ සුන්දරත්වයට මම බොහෝ ආදරය කළෙමි. පුංචි අපේ අපල දූරිම්භූත කරවන්නට අම්මා අප බෝධි පූජාවට එක්ක ගිය විට පංසලේ කපු සීයා ආසිර්වාද කළේ මොණර පිහාටු මිටියක් අපේ ඔලූවට අල්ලමින්ය. ඒ දෙයියෝද වැඩ සිටියේ මොනරෙකු පිටය. එයාකාර වූ මොනරා මුළින්ම  හැබැහින් දැක ගත්තේ සත්තු වත්තේදීය. වැල්ලවාය ආශ‍්‍රිත මේ ප‍්‍රදේශයේදී අද මොනරුන් කී දෙනෙක් දැක්කාද. මගේ වම් පස මොනරෙකි. වහින්නටද ආසන්නය. මා අසා තිබෙන පරිදි මේ නම් සිකිපිල් සළමින් රඟන රැඟුමට නියම වෙලාවය. එහෙත් ඌ නටන නැටුමෙක් නැති. මා කැමරාව මානන විටම පැන සැඟවී ගියේය. නිසැකවම ඌ ආඩම්බරකාර මොනරියක් ම වන්නට ඇත.

බුදුරුවගල

මේ අතුරු මඟ කෙළවර වන්නේ මගේ ගමනාන්තයෙනි. එතැන වම් පස පැරණි හා නව විහාරයන්ය.






ඩිස්කවරිය එතැන නතර කොට පයින් ගමන ඇරඹිය යුතුය. එකවර මහ වැස්ස කඩා හැළේ. මම කුඩය ඉහළා ගනිමි. හාත් පස ගහ වැලය. ප‍්‍රාණියෙකුට සිටින්නේ මා පමණි. එහෙත් ඒ හුදෙකලාව අතිශය සුන්දරය.








මීටර් පන්සියයක පමණ දුරකදී අපට ඒ කළු ගල් තලාව හමුවේ. නිකම්ම නිකම් ගල් තලාවක් නොවේ. අභය මුද්‍රාව නිරූපිත අඩි පනහක් පමණ උස කළු ගලම උළුප්පා කළ බුදු රුවකි. මේ දෝව රජ මහ විහාරයේ බාගෙට නතර කළ බුදු පිළිමයේ ඉතුරු හරියදැයි මට සිතේ. එබැවින් මෙයද වලගම්බා යුගයටම අයත් වූවක් වන්නට ඇත. ඒ මතු නොවේ. බුදු රුවට දකුණු පසින් සුදන කුමාර, සුදු පිරියම් කළ අවලෝකිතේශ්වර, සහ තිවංක වූ තාරා දේවී ප‍්‍රතිමා ද ඒ අයුරින් ගලින් මතු කර තිබේ. වම් පස වජ‍්‍රපානී, මෛත‍්‍රී හා තවත් බෝධිසත්ව පිළිරුවකි. මහ වැසි මැද කුඩයත් ඉහළාගෙන මේ විස්මිත වූ නිර්මාණයේ මතක සටහන් කීපයක් කැමරාවට ඔබා ගතිමි. 









යළි එද්දී වැස්ස තුරල් වී තිබුණි. අතර මඟ අපට මන බඳනා තවත් දසුනක් හමු විය. ඒ වැවකි. එහි බන්ට් එක මතට නැඟණ විට දකින දසුන අතිශය චමත්කාරජනකය. වැව පුරාම කොක් රංචු පිරී ඇත. 










තවත් දුරක් එද්දී වම් පස දාගැබක නටබුන් හමුවේ. නටබුන් කියනවාට වඩා එය පසු කලෙක මතු කර ගත් දාගැබක් වන්නට ඇත.





වැස්ස මෙන්ම රාත‍්‍රියද හුදෙකලා වූවකුට නපුරුකම් කරන්නට ඉඩ තිබේ. එබැවින් ඉක්මනින් දියතලාවට යා යුතුය. මහ පාරට වැටෙන තැනම පුවරු ඔසවාගෙන සිටින බුදුරුවගල පහළ ඌව පුරා විද්‍යා කෞතුකාගාරය දැකිය හැකිය. ඉදිරියට ගියද යළි හරවාගෙන විත් එයට ඇතුළු වුණෙමි. එහි බලධාරී මහතා පැමිණ කෞතුක භාණ්ඩ පිළිබඳ විස්තර කළේය. මඟ හැරී ගියා නම් වස වැරැද්දකි. බුදුරුවගල මතු නොව ඌව පිළිබඳවද අප නොදත් වැදගත් පුරා විද්‍යා තොරතුරු රැසක් එතුමා අප හමුවේ තැබුවේ නිස්සරණධ්‍යාසයෙනි. එතුමා කියා සිටියේද බුදුරුවගල නරඹා යන බොහෝ සංචාරකයන් මෙතැනට නොඑන බවයි. මෙම කෞතුකාගාරය කලෙකට ඉහත කතරගම පුද බිමේ තිබී මෑතක මෙතැන ස්ථාපිත කොට ඇත. 




උදේ දියතලාවෙන් ඇරඹුන ගමන යළිත් දියතලාවෙන්ම අවසන් කළ යුතුය. ආයෙත් නිවාඩු දවසක කොහේ හෝ යා යුතුය.

ගැමුණු පී. දසනායක