Tuesday, July 14, 2015

සීනි

කහට කෝප්පයට සීනි දමා එය රසවත් කරගෙන පානය කරන්නට අපි පුරුදු ව සිටින්නෙමු. සීනි නොදැම්මත් අත්ලට සීනි ගෙන දිව ගාමින් අයෙක් තේ බොති. ඉදුණු පළතුරෙහි ෆ්රක්ටෝස් නම් සීනි වර්ගය අන්තර්ගත වුව ඒ බීමට ද සීනි එකතු කෙරේ. ඇතැමෙකු තැඹිලි බොන්නේ ද එයට සීනි හැන්දක් දමා කළතාගෙනය. පැණි නැති නම් සීනි දමා ගෙන කිරි කති. සීනියෙහි බලපුළුවන්කාරකම් එසේය. එසේ වුව ද තිත්ත වූ ජීවිතයකට නම් ඉන් පිටිවහලක් නැති වග එක තේ කෝප්පයකට සීනි හැඳි හතරක් පහක් දමා ගන්නා මම ඉඳුරා දනිමි.
 


දියවැඩියාවෙන් පෙළෙන අප වියපත් මිතුරකු නෝනාට හොරෙන් සීනි කන්නේ සීනි නොකා ජීවත් වෙනවාට වඩා සීනි කාලා මැරෙන එක දාහින් සම්පතකැයි කියමිනි. රාජ්‍ය සම්මානලාභී කෙටි කතා කරුවකු වන නිශ්ශංක විජේමාන්නයින්ගේ තිත්ත සීනි නම් කෙටි කතාව ද මගේ මතක හැටියට මේ අයුරු දියවැඩියා පුද්ගලයකු පිළිබඳවය. එය වැරදි නම් කමත්වා. දන්නා කෙනෙක් නිවැරදි කරත්වා. පුංචි උන් ද මේසේ උඩට බඩගා හෝ උසක් තබා හෝ සීනි බෝතලෙන් සීනි හොරා කති. අප පුංචි කාලයේ ඒ අයුරින් ඇති වෙන තුරු සීනි කෑවේ අන්දරේය. එදා ද තම වට පිටේ සිටින ජෝකර්ලාට රැවටී පොළොවේ පස් කෑ රජවරු සිටියෝය. අන්දරේ ගැන කියද්දී මේ සිංදු කෑල්ල මට මතක් වෙයි. ගීත රචනය රත්න ශ‍්‍රී ගේය. ගායනය රොඩ්නිගේ ය.
 

 ‘‘.... නෑ මට රජ වාසල
සීනි කන්න කෑදරකම්
අතිරහ කැවුම් කොකිස්
හැම ගෙදරම  ඕන තරම්
මේ මල් පිපෙන රටට
තව මොකටද සුවඳ සඳුන්...‘‘
 

අවුරුදු දාට කැවිලි පෙවිලි තිබෙද්දී වෙන සීනි කුමටද? අන්දරේටත් එපා නම් අපටත් එපා.
 

ඒත් මේ සීනි ඇත්තටම පැණි රසද? මේ මොනරාගල පැල්වත්ත ආදී පෙදෙස්හි උක් ගස් කැපෙන කාලයයි. මීට මාස ගණනාවකට එපිට ඔවුහු බිම් සාදා උක් වගා කරති. අක්කර ගණනිනි. ඒවා රැක බලා ගනිති. පොහොර දමති. බෙහෙත් ගසති. සමහරෙක් තම බිම් වෙන අයට බදු දෙති. හිත් පිත් නැතිව ගින්දර විසි කරන හිරු දැක දැකම ඒ අහස යට ඔවුහු ජීවිතය සමග පොර බදති. දාඩිය මුගුරු හෙළමින් කාෂ්ඨක පරිසරයේ උක් නෙළීම අරඹා ඇත. කොහෙන් අන්තරායක් මතු වේදැයි කිව නොහේ. අතක් පයක් කැපී යා හැකිය. මරණය නයි පොළොන් වෙස් ගෙන උක් පඳුරේ කඳේ වෙළී හිඳීයි. අත් දිගට ග්ලවුස් පැළැන්ද ද පලක් නොවිය හැකිය.
 

 නෙළුෑ උක් දඬු ටොන් පිටින් ෆැක්ටරිය වෙත ගෙන යා යුතුය. තම උස මෙන් පස් හය ගුණයක් උසට උක් ගස් පටවා ගත් ට‍්‍රැක්ටර් කැන්ටර් මේ දිනවල සියඹලාණ්ඩුව වැල්ලවාය මාර්ගයේ සොඳුරු දසුනක්ය. ඔබත් ඇවිත් බලන්න. එහෙත් දනිමි ඔබ නොඑන වග. ඒ කඳුළු සීනි වී ඔබ ළඟටම එනු ඇත.






ඇතැම් තැනෙක උක් ගස් කිරයි. අප සීනි කිරන්නේ පොඩි තරාදියේය. නැති නම් කිචන් ස්කේලයේය. අනුන්ගේ සීනි කිරා වාසි ගත්තෝද පාඩු වින්දෝ ද අප අතර  ඕනෑ තරම් සිටිති. එහෙත් මේ දැවැන්ත බිම් තරාදියේ එකවර වාහන ටේ‍්‍රලර පිටින් කිරේ. බර කිරන තුරු පෝළිමේ බලා සිටිනා උක් ගස් ට‍්‍රක්, ට‍්‍රැක්ටර් මේ මඟ යන කාට වුව දැකිය හැකි දසුනෙකි.




කිරූ උක් පැක්ටරියට යන ගමන වුවද අවදානම් නොවුණේ නොවේ. එක් සැණෙකින් මුළු ජීවිතයම වුව කණ පිට හැරෙන්නට පුළුවන.  






අපට කිට්ටුවම ඇත්තේ පැල්වත්තය. එහෙත් මෑතක අපි සෙවනගල සීනි ෆැක්ටරියට ගියෙමු. ඒ සීනි වෙනුවෙන් නොවේ. ලේ වෙනුවෙනි. 


තණමල්විලින් හැරී අප දිගු ගමනක් යා යුතුය. මෑත මෙන්ම සෙවනගල ද අති සුන්දර පරිසරයක්මය. ගිනි අව්ව නිරන්තරයෙන් මේ බිමට බැට දෙනවා තමයි. නමුත් තැන තැන පිහිටි සෞන්දර්යයේ පරිපාකයන් නම් ඒ කෙණෙහිලිකම්වලට දැක්වූ යස පාඩම්ය. අතුරු පාරට හැරී මඳ දරක් යද්දී දකුණු පැත්තේ රැලි නඟන කුඩා ජලාශයකි. දිය උතුරයි. ඉවුරට පෙරැළී එන රැල්ල අඬ ගසන්නේ දියට බසින්නටය.



ඉන් පසු දෙපසම උක් වතුය. ඉඳහිට ගැමියකු දක්නට ලැබේ. නැති නම් පරිසරයම නිශ්ශබ්දතාවේ ගිළී ඇති සේය. උක් යායක් මතින් වම් පැත්තේ ඈතින් දැන් අපට කළු ගැහුණ සීනි ෆැක්ටරිය දෘශ්‍යමාන වේ. ප‍්‍රියංකර වූ දසුනෙකි. එහෙත් හවස් වන තෙක් අපි ගමන කල් තැබීමු. අපි මඟින් නතර වීමු.








ඔවුහු බොහෝ සුහදශීලී මිනිස්සු වූහ. අපට කිසි ඉසිඹුවක් නොවීය. ඔවුහු පෝළිමේ පැමිණ ලේ දන් දුන්හ. ඌව වෙල්ලස්ස ඔවුන්ගේ ම ආදරණීයයන් වෙනුවෙන් ලබා දීම පිණිස අපට ලේ දුන්හ. අපේ ලේ පෙට්ටි දෙක උතුරා යන තරමට ම ඒ පරිත්‍යාගය මහත් විය.


 


උදේ කතිකා කර ගත් අයුරු ෆැක්ටරිය බැලීමට නම් කල් නොවිණ. අපි යළි පැමිණියෙමු. එහෙත් ඒ රහක් ඇති බිමෙන් නික්මෙද්දී පුංචි තිත්තක් මට දැනුණි. ඒ ඔවුන් නිසා නම් නොවේ. මට අප ගැනමය.
 

ගැමුණු පී. දසනායක