Thursday, December 28, 2017

පරවියන් ඇල්ල paraviyan ella

පරෙයියන් ඇල්ල - බඩල්කුඹුර



බොහෝ කලෙකින් ගමනක් යන්නට බැරි වුණේ වැඩ වැඩි නිසා ම නොවේ. වැස්ස නිසාමත් නොවේ. වැස්ස පිට වරද පටවන්නට මගේ දිව නොනැමේ. මොනරාගලට වැස්ස ආශිර්වාදයකි. මොනරාගලට කට්ටිය දුෂ්කරයි කියා කියන්නේත් කට්ට වියළි බව නිසයි. ඉතින් ඒ වියළි බිම නිවා සනසන වැස්සට කෙසේ නම් දොස් නගම් ද? මොනරාගලට ඇද වැටෙමින් තිබූ මහ වැසි දැන් නතර වී ඇත. එහෙත් වැසි කාලයට පමණක් ප‍්‍රාදුර්භූත වන ඇලි කිහිපයක් තාම සක‍්‍රීය වී ඇත. පෙරේදා වැල්ලවාය ටවුම කිට්ටුවද්දී ඈත පෙනෙන අලකොළ ඇල්ල ගැන කීවේ අප මිත‍්‍ර චමින්ද ය. 

‘‘යමුද කොහේ හරි’’. විනාඩි දහයක් ඇතුළත තීරණය කළ ගමනාන්තය පරෙයියන් ඇල්ල ය. ජානක මල්ලීත්, චින්තාත් ‘‘අපේ’’ නඩය විය. සැලසුම්ගත චාරිකා කීයක් නම් මේ වන විට අතරමග නතර වුණිද. කෙනෙකුට නිවාඩු නැත. තවෙකෙකු ගෙදර ගොසිනි. තවෙකෙක් තවෙකෙකු සමග යන්නට අකමැති ය. එහෙත් සිතූ විටෙක ගොසින් පැය තුන හතරකින් එන්නට මේ මොනරාගල කොයි තරම් නම් සෞන්දර්යය වනා ඇති ද. මේ මොනරාගලදැයි ඔබ තුන් හිතකවත් නොසිතනු ඇත. දැනගත්තත් අපි බලන්නට ඔබ නොඑන බව මම දනිමි. එහෙත් බැරි වෙලාවත් යන්නට හිතුණොත් කියා ඒ සෞන්දර්යයට නිවැරදි මග කියමි. 


බඩල්කුඹුර නගරයෙන් බුත්තල පාරේ කිලොමීටර හතරක් පමණ ගිය තැන පාරේ දකුණු පස පරෙයියන් ඇල්ලට මඟ කියන පුවරුව හිටගෙන සිටින්නේ ඔබ එනතුරු ය. එම ප‍්‍රදේශය පුන්සිසිගම නම් වන්නට ඇත. කිලෝමීටර 2 යනුවෙන් ඔබට දුර ප‍්‍රමාණය ද ලකුණු කර දී තිබෙන්නේ තව දුරටත් නොවරදින්නට ය. 




මුල සිට ම මඟ දෙපස සෞන්දර්යය වනා තිබේ. එහෙත් පාර නම් එතරම් සුපිරි නැත. තැන තැන කොන්ක‍්‍රීට් දමා තිබුණත් ඒ කොන්ක‍්‍රීට් කොටස කෙළවර වන්නේ තියුණු ගැට්ටකිනි. අප ගමන් කරන විට්ස් වර්ගයේ මෝටර් රථයට නම් එය ඔරොත්තු නොදෙන සේ ය. තැන් කිහිපයකදී ම අපට බැස යට වදිනවාදැයි බලන්නට සිදු විය. එබැවින් ඔබ පැමිණේ නම් සුදුසු උස වාහනයකින් පැමිණෙනවානම් යෙහෙකි.  මගේ ආදරණීය තුරඟා සිහිපත් වේ. ඔහියේ යකාගේ පඩිපෙළවල් පවා උඩ පනිමින් තරණය කළ ඌ අද පැත්තකට වී සිටියි. 


මේ වට අවට මඟ දෙපස පාළු ය. එහෙත් ගම්මිරිස් වගාව ප‍්‍රධාන බෝගය බවට පත් වෙමින් මඟ දෙපස ම දැකිය හැකි ය. ඉඳ හිට මනුස්ස පුළුටක් හමු වේ. තණ කමින් සිටින ගව රැළකි. මගදී අපට මඟ පෙන්වන්නෙක් සෙට් විය. යට වදීයැයි බියෙන් අප වාහනයෙන් බසිද්දී අප මිත‍්‍රයා ද නතර වී බලා සිටී. 

එහෙත් බෝ ගහ හන්දියේදී අපට මඟ වැරදිනි. අප උඩහ පාරේ ටික දුරක් ගමන් කොට තිබිණි. යා යුත්තේ හන්දියෙන් දකුණටය.



මග හමු වූ ගැමියන් කිහිප දෙනෙකු ම අපට ළෙන්ගතුව මඟ කියා දුන්නෝ ය. මනුස්සකම් තාමත් ඉතිරිව තිබෙන බව ඒ කතාවන්වල වූ සුහදත්වය ම දෙස් දෙයි. සෞන්දර්යයක පරිපාකයක් කරා ඇදෙන්නේ වුව ද මේ ජීවත් වීම නම් අතිශය දුෂ්කර එකක් ම ය. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර එකහමාරක් පමණ ගෙවුණු තැනින් අපි වාහනය නතර කළෙමු. එතැන කුඩා නිවහනේ අත්තම්මා කෙනෙකු එළියට පැමිණියා ය. ‘‘ඔතනින් වාහනේ නවත්තල පහළට යන්න’’. අපි ටිකක් ආත්තම්මා හා කතා කරමු. ඉස්සර ඇය මෙතැන කුඩා කඩයක් කළාලූ. ඉන් පසුව කොන්දෙ අමාරුවත් එක්ක ඒක නතර වුණාලූ. ඇය දිගු කතාන්තරයක් අපට කීවා ය. කීවාම නොවේ. අපි අසා දැන ගත්තෙමු. ‘‘පරෙයියන් ඇල්ල කියන්නේ පරෙවියෙකු වගේ නිසා නොවේ. උඩ ගලක පරෙවියෙකුගේ රූපයක් කොටල තියෙනවා. නිධානෙක. ඒත් කාටවත් ගන්න බෑ.’’

මෙය මැණික් ගගේ අත්තකින් බිහිවුණක් නොව මේ නම් මැණික් ගඟමයි කියා මා නිවැරදි කළේ ඇයයි. දුන්හිඳයාය නම් වූ මේ ගම්මානය පුරා විසිර ඇති දුෂ්කරතාවය ඇය විස්තර කළා ය. පරෙයියන් ඇල්ලට පහළින් දුන්හිඳ ඇල්ල නමින් තවත් ඇල්ලක් ද ඇති බව ඇය හෙළි කළා ය. 

සියලූ විස්තර දැන අපි පඩිපෙළ දිගේ පහළට බසිමු.  





පඩිපෙළ කෙළවර මහත් සෞන්දර්යයයි. ඉතා කුඩා දිය ඇල්ලකි. එය පෙණ බුබුළු නංවමින් ගලා බසී. 



නමුත් ඇල්ලට ගඟ දිගේ පහළට යා යුතු ය. ගඟට බැස රෙදි සෝදා ගල් පොත්ත මත වේලෙන්නට දමා බලා සිටින අමුතු පුද්ගලයා අත දිගු කොට කීවේ එයයි. 

ගං ඉවුර දිගේ සැදුණ කැලෑ පාර දිගේ අපි ඇවිද යමු. 








අපේ බලූ මිත‍්‍රයාට තවත් මිතුරෙක් සෙට් වී ඇත. 



ඔවුන් දෙදෙනා ම අපට මඟ පෙන්වමින්, විටෙක අපට ඉස්සර වෙමින් ගමන් කළෝ ය. විටෙක මඟ දුෂ්කර ය. අතු ඉති මතින් පැන යා යුතු ය. මුලදී කොතරම් ආසාවෙන් ගමනට මුල පිරුවත් චින්තාට නම් මේ ගමන තෙහෙට්ටුදායක වනු ඇත. මේ පින්තූර දැක්කොත් ඇගේ මිතුරියන් අපටත් දොස් කියනු ඇතැයි අප අපට ම කියා ගත්තේ ඒ නිසා වන්නට ඇත. ගල් පොත්තක් මතට පැමිණියත් එකවර ඒ දසුන නොපෙනේ. හඬ ඔස්සේ අප මඟ සොයා යා යුතු ය. සොයන්නාට ලැබෙන සම්පතේ වටිනාකම නම් මේ යැයි කියන්නට මට වචන නැත. එක් ඇල්ලක් නොවේ ඇලි දෙකක් පහළට කඩා හැළේ. 






එහෙත් අප දැක ඇති මහත් පරසිදු දුන්හිඳ, දියලූම තරම් උස නැත මේ මනමාලි. කොට මනමාලියකි. කොට වුවත් සුන්දරත්වයෙන් ඈ ඒ කිසිවකට නොපරදියි. දුන්හිඳ මෙන් මෙහිද දුම් විසි වේ. පාමුල තඩාගය අතිශය ගැඹුරු එකකි. දිය නෑමට නම් සුදුසු නැතැයි සිතමි. වටේට ම කැලෑව ය. කඩා හැලෙන දිය දහරාව ඈතින් ඈතට ඇදී යයි. දැවැන්ත ගල් ගෙඩි දිය පහරට මතු නොව පෙදෙසට ම හැඩ තලයන් එක් කරයි. ගලින් ගලට පය තබමින් දිය ඇල්ලේ හොඳම රූප රාමුව සොයා යා හැකි ය. 













දෙපා දියේ ඔබාගෙන අපි පාතරාසය ගනිමු. රොටිවල වුවත් අමුතු රහක් මේ වාගේ වෙලාවල්වලදී දැනේ. මෙය ලූමිනස් කොළ පැහැ තටු තිබෙන කූරන්ගේ වාස භූමියක් බව උන් ම අප වෙත පැමිණ කියා සිටිති. 

වැඩි වේලා රැඳිය නොහැකි ය. යසිත් අයියා අප එනතුරු බලා ඇති. අද හවස ඩියුටිය මගේ ය. ඉතින් විනාඩි කිහිපයකට අප දෑස්වල පිපාසය සංසිඳුවා මහත් සෞන්දර්යයකින් හදවත පුරවා ලූ සෙනේවන්තියගෙන් සමු ගනිමු යළි එන පොරොන්දුව පිට.

පඩිපෙළ මුදුනේදී ආත්තම්මා සමඟ මුණුබුරෙක් ද අප එනතුරු බලා සිටිති. අපි ඔවුන්ගෙන් සමු ගෙන ආපසු ගමන් ඇරඹීමු. 



ගමන් සගයා අප පසුපස තාම දිව ඒ. කන්න දුන්නාට කෘතගුණයක් ද එය. මගදී හමුවන සංචාරකයෙක් පසුපස වැටෙන මුන් යළිත් එද්දී නැවත ආපසු පැමිණෙන්නකු හා පසුපස යයි. ‘‘දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙච්චාවෙ කියල ඔහෙ දවස ගෙවනව මුන්’’ අපේ ඇතැමුන් ද පතන්නේ අපිත් එයාකාරයෙන් වන්නට නොවේ ද. එවිට ඒ අයට හරි ලෙහෙසිය. එහෙත් නගුට දෙපරන්ද අස්සේ ගහගෙන පැත්තකට වී සිටින්නට නොහැකි ය. අපට ද යුතුකම් වගකීම් කියා දෙයක් ඇති බැවිනි. සෞන්දර්යය හැඟීම් නම් වූ දිය දහර තුළින් අපුළ වූ සිද්ධියක් රබර් බෝලයක් සේ මතු වෙයි.

ගැමුණු පී. දසනායක 
2017-12 ගිය ගමනක්