Thursday, December 28, 2017

පරවියන් ඇල්ල paraviyan ella

පරෙයියන් ඇල්ල - බඩල්කුඹුර



බොහෝ කලෙකින් ගමනක් යන්නට බැරි වුණේ වැඩ වැඩි නිසා ම නොවේ. වැස්ස නිසාමත් නොවේ. වැස්ස පිට වරද පටවන්නට මගේ දිව නොනැමේ. මොනරාගලට වැස්ස ආශිර්වාදයකි. මොනරාගලට කට්ටිය දුෂ්කරයි කියා කියන්නේත් කට්ට වියළි බව නිසයි. ඉතින් ඒ වියළි බිම නිවා සනසන වැස්සට කෙසේ නම් දොස් නගම් ද? මොනරාගලට ඇද වැටෙමින් තිබූ මහ වැසි දැන් නතර වී ඇත. එහෙත් වැසි කාලයට පමණක් ප‍්‍රාදුර්භූත වන ඇලි කිහිපයක් තාම සක‍්‍රීය වී ඇත. පෙරේදා වැල්ලවාය ටවුම කිට්ටුවද්දී ඈත පෙනෙන අලකොළ ඇල්ල ගැන කීවේ අප මිත‍්‍ර චමින්ද ය. 

‘‘යමුද කොහේ හරි’’. විනාඩි දහයක් ඇතුළත තීරණය කළ ගමනාන්තය පරෙයියන් ඇල්ල ය. ජානක මල්ලීත්, චින්තාත් ‘‘අපේ’’ නඩය විය. සැලසුම්ගත චාරිකා කීයක් නම් මේ වන විට අතරමග නතර වුණිද. කෙනෙකුට නිවාඩු නැත. තවෙකෙකු ගෙදර ගොසිනි. තවෙකෙක් තවෙකෙකු සමග යන්නට අකමැති ය. එහෙත් සිතූ විටෙක ගොසින් පැය තුන හතරකින් එන්නට මේ මොනරාගල කොයි තරම් නම් සෞන්දර්යය වනා ඇති ද. මේ මොනරාගලදැයි ඔබ තුන් හිතකවත් නොසිතනු ඇත. දැනගත්තත් අපි බලන්නට ඔබ නොඑන බව මම දනිමි. එහෙත් බැරි වෙලාවත් යන්නට හිතුණොත් කියා ඒ සෞන්දර්යයට නිවැරදි මග කියමි. 


බඩල්කුඹුර නගරයෙන් බුත්තල පාරේ කිලොමීටර හතරක් පමණ ගිය තැන පාරේ දකුණු පස පරෙයියන් ඇල්ලට මඟ කියන පුවරුව හිටගෙන සිටින්නේ ඔබ එනතුරු ය. එම ප‍්‍රදේශය පුන්සිසිගම නම් වන්නට ඇත. කිලෝමීටර 2 යනුවෙන් ඔබට දුර ප‍්‍රමාණය ද ලකුණු කර දී තිබෙන්නේ තව දුරටත් නොවරදින්නට ය. 




මුල සිට ම මඟ දෙපස සෞන්දර්යය වනා තිබේ. එහෙත් පාර නම් එතරම් සුපිරි නැත. තැන තැන කොන්ක‍්‍රීට් දමා තිබුණත් ඒ කොන්ක‍්‍රීට් කොටස කෙළවර වන්නේ තියුණු ගැට්ටකිනි. අප ගමන් කරන විට්ස් වර්ගයේ මෝටර් රථයට නම් එය ඔරොත්තු නොදෙන සේ ය. තැන් කිහිපයකදී ම අපට බැස යට වදිනවාදැයි බලන්නට සිදු විය. එබැවින් ඔබ පැමිණේ නම් සුදුසු උස වාහනයකින් පැමිණෙනවානම් යෙහෙකි.  මගේ ආදරණීය තුරඟා සිහිපත් වේ. ඔහියේ යකාගේ පඩිපෙළවල් පවා උඩ පනිමින් තරණය කළ ඌ අද පැත්තකට වී සිටියි. 


මේ වට අවට මඟ දෙපස පාළු ය. එහෙත් ගම්මිරිස් වගාව ප‍්‍රධාන බෝගය බවට පත් වෙමින් මඟ දෙපස ම දැකිය හැකි ය. ඉඳ හිට මනුස්ස පුළුටක් හමු වේ. තණ කමින් සිටින ගව රැළකි. මගදී අපට මඟ පෙන්වන්නෙක් සෙට් විය. යට වදීයැයි බියෙන් අප වාහනයෙන් බසිද්දී අප මිත‍්‍රයා ද නතර වී බලා සිටී. 

එහෙත් බෝ ගහ හන්දියේදී අපට මඟ වැරදිනි. අප උඩහ පාරේ ටික දුරක් ගමන් කොට තිබිණි. යා යුත්තේ හන්දියෙන් දකුණටය.



මග හමු වූ ගැමියන් කිහිප දෙනෙකු ම අපට ළෙන්ගතුව මඟ කියා දුන්නෝ ය. මනුස්සකම් තාමත් ඉතිරිව තිබෙන බව ඒ කතාවන්වල වූ සුහදත්වය ම දෙස් දෙයි. සෞන්දර්යයක පරිපාකයක් කරා ඇදෙන්නේ වුව ද මේ ජීවත් වීම නම් අතිශය දුෂ්කර එකක් ම ය. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර එකහමාරක් පමණ ගෙවුණු තැනින් අපි වාහනය නතර කළෙමු. එතැන කුඩා නිවහනේ අත්තම්මා කෙනෙකු එළියට පැමිණියා ය. ‘‘ඔතනින් වාහනේ නවත්තල පහළට යන්න’’. අපි ටිකක් ආත්තම්මා හා කතා කරමු. ඉස්සර ඇය මෙතැන කුඩා කඩයක් කළාලූ. ඉන් පසුව කොන්දෙ අමාරුවත් එක්ක ඒක නතර වුණාලූ. ඇය දිගු කතාන්තරයක් අපට කීවා ය. කීවාම නොවේ. අපි අසා දැන ගත්තෙමු. ‘‘පරෙයියන් ඇල්ල කියන්නේ පරෙවියෙකු වගේ නිසා නොවේ. උඩ ගලක පරෙවියෙකුගේ රූපයක් කොටල තියෙනවා. නිධානෙක. ඒත් කාටවත් ගන්න බෑ.’’

මෙය මැණික් ගගේ අත්තකින් බිහිවුණක් නොව මේ නම් මැණික් ගඟමයි කියා මා නිවැරදි කළේ ඇයයි. දුන්හිඳයාය නම් වූ මේ ගම්මානය පුරා විසිර ඇති දුෂ්කරතාවය ඇය විස්තර කළා ය. පරෙයියන් ඇල්ලට පහළින් දුන්හිඳ ඇල්ල නමින් තවත් ඇල්ලක් ද ඇති බව ඇය හෙළි කළා ය. 

සියලූ විස්තර දැන අපි පඩිපෙළ දිගේ පහළට බසිමු.  





පඩිපෙළ කෙළවර මහත් සෞන්දර්යයයි. ඉතා කුඩා දිය ඇල්ලකි. එය පෙණ බුබුළු නංවමින් ගලා බසී. 



නමුත් ඇල්ලට ගඟ දිගේ පහළට යා යුතු ය. ගඟට බැස රෙදි සෝදා ගල් පොත්ත මත වේලෙන්නට දමා බලා සිටින අමුතු පුද්ගලයා අත දිගු කොට කීවේ එයයි. 

ගං ඉවුර දිගේ සැදුණ කැලෑ පාර දිගේ අපි ඇවිද යමු. 








අපේ බලූ මිත‍්‍රයාට තවත් මිතුරෙක් සෙට් වී ඇත. 



ඔවුන් දෙදෙනා ම අපට මඟ පෙන්වමින්, විටෙක අපට ඉස්සර වෙමින් ගමන් කළෝ ය. විටෙක මඟ දුෂ්කර ය. අතු ඉති මතින් පැන යා යුතු ය. මුලදී කොතරම් ආසාවෙන් ගමනට මුල පිරුවත් චින්තාට නම් මේ ගමන තෙහෙට්ටුදායක වනු ඇත. මේ පින්තූර දැක්කොත් ඇගේ මිතුරියන් අපටත් දොස් කියනු ඇතැයි අප අපට ම කියා ගත්තේ ඒ නිසා වන්නට ඇත. ගල් පොත්තක් මතට පැමිණියත් එකවර ඒ දසුන නොපෙනේ. හඬ ඔස්සේ අප මඟ සොයා යා යුතු ය. සොයන්නාට ලැබෙන සම්පතේ වටිනාකම නම් මේ යැයි කියන්නට මට වචන නැත. එක් ඇල්ලක් නොවේ ඇලි දෙකක් පහළට කඩා හැළේ. 






එහෙත් අප දැක ඇති මහත් පරසිදු දුන්හිඳ, දියලූම තරම් උස නැත මේ මනමාලි. කොට මනමාලියකි. කොට වුවත් සුන්දරත්වයෙන් ඈ ඒ කිසිවකට නොපරදියි. දුන්හිඳ මෙන් මෙහිද දුම් විසි වේ. පාමුල තඩාගය අතිශය ගැඹුරු එකකි. දිය නෑමට නම් සුදුසු නැතැයි සිතමි. වටේට ම කැලෑව ය. කඩා හැලෙන දිය දහරාව ඈතින් ඈතට ඇදී යයි. දැවැන්ත ගල් ගෙඩි දිය පහරට මතු නොව පෙදෙසට ම හැඩ තලයන් එක් කරයි. ගලින් ගලට පය තබමින් දිය ඇල්ලේ හොඳම රූප රාමුව සොයා යා හැකි ය. 













දෙපා දියේ ඔබාගෙන අපි පාතරාසය ගනිමු. රොටිවල වුවත් අමුතු රහක් මේ වාගේ වෙලාවල්වලදී දැනේ. මෙය ලූමිනස් කොළ පැහැ තටු තිබෙන කූරන්ගේ වාස භූමියක් බව උන් ම අප වෙත පැමිණ කියා සිටිති. 

වැඩි වේලා රැඳිය නොහැකි ය. යසිත් අයියා අප එනතුරු බලා ඇති. අද හවස ඩියුටිය මගේ ය. ඉතින් විනාඩි කිහිපයකට අප දෑස්වල පිපාසය සංසිඳුවා මහත් සෞන්දර්යයකින් හදවත පුරවා ලූ සෙනේවන්තියගෙන් සමු ගනිමු යළි එන පොරොන්දුව පිට.

පඩිපෙළ මුදුනේදී ආත්තම්මා සමඟ මුණුබුරෙක් ද අප එනතුරු බලා සිටිති. අපි ඔවුන්ගෙන් සමු ගෙන ආපසු ගමන් ඇරඹීමු. 



ගමන් සගයා අප පසුපස තාම දිව ඒ. කන්න දුන්නාට කෘතගුණයක් ද එය. මගදී හමුවන සංචාරකයෙක් පසුපස වැටෙන මුන් යළිත් එද්දී නැවත ආපසු පැමිණෙන්නකු හා පසුපස යයි. ‘‘දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙච්චාවෙ කියල ඔහෙ දවස ගෙවනව මුන්’’ අපේ ඇතැමුන් ද පතන්නේ අපිත් එයාකාරයෙන් වන්නට නොවේ ද. එවිට ඒ අයට හරි ලෙහෙසිය. එහෙත් නගුට දෙපරන්ද අස්සේ ගහගෙන පැත්තකට වී සිටින්නට නොහැකි ය. අපට ද යුතුකම් වගකීම් කියා දෙයක් ඇති බැවිනි. සෞන්දර්යය හැඟීම් නම් වූ දිය දහර තුළින් අපුළ වූ සිද්ධියක් රබර් බෝලයක් සේ මතු වෙයි.

ගැමුණු පී. දසනායක 
2017-12 ගිය ගමනක්

Saturday, October 21, 2017

පීස්ස ඇල්ල PEESSA ELLA

කාංචනා කියද්දී බොහෝ දේ මතක් විය හැකිය. කාංචනා කියා දකුණු  ඉංදීය හොල්මන් විත‍්‍රපට මාලාවක්ම නිෂ්පාදනය විය. 



කාංචනා කාංචනා ආදර කාංචනා කියා ත්‍යාගා එන්. එඩ්වඩ් මැතිණියන් ගීතයක් ද ගයා ඇත. එහෙත් අති සුන්දර ගමනාන්තයකට හැරෙන තැනම ඇත්තේ ඛේදවාචකයක අතීත මතකයයි.  


මීට අවුරුදු තුන හතරකට පමණ පෙර මරා දැමුණු කාංචනා නම් පාසල් දැරිය නමින් මේ මාවත නම් වී ඇත. මා මිත‍්‍රයා පීස්ස ඇල්ලට යාමට තෝරා ගෙන ඇත්තේ මේ මාවතයි. තව ටිකක් දුර ගියා නම් මග පෙන්වුම් පුවරු සහිතව ඇල්ලට පිවිසුම් මගක් තිබෙනවාලූ. එහෙත් එහි පයින් යන්නට සිදු වන දුර වැඩිලූ.

කාංචනා මාවත ඇරඹෙන්නේ ලැයින් පෙළකිනි. එය අවසන් වත්ම මනුස්ස වාසයක් පෙනෙන්ටවත් නැත. මාර්ගය කොන්ක‍්‍රීට් ඇතිරූවකි. ඉතා පටුය. කුඩා මෝටර්රථයකට යම්තම් යා හැකි ය. ඉදිරියෙන් ආ බට්ටාට හැතැප්ම බාගයක් පමණ රිවර්ස් කරන්නට සිදු විය. භයානක වන්නේ මාර්ගය වම් පැත්ත කෙළින්ම යොමු වන්නේ පල්ලමට වීම ය. 



කිලෝමීටර හය හතක පාළු මග කෙළවර වමට හැරවූ රියෙන් බැස ගත් මා සගයා එම නිවසේ ගේට්ටුව ඇරගෙන ගොස් රථය ගාල් කිරීමට අවසර ගත්තේය. 


එතැන් සිට අප ඇතුළු වන්නේ කැලෑ මඟටය. 



වන වදුළු පීරමින් සගයා පසුපස මම ද ඉදිරියට යමි. 










අතරමඟ කොන්ක‍්‍රීට්වලින් සැදූ බන්ට් එකකි. 




ඒ මතින් ඇවිදිද්දී වම් පසින් දිය පහරකි. 



දකුණු පසින් පෙනෙන්නේ ගල් අතරින් පෙණ පිඩු නඟමින් හඩමින් ගලන එම දිය දහර ය.  තුංමං හංදියේ පොඩි සිරිසේන ලොකු සිරිසේන වන රූප රාමුම මට සිහිපත් වේ.

සිදී බිඳී ගල් පර අතරේ....
සිනා සිසී සුදු පෙණ පොකුරේ....
ගලා බසී ගඟ ගලා බසී....











කැලේ මැදින් යන මේ ගමන තරමක දුෂ්කර ය. මා මිතුරාට නම් මෙය හොඳට හුරු පුරුදු ය. කුඩා කාලයේ සිට ම ඔවුන් මේවායේ කරක් ගසා ඇත. එහෙත් ඔහුගේ දරුවන් තවම පීස්ස ඇල්ල දැක නැත. අප කලින් කී දිය පහර සිය ජලය ගෙන යන්නේ පීස්ස ගමටලූ. ඒ කොන්ක‍්‍රීට් ඇළ මාර්ගයක් දිගේ ය. ඇළ මගේ පටු කොන්ක‍්‍රීට් බැම්ම දිගේ කකුල් මාරු කරමින් ගමන් කරන්නට අපට සිදු වේ. ඇතැම් තැනෙක දකුණු පැත්තට පාතාලය ම ය. 





එහෙත් ඒ පටු බැම්ම මත මාරුවෙන් මාරුවට අඩි තබමින් මෙහි අලියෙකුත් ගොස් ඇති බව කීවේ ඔහු ය. ඉස්සර මෙහි අලි හිටියාලූ. 





ඇළ ඉවුර දිගේ කුරුලූ සද්ද, වතුර සද්ද අසමින්, චමත්කාරය විඳිමින් යද්දී දකුණට පඩි පෙළ හමු වේ. එතැනින් නොබැස කෙලින් ම ගියොත් පීස්ස ගමට යා හැකිලූ. මා මුලින් සදහන් කළ අනික් මාර්ගයේ පැමිණියොත් හමු වන්නේ මෙතැනදී ය. මෙතැන් සිට පොදු මඟයි. ඉස්සර නම් මේ ආකාරයට පඩි පෙළවල්, අත් වැලවල් තිබුණේ නැතිලූ. ගල් ගෙඩි උඩින් අතිශය දුෂ්කර ලෙස ඇල්ලට බැසිය යුතු වුණාලූ. පඩි පෙළ ලිස්සන සුළු ය. 







ඇතැම් තැනක හිස නවාගෙන යා යුතු ය. 



තැනින් තැන ගල් ගුහා හමු වේ. 


පඩි පෙළ පාමුළ සෞන්දර්යයේ පරිපාකයයි. ඇල්ල නැරඹීමට එහි පීටිකාවක් ද තනා ඇත. වැස්ස කාලෙට එතනවත් ඉන්නට බැරිලූ. ඒ තරමට වතුරලූ. එහෙත් අද වතුර නියම ගාණට ය. මුදුනේ සිට පහළට පනින දිය දහර එක එල්ලේ බිමට වැටේ. දුන්හිඳ ඇල්ලේ මෙන් ම මෙහි ද බිම වදිද්දී දුම් විහිදෙන්නා සේ ය. 














‘‘ටික කාලෙකට ඉස්සර ඔතනින් කෙල්ලෙක් පැනල මැරුණා’’ සෞන්දර්යය විනිවිද මතුවන අසුන්දර කතාන්දරය හැම ඇල්ලකටම පොදු වූවක් වැන්න. එසේ වන්නේ මෙවන් සුන්දර දසුන් දකිමින් අවසන් ගමන් යන්නට සිතන නිසාම නම් නොවේ ය. 

ගල් පඩි උඩින් තවත් බැස්සොත් ඇල්ල පාමුලට යන්නට හැකි ය. නාන්නට ද පුළුවන්ය. එහෙත් තවත් හෝරාවකින් පමණ අඳුරු වන්නට නියමිත මේ වෙලාව එයට සුසුසු නැත. 

‘‘ඇල්ලේ ඔය කැළෑව වැවිච්ච තැන ඇතුළේ ලොකු උමගක් තියෙනවා. ඉස්සර අපි නම් ගියා ටික දුරක් වෙනකම්’’

‘‘මේ ගලේ වළවල්වල මැණික් තිබිල තියෙනව ඒව හාරල අරන් තියෙනව’’

‘‘ඇල්ල පාමුලට එන්න පහළින් තව පාරක් තියෙනවා. ඒ වළස්ඇල්ලට ඇවිත්. එතනින් මෙහාට ඇවිත් කන්ද නැගල මෙතනට එන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් පාරෙන් ඇවිත් අපි කාර් එක දාපු ගෙදර ගාවට එන්නත් පුළුවන්’’

මං කී දෙනෙකුට කතා කළාද මේ සෞන්දර්ය විඳින්න එන්න. ඒත් උන්ට පින නැතුවා වෙන්ටැ. කොහොම උනත් මං වින්ද මේ සුන්දරත්වය මගේ ඇහැට විතරක් දා නොගෙන උන්ගේ හිත සුව පිණිස කැමරා මතකයේත් රුවා ගත්තෙමි. යළි හැරුණෙමි. සාමාන්‍යයෙන් අපි කඳු නැග බැස්සාට මෙදා බැස්ස කන්ද නැගිය යුතු ය. හොඳ ගණන් ය. හති හළමින් මග මග නතර වෙමින් යළි පැමිණි මග දිගේ එළියට පැමිණියෙමි.


මා කතාව ඔබට කියන්නට පටන් ගත්තේ මගිනි. කාංචනා පාරෙනි. එහෙත් ඔබට මග නොවැරදී එන්න නම් මං මගේ ගමන් මග මුල සිට ඔබට කිව යුතු ය. ගමනාරම්භය මොනරාගලිනි. හුළංදාව නක්කල හරහා පස්සර පාරෙන් පැමිණ මොනරාගල හංදියෙන් බිබිල පාරේ පැමිණිය යුතුය. එහි බිබිල පැත්තට එන විට මීදුම්පිටිය මිල්ලබැද්ද ආදී ගම් පසු කරමිනි මෙතැනට පැමිණියේ.

(තනියෙන් ගමන එන්නට පිටත් වී කිලෝ මීටර් හයක් හතක්ගි ය පසු මෙය තනිව යාමට සුදුසු වෙලාවක් හා ගමනක් නොවේයැයි පවසමින් යළි මා කැඳවා මඟ පෙන්වන්නට මිතුරකු එක් කර දුන් මා මිත‍්‍ර වෛද්‍ය යසන්තයින්ට ද, මා හට මග පෙන්වමින් ගමනට එක් වූ ගාමිණී සොයුරාට ද ඔහුගේ අනික් සිකුරටි මිතුරාට ද අනේක වූ තුති)


ප. ලි. මේ අහල පහල ම බේසම් ඇල්ල නමින් තවත් සෞන්දර්යයක් අපට අඬ ගසන බව දැනගත්තේ නවරත්න මහත්මයා සමග කතාවේදී ය. ඉස්සර සිංහලේ ගිය ජිනදාසට එවන් කටුක ඉරණමක් අත් කර දී අප සිතේ මහා කතරක් ඇන්ද බිබිල ම මෙවන් සෞන්දර්යයක් අපට පිරිනමද්දී නොගොහින් ඉන්නද. ජිනදාසත් ගමට නාවේ මේ රසඳුන් නිසා නොවේ යැයි කිව නොහැක්කේද.


ගැමුණු පී. දසනායක

2017-10 ගිය ගමනක්