Thursday, June 4, 2015

මඟුල් මහා විහාරය ලාහුගල

පොතුවිල් ගමන-1

      

     අද සිංහල දෙමළ අලූත් අවුරුදු දවස ය. එහෙත් පෙරේදා ගාල්ලේ ගිය මම ඊයේ හවසම යළි මොනරාගල පැමිණියේ බස් නැතිවී අනිද්දා වැඩට එන්නට බැරි වේ යැයි මා සිත කියූ නිසයි. එහෙත් එය වැරදි උපකල්පනයක් විය.
     

     සියලූ දෙනාම ගෙවල්වල සිය දූ දරු මුනුබුරන් සමග අවුරුදු සමරති. අවුරුදු මේසයට ඇවිත් බලන්නැයි කියා කවුරුවත් මා හට ඇරයුම් නොකළත් මේ හිස් වූ නගරය කියා පාන්නේ එයමැයි.
 

     නැකත පිළිගන්නා රතිඤ්ඤා හඩ සතර අතින් ඇසේ. කොවුල් හඩද ඉඳහිට හෝ නෑසෙන්නේ නොවේ. අම්මලාට නංගිලාට කතා කොට සුබ පතා නොනැකතේ පිසුණ බත ද කා මම සිංදුවක් රස විඳිමි. තනිකඩයාට මොන අවුරුදු ද?

''එරබදු මල් පිපිලාය
ඔංචිලි බැඳලාය
අලූතින්ම ඇඳලාය
පොඩි උන්ට අවුරුදුය

කාලෙකින් ගම ඒය
ගෙදර කිරි උතුරාය
මධු විතත් හිනැහේය
ලොකුන්ටත් අවුරුදුය

නැතිය මට අවුරුදු
ඈ මිය ගියේ ළඟදී
යතුරත් ඈ ළඟ
වසා දැමූ උයනේ''



     අවුරුද්ද ගෙවුණා පමණි. අද ගෙවා ගත යුතුව ඇත. ඒ සඳහා හිස හැරුණ අතේ යා යුතුය. හිස හැරුණේ වම් පැත්තටය. අම්පාරද? පොතුවිල්ද? අම්පාරට මොනරාගල සිට කිලෝමීටර අනූවකි. පොතුවිල්වලට හැත්තෑ දෙකකි. පොතුවිල් යමු. මගේ තුරඟා මට කීවේය. මම ඌට බඩ පිරෙන්නට ටවුමේ තෙල් හලෙන් තෙල් අරගෙන දුනිමි. නගර මධ්‍යයේ ඔරලෝසු කණුවේ අටයි හය සටහන් වෙද්දී අපි එතැනින් වමට හැරී ගමන ඇරඹීමු. කිලොමීටර දෙකක් ගෙවුණ තැන වම් පැත්තේ මට මගේ ගෙය හමු වෙයි. මැද ගේට්ටුව ඉදිරියේ නතර වී හිස ඔසවා බලමි. කිලෝමීටර දෙසියයකටත් ඈත පිහිටි මගේ ගමට අත පොවන්නටවත් බැරි මට ලේ බැංකුව ලෙස පුවරුවක් ගසා ගත් මෙයට ගෙදර යැයි කීමේ කවර වරදද? එදා ඔවුහු මා පිළිගත්තෝය. කතා බහ කළෝය. තේ හදා දුන්නෝය. කෑවාද බීවාද කියා ඇසුවෝය. අදත් හෙදියක, සුළු සේවකයකු, වෛද්‍යවරයකු සිය අවුරුද්ද කැප කොට මෙහි සේවයේ යෙදී ඇති. මෙහි මතු නොවේ, සෑම වාට්ටුවකම එය එසේය. ඔවුන්ට සිතින් සුබ අලූත් අවුරුද්දකැයි පතමින් මම නැවත ගමන පිටත් වෙමි.


    මොනරාගල සියඹලාණ්ඩුව මාර්ගයේ තුරු පත් සදා දෙන වියන් යටින් යද්දී ජැකට්ටුවක් ඇඳ සිටියත් ගතට මෙන්ම සිතට ද දැනෙන සිසිල පෙර මා නොසිතූවකි. ඔබත් හිතනවා ඇති කාෂ්ඨක මොනරාගල මොන සීතලක්දැයි. එහෙත් අප සිහිනෙන් දකින අසුන්දරත්වය පිටුපස සැබෑ සෞන්දර්යයක් සැඟවී අප දෙස බලා සිටී. නගරයේ සිට අප දකින මරගල කන්දට මුවා වී සිටින ඒ සුන්දරිය යි දැන් මේ මා දකින්නේ. කඳුවැටිය බොහෝ දුරක් යන තෙක් මා හා අත් වැල් බැඳගෙනම පැමිණියා ය.








     වම් පැත්තට අම්පාරටය. අපි කෙළින්ම යමු. පාර රළු කාපට් එළුෑවකි. එය අපට පුරුදු මැදුණු කාපටය නොවේ. ‘‘ ඕක ටයර් කනව... හැබැයි ලිස්සන්නෙ නෑ...’’ පසු දාක අපේ රියදුරු විශේෂඥ දුෂාන්තයෝ අප දැනුවත් කළෝය. ‘‘ ඕකෙන් කූඹින්ගෙ ජීවිත ආරක්ෂා වෙනව’’ දිමන්ත ද එදා එහි වාසි ගැන කතා කළේය.





     මඟ දිගටම තැන තැන සෞන්දර්යය වනා තිබේ. මඟ දෙපස ළඳු කැලෑය. වෙල් යායවල්ය. විටෙක ඈතින් වැවක් දිස්වේ.









     ටිකින් ටික පරිසරය කාෂ්ඨකත්වයේ වර්ණ ගනී. ඒ සඳහා වස්තූන්ද සහයට පැමිණේ. දිය කඩිත්තක ලැග ගිනියම නිවා ගන්නා මී හරක් රංචුවක් පාර අද්දරම දැකිය හැකිය. කොකෙක් දෙන්නෙක් බොර දිය ඉහත්තේ නොසෙල්ලී බලා සිටී. ලාහුගල රක්ෂිතය ඇරඹෙන්නට වහාම මෑතින් හමුදා කඳවුරකි. එහෙත් ඔවුන්ගෙන් බාධාවක් නැත. පුරුද්දට මෙන්දෝ ඔවුහු ගම රකිති. විවිධාකාර වූ දේශපාලන මත සිය හිස් මත පළන්දා ගත්තවුන් පාට පාට අවු කණ්ණාඩිවලින් නරඹමින් තම තම නැණ පමණින් මොනවා කිව්වත් යුද්ධය නිමා ව නොතිබෙන්නට අද මේ මෝටර් සයිකල්කරුවා මෙතැනින් නොයනවා ඇත. ගියත් වීසා බලපත‍්‍රයක් අතැතිව වන්නට පුළුවන.



ලාහුගල වන සංරක්ෂිතය


    

     ලාහුගල කැලෑව ඇරඹෙන තැන වම් පස සෞන්දර්යය යායකි. ඈතින් වැවකි. වැවක් නොව වැව් මණ්ඩලයක් බව එතැන පුවරුව අප දැනුවත් කරයි. මහා මාර්ගය වැටී ඇත්තේ කැලෑව මැදිනි. මෙය වියළි මිශ‍්‍ර සදාහරිත වනාන්තර වර්ගයට අයත්ය. අලයා, කොටියා, තිත් මුවා, වලහා, ගෝනා, කබැල්ලෑවා, දියබල්ලා වැනි වියළි කළාපීය සත්ව විශේෂ මෙහි දැකිය හැකි බව සඳහන් කර තිබුණි. කැළෑව අතරින් තුරු වියන් යටින් යන ගමන අතිශය චමත්කාරජනකය. ගතට දැනෙන සිසිලත්, ඇසේ තැවරෙන සෞන්දර්යයත්, කණට නිරන්තරයෙන් එක දිගටම ඇසෙනා විවිධාකාර කුරුලූ කූජනත් සියල්ල එකට කැටි කොට සිතට නඟන්නේ පුදුමාකාර නිස්කලන්කභාවයකි. සිත නිවා සනසන දිව්‍ය ඖෂධයකි එය. එහෙත් කෙළෙස් මළ පිරි කොළඹ අතහැර- බවුන් වඩනට කියා හෝ හිතුන හිතුන පළියට අපට මේ වන ගැබ තුළට පිවිසිය නොහේ. ඒ සඳහා තහංචි දමා ඇත. දේශපාලක නම ගසා ගත් සුදු රෙදි හොරුන්ට නම් ඒ තහංචිය නැතුව ඇති. මෙහි ඇති පලූ , වීර, බුරුත ඈ වියළි කළාපීය වෘක්ෂ ලතාදීන්ට පණ මෙන් ආදරය කරන සුදු රෙදි හොරා යනු පක්ෂියෙකු නොවැ?... 


මඟුල් මහා විහාරය

     වනය කෙමෙන් තුනී වී යයි. අපේ එක් නැරඹුම් ස්ථානයක පුවරුව පාරේ වම් පසින් ඇස ගැටේ. මඟුල් මහා විහාරය. මහ පාරේ සිට මීටර් පන්සියයක් පමණ ඇතුළට යා යුතුය. වාහනයකින්ම එතැනටම යා හැකි ලෙස මාර්ගය සාදා තිබේ. විඩා නිවන දොඩම් කඩ ළඟින් තුරඟා ගාල් කර පයින් සුළු දුරක් යා යුතුය. මීටර් දෙසීයක් පමණි. ඒ දෙපස පැරණි පොකුණු යුවළකි. ඒවායේ දිය පිරී ඇත.  ඕලූ මල් පිපී ඇත. පොකුණුවලට බැසීම සඳහා කුඩා පඩි පෙළක්ද විහාර අන්තය දෙසින් නිර්මාණය කර තිබේ.







    විහාර බිම ඇරඹෙන තැනම ආවාස ගෙයි මිදුලේ හාමුදුරු නමක් වැඩ වෙසෙනු පෙනෙයි. විහාරාධිපති හිමියන් විය යුතුය. උන් වහන්සේට වැඳ අවසර ගෙන වෙහෙර බිමට පිවිසෙමි. එතැන බුදු ගෙය ඇතුළු ධර්ම ශාලාවයි. ඊට පිටුපසින්  නටබුන් සහිත භූමියයි.




      මෙම විහාරය ගොඩනැංවීම පිළිබඳ මතවාද කිහිපයක් පවතී. මහාවංශය, පූජාවලිය වැනි ග‍්‍රන්ථයන් හා පුවරු ලිපි ආශ‍්‍රයෙන් විවිධ සාක්ෂි මතු වුවත් තවමත් ස්ථිර අදහසක් ප‍්‍රකාශ කොට නැත. මෙහි ඇති පුවරු ලිපියෙහි ප‍්‍රකාරව මෙම විහාරය අතීතයේ රුහුණු මහා විහාරය ලෙස හැඳින්වූ බවත්, එවකට නටබුන්ව තිබූ මේ විහාරය පැරකුම්බා නමැති දෙබා රජවරුන්ගේ අග මෙහෙසිය වූ විහාර මහා දේවිය විසින් අලූත්වැඩියා කරන ලද බව කියැවේ. තවද මෙම විහාරය ධාතුසේන රජතුමා විසින්ද, දප්පුල රජු විසින්ද කරවන ලද්දක් බව පැවසුනත් එය නිශ්චිත නැත.

    ජනප‍්‍රවාදයන්ට අනුව පොතුවිල්හි අද මුහුදු මහා විහාරය පිහිටා ඇති ස්ථානයට ගොඩ බට විහාර මහා දේවියත් කාවන්තිස්ස රජතුමාත් අතර විවාහය සිදු වූයේ මෙම ස්ථානයේ බව කියතත් ඒ සඳහා පුරාවිද්‍යා සාක්ෂ්‍ය නැති බවයි පැවසෙන්නේ.



    කෙසේ නමුත් මෙම ස්ථානය අතීතයේ මහා විහාර ආරාම සංකීර්ණයක් බවයි පිළිගැනීම.
    

    මුළු ආරාම සංකීර්ණයම ආවරණය වන සේ ඒ වටා විශාල ගල් ප‍්‍රාකාරයක් ඉදි කොට ඇත.



    විහාර මළුවට පිවිසෙන තැන වම් පැත්තේ පොහොය සීමා මාලකයක් වශයෙන් සිතිය හැකි ගොඩනැගිල්ලක නටබුන්ය.


     එයට පිවිසෙන තැන වන සඳකඩ පහණ සුවිශේෂී එකකි. සඳකඩ පහනේ ඇත් පන්තියේ ඇතුන් මත ඇත් ගොව්වකුද කැටයම් කොට ඇත. මෙය වෙනත් සඳකඩ පහණක අප නොදුටු ලක්ෂණයකි.


    
     ස්ථූපය වේදිකාවක් මත ඉදිකර ඇත. ස්ථූපයේ ඡත‍්‍රය නැත. මෙහි මුරගල්වල කොටා ඇත්තේ ද පුන් කළස්ය.







      බෝධිඝරයක් වශයෙන් හඳුන්වන ස්ථානයයි බොහෝ දෙනා ජනප‍්‍රවාදයන්ට අනුව විහාරමහා දේවිය හා කාවන්තිස්ස රජතුමා විවාහ වූ මඟුල් පෝරුව ලෙස හඳුන්වන්නේ. එහෙත් එහි සනාථ කළ සත්‍යයක් නැති බවයි පැවසෙන්නේ.






     කරුණු එසේ වෙතත් ගොඩ නොගත් සැඟවුණ මහා ඉතිහාසයක් තවමත් මේ බිම්වල පොළොවේ වැළලී ඇති බව නම් සත්‍යයකි. 










     බොහෝ වේලා ඒ බිමේ ගත කොට නැවත පැමිණ විඩා නිවන කඩේකින් දොඩම් වීදුරුවක්ද බී යළි ගමන් ඇරඹීමි. මෙතැන වෙනදාට කඩවල් පේළියක්ම විවෘතව තිබුණත් අද හැමෝටම අවුරුදු බැවින්දෝ මෙහි එකම එක කඩයක් පමණි. එහි දොඩම්, දිවුල්, බෙලි මල් ඔබගේ විඩා නිවීම පිණිස බලා සිටී.
 

     යන්නට ගොස් යළි හැරුණෙමි. ඇත්ගාල බලන්නටය. ඇත්ගාල ලෙසින් එතැන පුවරුවක්ද සවි කර ඇත. මා වටයක්ම ගියත් එවැන්නක් සොයා ගත නොහැකි විය. ඇත්තටම එවැන්නක් නැත. අතීතයේ තිබුණ ඇත්ගාලේ ගල් කණු කිහිපයක් පමණි.

     නමුත් මා ගිය පාරේ කුඩා වැව් කණ්ඩිය මත සිට අලූතින් ඉදිවන විහාරයේ චෛත්‍යය ඈතින් මට දකිනු හැකි විය.






     එහෙත් මහ වැස්සක් එකවර කඩා පාත් විය. මුවා වෙන්ට එකම එක ගහක් තිබුණි. එතැන එහා පැත්තේ වෙල් යායකි. වැස්ස කඩා හැළේ. මොනරු එකිනෙකා කතා කර ගනිති. විටෙක මා ඉදිරියේ ඇති පස් පාර හරහා මාරු වන මොනරකු තවත් විටෙක අසල ගසක සිට පියාඹනු මා ඇසට හසු වේ. මනස්කාන්ත දසුනෙකි. මඟුල් මහ වෙහෙරට පිටුපස ඇති පාරක් නොවන පාර දිගේ මම ද මගේ තුරඟා ගෙන යමි. ඌටත් මේවා හුරු පුරුදුය. වැලි පාර යන්නේ ගම්මානයකටය. මම මඳ දුරක් ගියෙමි. වෙල් යාය නැටුම් පාසලකි. මොනරුන්ද සෙබඩුන්ද බොහෝය. මොනරු පිල් විදහා ගෙන නටති.





     හදිසියේම ඇස ගැටුණ නාඳුනන මනමාලයා දුටු උන් සිකි පිල් වහා හකුළාගෙන ඈතින් ඈතට දිව ගියෝය. මම ද යළි හැරී මගේ ගමනේ ඉතුරු හරියට පිවිසුණෙමි.





අපි යමු පොතුවිල් බලා......

ගැමුණු පී දසනායක
(2015-04 ගමනක්)


3 comments:

  1. අපූරුයි ඔබගේ සටහන. නැවත එමි!!!

    ReplyDelete
  2. ස්තුතියි. ඔබේ බ්ලොග් සටහනේද ඔහියට ගිය චාරිකාව කියවද්දී මං තනියෙන් ඔය පාරේම බයික් එකේ ඔහියට ගිය හැටි මතක් වෙනවා. http://gamunupdassanayake.blogspot.com/2014/10/blog-post.html

    ReplyDelete
  3. මේ බ්ලොග් එකට බ්ලොගර්ෆලෝවරය දාන්න, තව තැනක මේක එල්ලන්නම් එතකොට කට්ටිය ඒව්

    ReplyDelete