Tuesday, July 14, 2015

සීනි

කහට කෝප්පයට සීනි දමා එය රසවත් කරගෙන පානය කරන්නට අපි පුරුදු ව සිටින්නෙමු. සීනි නොදැම්මත් අත්ලට සීනි ගෙන දිව ගාමින් අයෙක් තේ බොති. ඉදුණු පළතුරෙහි ෆ්රක්ටෝස් නම් සීනි වර්ගය අන්තර්ගත වුව ඒ බීමට ද සීනි එකතු කෙරේ. ඇතැමෙකු තැඹිලි බොන්නේ ද එයට සීනි හැන්දක් දමා කළතාගෙනය. පැණි නැති නම් සීනි දමා ගෙන කිරි කති. සීනියෙහි බලපුළුවන්කාරකම් එසේය. එසේ වුව ද තිත්ත වූ ජීවිතයකට නම් ඉන් පිටිවහලක් නැති වග එක තේ කෝප්පයකට සීනි හැඳි හතරක් පහක් දමා ගන්නා මම ඉඳුරා දනිමි.
 


දියවැඩියාවෙන් පෙළෙන අප වියපත් මිතුරකු නෝනාට හොරෙන් සීනි කන්නේ සීනි නොකා ජීවත් වෙනවාට වඩා සීනි කාලා මැරෙන එක දාහින් සම්පතකැයි කියමිනි. රාජ්‍ය සම්මානලාභී කෙටි කතා කරුවකු වන නිශ්ශංක විජේමාන්නයින්ගේ තිත්ත සීනි නම් කෙටි කතාව ද මගේ මතක හැටියට මේ අයුරු දියවැඩියා පුද්ගලයකු පිළිබඳවය. එය වැරදි නම් කමත්වා. දන්නා කෙනෙක් නිවැරදි කරත්වා. පුංචි උන් ද මේසේ උඩට බඩගා හෝ උසක් තබා හෝ සීනි බෝතලෙන් සීනි හොරා කති. අප පුංචි කාලයේ ඒ අයුරින් ඇති වෙන තුරු සීනි කෑවේ අන්දරේය. එදා ද තම වට පිටේ සිටින ජෝකර්ලාට රැවටී පොළොවේ පස් කෑ රජවරු සිටියෝය. අන්දරේ ගැන කියද්දී මේ සිංදු කෑල්ල මට මතක් වෙයි. ගීත රචනය රත්න ශ‍්‍රී ගේය. ගායනය රොඩ්නිගේ ය.
 

 ‘‘.... නෑ මට රජ වාසල
සීනි කන්න කෑදරකම්
අතිරහ කැවුම් කොකිස්
හැම ගෙදරම  ඕන තරම්
මේ මල් පිපෙන රටට
තව මොකටද සුවඳ සඳුන්...‘‘
 

අවුරුදු දාට කැවිලි පෙවිලි තිබෙද්දී වෙන සීනි කුමටද? අන්දරේටත් එපා නම් අපටත් එපා.
 

ඒත් මේ සීනි ඇත්තටම පැණි රසද? මේ මොනරාගල පැල්වත්ත ආදී පෙදෙස්හි උක් ගස් කැපෙන කාලයයි. මීට මාස ගණනාවකට එපිට ඔවුහු බිම් සාදා උක් වගා කරති. අක්කර ගණනිනි. ඒවා රැක බලා ගනිති. පොහොර දමති. බෙහෙත් ගසති. සමහරෙක් තම බිම් වෙන අයට බදු දෙති. හිත් පිත් නැතිව ගින්දර විසි කරන හිරු දැක දැකම ඒ අහස යට ඔවුහු ජීවිතය සමග පොර බදති. දාඩිය මුගුරු හෙළමින් කාෂ්ඨක පරිසරයේ උක් නෙළීම අරඹා ඇත. කොහෙන් අන්තරායක් මතු වේදැයි කිව නොහේ. අතක් පයක් කැපී යා හැකිය. මරණය නයි පොළොන් වෙස් ගෙන උක් පඳුරේ කඳේ වෙළී හිඳීයි. අත් දිගට ග්ලවුස් පැළැන්ද ද පලක් නොවිය හැකිය.
 

 නෙළුෑ උක් දඬු ටොන් පිටින් ෆැක්ටරිය වෙත ගෙන යා යුතුය. තම උස මෙන් පස් හය ගුණයක් උසට උක් ගස් පටවා ගත් ට‍්‍රැක්ටර් කැන්ටර් මේ දිනවල සියඹලාණ්ඩුව වැල්ලවාය මාර්ගයේ සොඳුරු දසුනක්ය. ඔබත් ඇවිත් බලන්න. එහෙත් දනිමි ඔබ නොඑන වග. ඒ කඳුළු සීනි වී ඔබ ළඟටම එනු ඇත.






ඇතැම් තැනෙක උක් ගස් කිරයි. අප සීනි කිරන්නේ පොඩි තරාදියේය. නැති නම් කිචන් ස්කේලයේය. අනුන්ගේ සීනි කිරා වාසි ගත්තෝද පාඩු වින්දෝ ද අප අතර  ඕනෑ තරම් සිටිති. එහෙත් මේ දැවැන්ත බිම් තරාදියේ එකවර වාහන ටේ‍්‍රලර පිටින් කිරේ. බර කිරන තුරු පෝළිමේ බලා සිටිනා උක් ගස් ට‍්‍රක්, ට‍්‍රැක්ටර් මේ මඟ යන කාට වුව දැකිය හැකි දසුනෙකි.




කිරූ උක් පැක්ටරියට යන ගමන වුවද අවදානම් නොවුණේ නොවේ. එක් සැණෙකින් මුළු ජීවිතයම වුව කණ පිට හැරෙන්නට පුළුවන.  






අපට කිට්ටුවම ඇත්තේ පැල්වත්තය. එහෙත් මෑතක අපි සෙවනගල සීනි ෆැක්ටරියට ගියෙමු. ඒ සීනි වෙනුවෙන් නොවේ. ලේ වෙනුවෙනි. 


තණමල්විලින් හැරී අප දිගු ගමනක් යා යුතුය. මෑත මෙන්ම සෙවනගල ද අති සුන්දර පරිසරයක්මය. ගිනි අව්ව නිරන්තරයෙන් මේ බිමට බැට දෙනවා තමයි. නමුත් තැන තැන පිහිටි සෞන්දර්යයේ පරිපාකයන් නම් ඒ කෙණෙහිලිකම්වලට දැක්වූ යස පාඩම්ය. අතුරු පාරට හැරී මඳ දරක් යද්දී දකුණු පැත්තේ රැලි නඟන කුඩා ජලාශයකි. දිය උතුරයි. ඉවුරට පෙරැළී එන රැල්ල අඬ ගසන්නේ දියට බසින්නටය.



ඉන් පසු දෙපසම උක් වතුය. ඉඳහිට ගැමියකු දක්නට ලැබේ. නැති නම් පරිසරයම නිශ්ශබ්දතාවේ ගිළී ඇති සේය. උක් යායක් මතින් වම් පැත්තේ ඈතින් දැන් අපට කළු ගැහුණ සීනි ෆැක්ටරිය දෘශ්‍යමාන වේ. ප‍්‍රියංකර වූ දසුනෙකි. එහෙත් හවස් වන තෙක් අපි ගමන කල් තැබීමු. අපි මඟින් නතර වීමු.








ඔවුහු බොහෝ සුහදශීලී මිනිස්සු වූහ. අපට කිසි ඉසිඹුවක් නොවීය. ඔවුහු පෝළිමේ පැමිණ ලේ දන් දුන්හ. ඌව වෙල්ලස්ස ඔවුන්ගේ ම ආදරණීයයන් වෙනුවෙන් ලබා දීම පිණිස අපට ලේ දුන්හ. අපේ ලේ පෙට්ටි දෙක උතුරා යන තරමට ම ඒ පරිත්‍යාගය මහත් විය.


 


උදේ කතිකා කර ගත් අයුරු ෆැක්ටරිය බැලීමට නම් කල් නොවිණ. අපි යළි පැමිණියෙමු. එහෙත් ඒ රහක් ඇති බිමෙන් නික්මෙද්දී පුංචි තිත්තක් මට දැනුණි. ඒ ඔවුන් නිසා නම් නොවේ. මට අප ගැනමය.
 

ගැමුණු පී. දසනායක







Thursday, June 4, 2015

මඟුල් මහා විහාරය ලාහුගල

පොතුවිල් ගමන-1

      

     අද සිංහල දෙමළ අලූත් අවුරුදු දවස ය. එහෙත් පෙරේදා ගාල්ලේ ගිය මම ඊයේ හවසම යළි මොනරාගල පැමිණියේ බස් නැතිවී අනිද්දා වැඩට එන්නට බැරි වේ යැයි මා සිත කියූ නිසයි. එහෙත් එය වැරදි උපකල්පනයක් විය.
     

     සියලූ දෙනාම ගෙවල්වල සිය දූ දරු මුනුබුරන් සමග අවුරුදු සමරති. අවුරුදු මේසයට ඇවිත් බලන්නැයි කියා කවුරුවත් මා හට ඇරයුම් නොකළත් මේ හිස් වූ නගරය කියා පාන්නේ එයමැයි.
 

     නැකත පිළිගන්නා රතිඤ්ඤා හඩ සතර අතින් ඇසේ. කොවුල් හඩද ඉඳහිට හෝ නෑසෙන්නේ නොවේ. අම්මලාට නංගිලාට කතා කොට සුබ පතා නොනැකතේ පිසුණ බත ද කා මම සිංදුවක් රස විඳිමි. තනිකඩයාට මොන අවුරුදු ද?

''එරබදු මල් පිපිලාය
ඔංචිලි බැඳලාය
අලූතින්ම ඇඳලාය
පොඩි උන්ට අවුරුදුය

කාලෙකින් ගම ඒය
ගෙදර කිරි උතුරාය
මධු විතත් හිනැහේය
ලොකුන්ටත් අවුරුදුය

නැතිය මට අවුරුදු
ඈ මිය ගියේ ළඟදී
යතුරත් ඈ ළඟ
වසා දැමූ උයනේ''



     අවුරුද්ද ගෙවුණා පමණි. අද ගෙවා ගත යුතුව ඇත. ඒ සඳහා හිස හැරුණ අතේ යා යුතුය. හිස හැරුණේ වම් පැත්තටය. අම්පාරද? පොතුවිල්ද? අම්පාරට මොනරාගල සිට කිලෝමීටර අනූවකි. පොතුවිල්වලට හැත්තෑ දෙකකි. පොතුවිල් යමු. මගේ තුරඟා මට කීවේය. මම ඌට බඩ පිරෙන්නට ටවුමේ තෙල් හලෙන් තෙල් අරගෙන දුනිමි. නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ අටයි හය සටහන් වෙද්දී අපි එතැනින් වමට හැරී ගමන ඇරඹීමු. කිලොමීටර දෙකක් ගෙවුණ තැන වම් පැත්තේ මට මගේ ගෙය හමු වෙයි. මැද ගේට්ටුව ඉදිරියේ නතර වී හිස ඔසවා බලමි. කිලෝමීටර දෙසියයකටත් ඈත පිහිටි මගේ ගමට අත පොවන්නටවත් බැරි මට ලේ බැංකුව ලෙස පුවරුවක් ගසා ගත් මෙයට ගෙදර යැයි කීමේ කවර වරදද? එදා ඔවුහු මා පිළිගත්තෝය. කතා බහ කළෝය. තේ හදා දුන්නෝය. කෑවාද බීවාද කියා ඇසුවෝය. අදත් හෙදියක, සුළු සේවකයකු, වෛද්‍යවරයකු සිය අවුරුද්ද කැප කොට මෙහි සේවයේ යෙදී ඇති. මෙහි මතු නොවේ, සෑම වාට්ටුවකම එය එසේය. ඔවුන්ට සිතින් සුබ අලූත් අවුරුද්දකැයි පතමින් මම නැවත ගමන පිටත් වෙමි.


    මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ තුරු පත් සදා දෙන වියන් යටින් යද්දී ජැකට්ටුවක් ඇඳ සිටියත් ගතට මෙන්ම සිතට ද දැනෙන සිසිල පෙර මා නොසිතූවකි. ඔබත් හිතනවා ඇති කාෂ්ඨක මොනරාගල මොන සීතලක්දැයි. එහෙත් අප සිහිනෙන් දකින අසුන්දරත්වය පිටුපස සැබෑ සෞන්දර්යයක් සැඟවී අප දෙස බලා සිටී. නගරයේ සිට අප දකින මරගල කන්දට මුවා වී සිටින ඒ සුන්දරිය යි දැන් මේ මා දකින්නේ. කඳුවැටිය බොහෝ දුරක් යන තෙක් මා හා අත් වැල් බැඳගෙනම පැමිණියා ය.








     වම් පැත්තට අම්පාරටය. අපි කෙළින්ම යමු. පාර රළු කාපට් එළුෑවකි. එය අපට පුරුදු මැදුණු කාපටය නොවේ. ‘‘ ඕක ටයර් කනව... හැබැයි ලිස්සන්නෙ නෑ...’’ පසු දාක අපේ රියදුරු විශේෂඥ දුෂාන්තයෝ අප දැනුවත් කළෝය. ‘‘ ඕකෙන් කූඹින්ගෙ ජීවිත ආරක්ෂා වෙනව’’ දිමන්ත ද එදා එහි වාසි ගැන කතා කළේය.





     මඟ දිගටම තැන තැන සෞන්දර්යය වනා තිබේ. මඟ දෙපස ළඳු කැලෑය. වෙල් යායවල්ය. විටෙක ඈතින් වැවක් දිස්වේ.









     ටිකින් ටික පරිසරය කාෂ්ඨකත්වයේ වර්ණ ගනී. ඒ සඳහා වස්තූන්ද සහයට පැමිණේ. දිය කඩිත්තක ලැග ගිනියම නිවා ගන්නා මී හරක් රංචුවක් පාර අද්දරම දැකිය හැකිය. කොකෙක් දෙන්නෙක් බොර දිය ඉහත්තේ නොසෙල්ලී බලා සිටී. ලාහුගල රක්ෂිතය ඇරඹෙන්නට වහාම මෑතින් හමුදා කඳවුරකි. එහෙත් ඔවුන්ගෙන් බාධාවක් නැත. පුරුද්දට මෙන්දෝ ඔවුහු ගම රකිති. විවිධාකාර වූ දේශපාලන මත සිය හිස් මත පළන්දා ගත්තවුන් පාට පාට අවු කණ්ණාඩිවලින් නරඹමින් තම තම නැණ පමණින් මොනවා කිව්වත් යුද්ධය නිමා ව නොතිබෙන්නට අද මේ මෝටර් සයිකල්කරුවා මෙතැනින් නොයනවා ඇත. ගියත් වීසා බලපත‍්‍රයක් අතැතිව වන්නට පුළුවන.



ලාහුගල වන සංරක්ෂිතය


    

     ලාහුගල කැලෑව ඇරඹෙන තැන වම් පස සෞන්දර්යය යායකි. ඈතින් වැවකි. වැවක් නොව වැව් මණ්ඩලයක් බව එතැන පුවරුව අප දැනුවත් කරයි. මහා මාර්ගය වැටී ඇත්තේ කැලෑව මැදිනි. මෙය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වර්ගයට අයත්ය. අලයා, කොටියා, තිත් මුවා, වලහා, ගෝනා, කබැල්ලෑවා, දියබල්ලා වැනි වියළි කළාපීය සත්ව විශේෂ මෙහි දැකිය හැකි බව සඳහන් කර තිබුණි. කැළෑව අතරින් තුරු වියන් යටින් යන ගමන අතිශය චමත්කාරජනකය. ගතට දැනෙන සිසිලත්, ඇසේ තැවරෙන සෞන්දර්යයත්, කණට නිරන්තරයෙන් එක දිගටම ඇසෙනා විවිධාකාර කුරුලූ කූජනත් සියල්ල එකට කැටි කොට සිතට නඟන්නේ පුදුමාකාර නිස්කලන්කභාවයකි. සිත නිවා සනසන දිව්‍ය ඖෂධයකි එය. එහෙත් කෙළෙස් මළ පිරි කොළඹ අතහැර- බවුන් වඩනට කියා හෝ හිතුන හිතුන පළියට අපට මේ වන ගැබ තුළට පිවිසිය නොහේ. ඒ සඳහා තහංචි දමා ඇත. දේශපාලක නම ගසා ගත් සුදු රෙදි හොරුන්ට නම් ඒ තහංචිය නැතුව ඇති. මෙහි ඇති පලූ , වීර, බුරුත ඈ වියළි කළාපීය වෘක්ෂ ලතාදීන්ට පණ මෙන් ආදරය කරන සුදු රෙදි හොරා යනු පක්ෂියෙකු නොවැ?... 


මඟුල් මහා විහාරය

     වනය කෙමෙන් තුනී වී යයි. අපේ එක් නැරඹුම් ස්ථානයක පුවරුව පාරේ වම් පසින් ඇස ගැටේ. මඟුල් මහා විහාරය. මහ පාරේ සිට මීටර් පන්සියයක් පමණ ඇතුළට යා යුතුය. වාහනයකින්ම එතැනටම යා හැකි ලෙස මාර්ගය සාදා තිබේ. විඩා නිවන දොඩම් කඩ ළඟින් තුරඟා ගාල් කර පයින් සුළු දුරක් යා යුතුය. මීටර් දෙසීයක් පමණි. ඒ දෙපස පැරණි පොකුණු යුවළකි. ඒවායේ දිය පිරී ඇත.  ඕලූ මල් පිපී ඇත. පොකුණුවලට බැසීම සඳහා කුඩා පඩි පෙළක්ද විහාර අන්තය දෙසින් නිර්මාණය කර තිබේ.







    විහාර බිම ඇරඹෙන තැනම ආවාස ගෙයි මිදුලේ හාමුදුරු නමක් වැඩ වෙසෙනු පෙනෙයි. විහාරාධිපති හිමියන් විය යුතුය. උන් වහන්සේට වැඳ අවසර ගෙන වෙහෙර බිමට පිවිසෙමි. එතැන බුදු ගෙය ඇතුළු ධර්ම ශාලාවයි. ඊට පිටුපසින්  නටබුන් සහිත භූමියයි.




      මෙම විහාරය ගොඩනැංවීම පිළිබඳ මතවාද කිහිපයක් පවතී. මහාවංශය, පූජාවලිය වැනි ග‍්‍රන්ථයන් හා පුවරු ලිපි ආශ‍්‍රයෙන් විවිධ සාක්ෂි මතු වුවත් තවමත් ස්ථිර අදහසක් ප‍්‍රකාශ කොට නැත. මෙහි ඇති පුවරු ලිපියෙහි ප‍්‍රකාරව මෙම විහාරය අතීතයේ රුහුණු මහා විහාරය ලෙස හැඳින්වූ බවත්, එවකට නටබුන්ව තිබූ මේ විහාරය පැරකුම්බා නමැති දෙබා රජවරුන්ගේ අග මෙහෙසිය වූ විහාර මහා දේවිය විසින් අලූත්වැඩියා කරන ලද බව කියැවේ. තවද මෙම විහාරය ධාතුසේන රජතුමා විසින්ද, දප්පුල රජු විසින්ද කරවන ලද්දක් බව පැවසුනත් එය නිශ්චිත නැත.

    ජනප‍්‍රවාදයන්ට අනුව පොතුවිල්හි අද මුහුදු මහා විහාරය පිහිටා ඇති ස්ථානයට ගොඩ බට විහාර මහා දේවියත් කාවන්තිස්ස රජතුමාත් අතර විවාහය සිදු වූයේ මෙම ස්ථානයේ බව කියතත් ඒ සඳහා පුරාවිද්‍යා සාක්ෂ්‍ය නැති බවයි පැවසෙන්නේ.



    කෙසේ නමුත් මෙම ස්ථානය අතීතයේ මහා විහාර ආරාම සංකීර්ණයක් බවයි පිළිගැනීම.
    

    මුළු ආරාම සංකීර්ණයම ආවරණය වන සේ ඒ වටා විශාල ගල් ප‍්‍රාකාරයක් ඉදි කොට ඇත.



    විහාර මළුවට පිවිසෙන තැන වම් පැත්තේ පොහොය සීමා මාලකයක් වශයෙන් සිතිය හැකි ගොඩනැගිල්ලක නටබුන්ය.


     එයට පිවිසෙන තැන වන සඳකඩ පහණ සුවිශේෂී එකකි. සඳකඩ පහනේ ඇත් පන්තියේ ඇතුන් මත ඇත් ගොව්වකුද කැටයම් කොට ඇත. මෙය වෙනත් සඳකඩ පහණක අප නොදුටු ලක්ෂණයකි.


    
     ස්ථූපය වේදිකාවක් මත ඉදිකර ඇත. ස්ථූපයේ ඡත‍්‍රය නැත. මෙහි මුරගල්වල කොටා ඇත්තේ ද පුන් කළස්ය.







      බෝධිඝරයක් වශයෙන් හඳුන්වන ස්ථානයයි බොහෝ දෙනා ජනප‍්‍රවාදයන්ට අනුව විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජතුමා විවාහ වූ මඟුල් පෝරුව ලෙස හඳුන්වන්නේ. එහෙත් එහි සනාථ කළ සත්‍යයක් නැති බවයි පැවසෙන්නේ.






     කරුණු එසේ වෙතත් ගොඩ නොගත් සැඟවුණ මහා ඉතිහාසයක් තවමත් මේ බිම්වල පොළොවේ වැළලී ඇති බව නම් සත්‍යයකි. 










     බොහෝ වේලා ඒ බිමේ ගත කොට නැවත පැමිණ විඩා නිවන කඩේකින් දොඩම් වීදුරුවක්ද බී යළි ගමන් ඇරඹීමි. මෙතැන වෙනදාට කඩවල් පේළියක්ම විවෘතව තිබුණත් අද හැමෝටම අවුරුදු බැවින්දෝ මෙහි එකම එක කඩයක් පමණි. එහි දොඩම්, දිවුල්, බෙලි මල් ඔබගේ විඩා නිවීම පිණිස බලා සිටී.
 

     යන්නට ගොස් යළි හැරුණෙමි. ඇත්ගාල බලන්නටය. ඇත්ගාල ලෙසින් එතැන පුවරුවක්ද සවි කර ඇත. මා වටයක්ම ගියත් එවැන්නක් සොයා ගත නොහැකි විය. ඇත්තටම එවැන්නක් නැත. අතීතයේ තිබුණ ඇත්ගාලේ ගල් කණු කිහිපයක් පමණි.

     නමුත් මා ගිය පාරේ කුඩා වැව් කණ්ඩිය මත සිට අලූතින් ඉදිවන විහාරයේ චෛත්‍යය ඈතින් මට දකිනු හැකි විය.






     එහෙත් මහ වැස්සක් එකවර කඩා පාත් විය. මුවා වෙන්ට එකම එක ගහක් තිබුණි. එතැන එහා පැත්තේ වෙල් යායකි. වැස්ස කඩා හැළේ. මොනරු එකිනෙකා කතා කර ගනිති. විටෙක මා ඉදිරියේ ඇති පස් පාර හරහා මාරු වන මොනරකු තවත් විටෙක අසල ගසක සිට පියාඹනු මා ඇසට හසු වේ. මනස්කාන්ත දසුනෙකි. මඟුල් මහ වෙහෙරට පිටුපස ඇති පාරක් නොවන පාර දිගේ මම ද මගේ තුරඟා ගෙන යමි. ඌටත් මේවා හුරු පුරුදුය. වැලි පාර යන්නේ ගම්මානයකටය. මම මඳ දුරක් ගියෙමි. වෙල් යාය නැටුම් පාසලකි. මොනරුන්ද සෙබඩුන්ද බොහෝය. මොනරු පිල් විදහා ගෙන නටති.





     හදිසියේම ඇස ගැටුණ නාඳුනන මනමාලයා දුටු උන් සිකි පිල් වහා හකුළාගෙන ඈතින් ඈතට දිව ගියෝය. මම ද යළි හැරී මගේ ගමනේ ඉතුරු හරියට පිවිසුණෙමි.





අපි යමු පොතුවිල් බලා......

ගැමුණු පී දසනායක
(2015-04 ගමනක්)


Wednesday, January 14, 2015

ඇතිමලේ - ශ්‍රී යශෝදරා ආරාමය

කටුක බිමෙක වස්සානේ

දියතලාව හැරදා කාෂ්ඨක නුවරකට පැමිණියෙමි. මෙහි අව්ව පවා කට්ට කෛරාටික යැයි මට සිතේ. ගම සුන්දරයි-ගම් වැසියන් අහිංසකයි යන්න උදාන වාක්‍ය සේ සිතේ තැන්පත්ව තිබුණත් කොළඹ පිටකොටුවේ වීදියකදීවත් අත් නොදුටු ගසා කෑම් හතර පහක්ම අත් විඳින්නට සිදු විය. ඒ ඉතින් මිනිස්සුන්ගෙ හැටි, ගමේ වරද නොවෙයි කියා හිත හදා ගත්තත් දැන් මගේ ඇස් වට අවට බලන්නේ සැකයෙනි. එහෙත් දියතලාවේ සීත මීදුම් බිඳිති මුසු සෞම්‍ය සුළඟ තවමත් ඉඳහිට හමනු සිතට දැනෙයි. ඔයා කෑවද, නිඳා ගත්තද කියා අසන තරමේ ළබැඳි බව වියැකී ගොස් තිබුණද එය වියැළුණ ජීවිතයකට දිව ඔසුවක්මය. මේ සියලූ කටුක දුක් දෙබෑ කරගෙන රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ වස්සානය ඉස්පිරිතාලෙ පිටුපසින් ගලා යන හුලංදා ඔයෙන් මතු වේ. ඉතින් ‘‘ දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය- කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’’



ඇති... මලේ....... ඇතිමලේ

අද අපි ගියා මොබයිල් එකක්. ඒ කියන්නෙ ලේ දන්දීමෙ කඳවුරකට. ඇතිමලේ. සිරිගල ඉඳල යද්දි දකුණු පැත්තෙ මරගල කඳුවැටිය දකින්නට පුළුවන්. ඒක හරි සුන්දර දසුනක්. මොනරාගලට ආභරණයක්. මොනරාගල ගිනි රස්නෙ අව්ව මැද හරිත වර්ණයෙන් ගැවසුන මේ දසුන නම් නෙතට උළෙලක්මය. තව තව මෙවන් හැඩකාරියන් මේ නුවර නැතුවා වෙන්නට බැරිය.

මේ යන පාරෙ තමයි ගලබැද්ද බිසෝපොකුණ තියෙන්නෙත්. තව ඓතිහාසික රජ මහා විහාරත් කීපයක්ම දැක්කා. හිතින් ඒවාට මඟ ලකුණු තිය තිය ආව පස්සෙ දවසක යන්න. සියඹලාණ්ඩුවට යන්න කළින් ඇතිමලේ පාරෙන් හැරුණා. ඇතිමලේ ගැනත් අපේ මිස් කෙනෙක් කිව්ව. නම හැදුණ හැටි. සද්ධාතිස්ස කුමාරය මේ ප‍්‍රදේශයේ දිගටම වගා කළාලූ. දුටු ගැමුණු රජතුමා කිව්වලූ මල්ලිට වගාකළා ඇති මලේ කියල. එහෙමලූ ඇති මලේ පස්සෙ ඇතිමලේ වුණේ. එත් මට නම් හිතුණ මෙහෙමත්. අයිය මලෝ දෙන්න රාජ්‍ය බලලෝභීත්වය වෙනුවෙන් සටන් වැදුණනෙ. එතකොට කිව්වද දන්නෙත් නෑ දැන් අපි ගහ මරා ගත්ත ඇති මලේ කියල. සද්ධාතිස්සගම වගේ නම් තියෙන ගම් මේ පළාතෙ තියෙනව.

අප ගිය තැනට ඇතිමලේ පාරෙන් ආපහු වමට හැරෙන්න  ඕන. ඒක පන්සලක්. යශෝදරා ආරාමය. සිල් මෑණිවරුන්ගෙ ආරාමයක්. මහ පාරෙ ඉඳන් තියෙන හැතැප්ම බාගයක් විතර කැලෑව. ඒත් ඒ මැදින් අලූතක පාරක් හදල තියෙනවා. හරිම නිස්කලංකයි. ගල් පව්වක් මත තමයි විහාරය හදල තියෙන්නෙ.

චෛත්‍යය හදල තියෙන්නෙ චෛත්‍ය ගර්භයට පිවිසෙන්න පුළුවන් විදියට. විහාර ගෙය, බුදු මැදුර අලූතින් හදල තියෙන්නෙ. මේ ආරාමෙ වැඩ ඉන්නෙ සිල් මෑණිවරුන් දෙතුන් දෙනයි. ඉතින් ඒ කැපවීමෙන් පන්සලක් ගොඩ නැගුව කීවාම පුදුමත් හිතෙනව. ගම් වැසියනුත් ආරාමය සමග සමීපයි කියල අපට හිතුණ.  














ගැමුණු පී. දසනායක
2015-01-