Saturday, March 21, 2020

වැස්ස පිළිබඳ මගේ ම පෙර වදන




වැස්ස පිළිබඳ මගේ ම පෙර වදන



එදත් වැස්ස වහින්නට විය. අම්මා සමාජ අධ්‍යයනයේ දී ළමයින්ට ඉගැන්වූ අයුරින් මැයි සිට සැප්තැම්බර් දක්වා මහ වැසි වැටුණත් ඒවා නිරිත දිගට නෑකමක් දක්වන බවක් නම් පොඩි අපට නොතේරිණි. අවුරුද්ද පුරා ම අපට වැස්සෙන් හිඟයක් නොවිණි. එසේ වන්නේ මුහුද අපේ ළඟම නෑයකු වන නිසා යැයි මට සිතුණි. අපේ ලොකු අම්මලාගේ ගෙදරට මුහුද පෙනෙන දුරය. ඒ වැස්ස හරි හුරතල්ය. අපටම කියා පුංචි කුඩ තිබුණත්, අම්මා විසින් මසන ලද වැහි කබා තිබුණත් අප ආසා කළේ තෙමෙන්නටය. ලෙඩ වෙනවාට අපේ බයක් නොවිණි. අම්මා ඉන්නවා නොවැ.. ඒ වැස්ස අපට පීඩා කළේ ද නැත. මීපාවල ඉස්කෝලේ හෝඩියේ පංතියේ සිට වැස්ස වැටෙන හැටි දැල් අතරින් අපි බලා සිටියෙමු.  හෝඩියේ අපේ හෙට්ටි මිස් අද ජීවතුන් අතර නැත. ඇය ගෙනැත් දුන් පාටවලින් මම චිත‍්‍ර පොතේ වැස්ස ඇන්දෙමි. 

ගමේ සිට නගරයට එද්දී වැස්ස ද අප පසුපසම පැමිණියේ ය. ශිෂ්‍යත්වය සමත් වූවාට තෑගි ලෙස අම්මලා විසින් තෑගි කරන ලද රතු පාට ඉස්පෝර්ට් බයිසිකලයෙන් විටෙක උසස් පෙළ ටියුෂන් පංතියට ද, විටෙක පාසලට ද යන කොලූ ගැටයා ධාරාණිපාත වැස්සේ වුවද දකුණතින් බයිසිකලයේ හැඬලය අල්ලාගෙන වම් අතින් කුඩය ඔසවා ගෙන දිගටම පැද්දේ ය. හෝලූවාගොඩ ගැලූ එක් දවසක බයිසිකලයත් සමඟින් ගං වතුරට ගසාගෙන යන්නට හදද්දී සුගතෙ මාමා අප එගොඩ කළේය.

කොළඹ වැස්ස අපට ආගන්තුක විය. එය අපට හිරිහැර කළේය. කුණු දූවිලි මුසු වී ඇති වැහි බිංදු රෝග කාරකයින් සේ සලකා අපි වැස්ස පාත් වද්දී කුඩ ඉහළා ගත්තෙමු. එහෙත් ඒ වැස්සට අප ලෙඩ වී ඔත්පල විය. ජීවිතය පිට පිට ම පරාජය වන්නට විය. ජයග‍්‍රහණයක් පෙනෙන තෙක් මානයකවත් නොවිණි. ගවු ගාණක් ඈත දුරක සිටි අපේ අම්මලා මේ වැස්ස ගැන දැන සිටියේ නැත. මා ද එය ඔවුන්ගෙන් වහන් කළේ සිතැවුලක් නොවන්නටය. එහෙත් සෙහාන්ලා, කරන්ලා, චමත්ලා, සමන්තලා අප අත නොහැරියෝය. දෙපා සිඳුණ අතීතය ගැන අද අපි දෙපයින් සිටගෙන කතා කළත් එදා එය ඒ තරම් මිහිරි නැති බව හේරත් ද හොඳින් දනී. පතළ නැණැති ජනක පෙරේරාණන් වැනි විද්වතකු අප අසල ම හිඳීම අප ලද වාසනාවක්මය. දිමුතුගේ සමු ගැනීම කිසිදු සැඩ පහරකට ගසා නොයන සීතල ම මතකයක් ය. සීතලට ගුලි වෙමින් කවිය ඇතුළු හදටම වැදී වැතිරිණි. එහෙත් ඒ වැස්සේ තෙමෙමින් පාළු පිට්ටනිය මැද, දිරාගිය කණුව මතට වී පොද වැස්ස ගැන ගීය ගැයූවෙමි.

පාළු පිට්ටනිය මැද
දිරා ගිය කණුව මත
හරිහමන් නමක් නැති කුරුල්ලා
වැරදුණේ කොතැනදැයි හොයනවා

ගං ඉවුර අස 
මල් පිරුණ ගස
ඇස් පියාගෙන හිතනවා
මහලු කූඩුව සිහි ව
පියාඹා යනු බැරි ව
හෙමින් තටු පිරිමදිනවා

හිටිවන ම කළු ගැසුණ
නිහඬ නිසසල අහසෙ
රිදී ඉරි ඇඳෙන හැටි දකිනවා
ගිටාරය වය වයා
පොද වැස්ස ගැන ගීය ගයනවා
වැරදුණේ කොතැනදැයි අහනවා

මුරුගසන් වරුසාව වී අහස
කඩාගෙන වැටෙනවා
වැරදුණේ මෙතැන නොවෙදැයි
ඌට නිකමට හිතෙනවා
ඒත් දිගට ම ගයනවා

‘‘මඟ වැටුණ කොස්කොළ ඔටුන්න ඔහු යළි අහුළා ගත්තේය. එය රත්තරන් ඔටුන්නකැයි බොහෝ දෙනෙක් කීහ. එහෙත් එය ගලවා මල්ලේ දමා ගෙන දියතලාවට පැමිණියේය ඔහු. ඔහු මෙහි ආවේ එන්නට  ඕනෑ නිසා ය. ඉමහත් අකැමැත්තෙනි. අවුරුදු ගණනාවක් ගෙදරින් ඈත්ව බෝඩින් ජීවිතයට පුරුදුව සිටියෙන් නොස්ටැල්ජියා තත්වයක් නොවුණත් එදා කියා ගත නොහැකි කිසියම් අපුලකින් ඔහු සිත පිරී තිබිණි. තමා කිසිදා නොදුටු, නොවිඳි අලුත්ම පරිසර පද්ධතියකට පිටත් වන නිසා වන්නට පුළුවන. ඔහු උන්නේ සීතලට ගැහෙමිනි. දත් මිටි කට කට ගාමිණි. එහෙත් කොළඹ කට්ට අවුවට දැවී, තැවී, තුවාල වූ සිතේ තැන්වලට සීතල ඔසු තවරා කැළැල් නොහිටින්නටම සුවපත් කරන්නට දියතලාව නම් වූ ඇයට හැකි විය. ඉන්පසු කොලුවා සීතලෙන් වේව්ළුවේ නැත. එය සෞම්‍ය කාලගුණය විය ඔහුට. තමා සතු සියලු සෞන්දර්යයම ඇය ඔහු නෙත් මානයේ තැබුවාය. ගස්වල මල් පිපී තිබුණි. ඒ මල් අතර එක් සුවිශේෂී මලක්ද විය. එහෙත් මහලු කෝකිලයාම ඉගිළ ගියේය. කැඩපතේ පෙනෙන නරකෙස් දැක දැක වැළපුණේය. මියෙන තුරුම ඌ ඒ දුක ගයනු ඇති.’’
https://gamunupdassanayake.blogspot.com/2014/10/blog-post_18.html

දියතලාවේ වැස්ස සීතල ම සීතලය. අපට සිරගත වන්නට සිදු විය. හිරා, ලකා, තරා, ප‍්‍රියා අපි සිව් දෙනා එදා එකම වාට්ටුවක සිරකරුවෝ වීමු. එළියේ වහින වැස්සේ සීතල දැනුණත් ඒ දෙස බලන්නටවත් නිදහසක් අපට නොවිණි. එහෙත් මල්ලේ ඇති ඔටුන්න ගැන සිතන විට යම්තාක් සිත උණුසුම් වෙයි. ඇතැමුන් තම ලොකුකම් පෙන්වන්නට අපට පයින් ගසා එළවද්දී ගුරුතුමා යළි අප කැඳවා මඟ පෙන්වීය. මලින්ද අයියා, චාරුණී, ලක්මාලි, ගයාත‍්‍රී සොයුරු ජ්‍යෙෂ්ඨයිනි, ඔබ අපට බොහෝ දේ කියා දුන්නෝය. බොහෝම ස්තූතියි. ප‍්‍රබෝධන, බුද්ධිකා, තරිඳු, චමින්ද, හිමාෂාලා ද ඒ ගමනේදී අපට තැනින් තැනදී හමු වූ සහෘදයෝ ය. පහේ, දෙකේ, තුනේ, හතේ ඇතුළු සියලු වාට්ටු කාර්ය මණ්ඩලය සිහිපත්කරමි.

මොනරාගලට වැස්ස නේත්‍රෝත්සවයකි. නොවැම්බරයේ නම් එක දිගට ම වසී. කාෂ්ටක යැයි බොහෝ දෙනා හැඳින්වුව ද මේ බිමේ බොහෝ තෙතමනයන් රැඳී තිබේ. රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ‘‘වස්සානේ’’ අවුරුද්ද පුරාම දකින්නට නොලැබුණත් ඒ සෞන්දර්යය තවමත් ඉතිරි ව ඇත. මේ මිනිසුන් තෙමෙන්නේ වැස්සට මතු නොවේ. අහසින් නොවැටෙන බොහෝ ව්‍යාධීන්ට ඔවුහු ගොදුරු වෙති. මෙහි වැස්ස බොහෝ විට ඔවුනට හිරිහැර නොකරයි. එහෙත් තාත්තලාගේ ඉල්ලීම මෙයාකාරය.

අදත් මරගල කන්ද මතින් එයි දිවාකර
වක්කරන් නගරයට සෙංගමාලේ පාට
කුරුලූ බිළිඳියක තටු සවි නැතිව බිම වැටුණ
තුරුලූ කර ගත් මවට සුබ ද මේ උදෑසන

ඈත හේනක ඇහෙන පැල් කවක තාලයට
නැලවෙන්න පුළුවන්ද බඩ ඉරිඟු පැළයකට
ගිනි අව්ව බීලාය පොළොවෙ තෙත ඔක්කෝම
හුලංදා ඔයත් දැන් අසරණය දුප්පත්ය

මොනරුන්ට වියා දෙන්නට ඉරුණ පිල් කළඹ
නැහැ පුංචි දුව කුරුම්බැට්ටි මැසිමත් එක්ක
දිය සිඳී වේදනා නහර වැල් සේ පෙනෙත
කතරගම දෙයියනේ අහස ඇයි නිශ්ශබ්ද

සිඳී ගිය ඔය හැඩ ව සිනා සී ගලන්නට
අහස පුරවන් ඉන්න වැස්ස ඩිංගක් දෙන්න
තැලසීමියා පුංචි දුවට යළි නැගිටින්න
ඔබට පුළුවන් නේද ලේ බිඳක් දන් දෙන්න

මොනරාගල සිට පොතුවිල් යද්දී ලේ බැංකුව හමු වේ. 

‘‘කිලෝමීටර දෙකක් ගෙවුණ තැන වම් පැත්තේ මට මගේ ගෙය හමු වෙයි. මැද ගේට්ටුව ඉදිරියේ නතර වී හිස ඔසවා බලමි. කිලෝමීටර දෙසියයකටත් ඈත පිහිටි මගේ ගමට අත පොවන්නටවත් බැරි මට ලේ බැංකුව ලෙස පුවරුවක් ගසා ගත් මෙයට ගෙදර යැයි කීමේ කවර වරදද? එදා ඔවුහු මා පිළිගත්තෝය. කතා බහ කළෝය. තේ හදා දුන්නෝය. කෑවාද බීවාද කියා ඇසුවෝය.’’ 

ඒ මතක එයාකාරය. අබේසිංහ මැඩම්, ප‍්‍රභාත් අයියා, යසිත් අයියා, ශ‍්‍රීමාලි නංගී ඇතුළු මොනරාගල ලේ බැංකුවේ සියලූ කාර්ය මණ්ඩලය සෙනෙහසින් සිහිපත් කරමි. 

-----

මතු ලියැවෙනුයේ මා අත් දුටු දේ ය. අත්විඳි දේ ය. මට කියා ගන්නට බැරි වූ දේ ය. කියා ගන්නට බැරි ව හිතේ කැකෑරෙමින් තිබූ දේ ය. කියා ගන්නට  ඕනෑ වූ දේ ය. කෙනෙක් එය බොරුවක් ලෙස වුව ද දකින්නට බැරි නැත. අතාත්විකයැයි කියන්නට ද පුළුවන. තව නොයෙක් දේ කියනු ඇත. ඒ සියල්ල අසා සිටීමට මා සූදානම්ය. 

මගේ ඒ අත්දැකීම් නිර්මාණයක් වූ පසුව විවිධ තරගවලදී ඒවාට වටිනාකම් ලැබිණි. ලංකා ලේඛක සංවිධානයට, විශ්වවිද්‍යාල ශිෂ්‍ය සාහිත්‍ය උළෙල සංවිධායකවරුන්ට, දකුණු පළාත් සාහිත්‍ය තරගාවලිය සංවිධායකවරුන්ට මා ස්තුතිය පුද කරන්නේ එම දිරිගැන්වීම් ආධුනික අපට මහත් පිටිවහලක් වූ නිසා ය. 

මගේ අත්දැකීම් කෙටි කතා පොතක් බවට පත් වන්නේ ගොඩගේ සමාගමේ කෙටි කතා ව්‍යාපෘතිය මගිනි. එහි සම්බන්ධීකාරක උපාලි ලීලාරත්න මහතාත්, ගොඩගේ මැතිතුමා ඇතුළු නන් අයුරින් උපකාර කළ එම කාර්ය මණ්ඩලයත් ස්තුති පූර්වක ව සිහිපත් කරමි.

ගැමුණු පී. දසනායක
අඟුරුමුල්ල, නරාවල, පෝද්දල
2015-11-08






Wednesday, March 11, 2020

එක්තරා පිස්සු කතාවක්.. (කෙටි කතා නිර්මාණයක්)

එක්තරා පිස්සු කතාවක්.. (කෙටි කතා නිර්මාණයක්)

          මට පිස්සු. හරියටම කියනවා නම් ඩිප්‍රෙෂන්. ඒක හැදුණ දවසත් හැදුණ හැටිත් මට මතකයි. හැබැයි මං ඒක දැන්ම කියන්නෑ. පස්සෙ කියන්නම්. 
මොකක්... ඔය ඔය ඔය මට ඇහෙනවා උඹල මොනවද කියනවා. ඔව්... මට ඇහෙනවා.. පිස්සු නැතුව හිටහල්ල. මං තව ටිහකින් කියන්නම් ඒක.

            ඇස් වාට්ටුවට ගිහින් අවිදුර දෘස්ටිකත්වෙ හදා ගත්තම මං ආව ඩිරෙක්ටර් හම්බ වෙන්න. ඩිරෙක්ටර් කිව්වට පුටුව උඩ නවල තිබ්බෙ ගෑනියෙක්. ගෑනියෙක් කිව්වට ඩිරෙක්ටර් කෙනෙක්. හප්පා ඒකිට තිබ්බ වැඩ. අස්සන් කරනවා. කරනවා. මං දුන්න මගේ ලියුම. ඒකෙ තිබ්බෙ මට පිස්සු කියල. මට පිස්සු නිසා ස්ටෙ‍්‍රස් නැති යුනිට් එකක් දෙන්න කියල තමයි ඉල්ලූවෙ. මේකි වචන දහයෙ ලියුම කියෝනවා කියෝනවා කෙලවරක් නෑ. ඇස් උඩ යනවා. පහළ යනවා. මං හිතන්නෙ මේකිට පිස්සු. පිස්සෙකුට තවත් පිස්සෙක් මුණ ගැසීම ගැන මට ඇතිවුණේ සතුටක්. මේන් මේකි මගෙ දිහා පිිස්සුවෙක් වගේ බලන් ඉන්නවා. මගේ ඇස් පිච්චෙන්නත් වගේ. මගේ ඉහ ඉඳන් පාදාන්තෙටත් පාදාන්තෙ ඉදන් ඉහ මුදුනටත් ඇහැ කරකවන්න ගත්ත ඒ පාර. දැන්නම් ෂුවර් මේකිට පිස්සු . මට හරිම සතුටුයි. 
‘‘යුනිට් මාරු කරන්න.. උඹට පිස්සුද බං.. ’’
‘‘ඔව් මැඩම් මට පිස්සු.. හරියටම කියනවනම් ඩිප්‍රෙෂන්.’’
‘‘මේ මාත් මේ ඩිරෙක්ටර් පෝස්ට් එකට ආවෙ කැමැත්තෙන් නෙමේ. ඒත් අපි ඒකට හැඩ ගැහෙන්න  ඕන.. නැද්ද සුමනෙ..’’
එතෙන්ට කඩා වැදුණ පියන්ගෙන් මේන් ඩිරෙක්ටර් කෙනෙක් ඔපීනියන් ගන්නව. පෞද්ගලිකත්ව, සාරධර්ම කැලේ. මං පාෂානිභූත වුණා. යකෝ මෙච්චර ලව් එකක් මූ මේකිගෙ හොර මිනිහවද්ද කියල මට හිතුණ මෙහෙම ඔපීනියන් ගන්නෙ. 
‘‘සුමනේ මූට පිස්සු බන්. බලහන්කො ගල් වෙලා.. තව ටිකක් ඒසී වැඩි කරමු නේ..’’ 
පියනුත් හූ මිටි තියනව. මේකි පිස්සු හටනක්ම තමයි. නිලධාරියෙක් ගැන ගන්න  ඕන රාජකාරි තීරණ නිලධාරිය ඉස්සරහම පියන්ගෙන් අහනව.
මං ගල් ගැහිල එහෙමම හිටිය. ඒකි අරුත් එක්ක එකතු වෙලා මට ගල් ගහන්න ගත්ත. අම්මට හුඩු... එක පතුරක් වැදිල ශීර්ෂපෝෂී ධමනිය කැපුණත් එක්ක මං ආපහු පණ ගැහුව. පපුව ලබ් ඩබ් ගාල පටන් ගෙන සික්ස් එයිට් බීට් එකට මාරු වුණා.

             එහෙමම ටික ටික හදවත ඇවිදන් ආවා කැලැන්ඩරේ මාස උඩට. මාස හයක් ගෙවුණ තැන මං එතන හිටියෙ නිවාඩුවක් ඉල්ලන්න. ඉස්සර නම් නිවාඩු දැම්මෙ පොතක ලියල ලීව් චිට් එක පොත ඇතුලෙ දාලා. වැඬේ ඉක්මන් ටක් ගාලා ආවා. ඒත් මං එහෙම කරන්න හදද්දිම පියන් දුවන් ඇවිත් කිව්ව මැඩම් හම්බ වෙන්න. දැන් සිස්ටම් එක එහෙමලූ. මං ගියා කාමරේට. දේවතාවිය වැඩ හිටිය. මහා ෆයිල් එකක් කියෝනව. ඒක කියවල ඉවර වෙනකන් පැය බාගයක් විතර රස්තියාදු වෙවී මං එකත්පස්ව හිටයා.  ඕන් ඉන් පස්සෙ තව දෙතුන් දෙනෙක්ගෙ ප‍්‍රශ්න විසඳුව තලතා දේවි වගේ. 
‘‘මොකද..’’ 
ඒකි මාව අඳුර ගත්ත. 
‘‘මේ පිස්සු යකා ආපහු ඇවිත්’’ එයා කියා නොකයා කිව්ව. 
‘‘මැඩම් නිවාඩුවක්’’ 
මං ලීව් චිට් එක දික් කළා. 
‘‘කෝ පොත..’’ 
‘‘පොත නෑ..’’ 
‘‘පිස්සුද බං පොත අරන් වරෙන්..’’ 
එයා එහෙම කිව්වම මං එළියට ගිහින් ඒක කිව්වා පියන්ට.. ඌ එතන පිස්සු කෙළිනව.. ඔන්න ඔය තියෙන්නෙ කියල කිව්වෙත් නෑ. පොතට ඇඟිල්ල දික් කළා. මොනා කරන්ද පියන්ගෙ වැඩේ මමම කොරගෙන පොත උස්සන් ගියා මහාරානි ළඟට. පියන්ගෙ ලෙවල් එකට වැටිච්ච නිලධාරියා ගැන ඒකිට තිබ්බෙ හරි සතුටක්. කම්බුල් පින්පාටින් දිලිහෙනව. 
‘‘වෙනුවට වැඩ කරන කෙනෙක් මේකෙ අත්සන් කරලද..’’ 
‘‘ඔව් එරන්දතිය ඉන්නව කොළේ අනික් පැත්තෙ මං වෙනුවෙන්.’’ 
‘‘දිනේ දාලද..’’ 
‘‘ඔක්කොම පුරෝලද..’’ 
මට පිස්සු වගේ දැන්. ඒක අත්සන් කරල අනුමත කරනව වෙනුවට මේන් මෙයා වැරදි හොයනව ඇස් ඇවිද්ද ඇවිද්දව කොලේ පුරා.. 
‘‘හරී ...... අහු වුණා...’’
ඇයගේ සතුට ඉව වහා ගොස්ය.
‘‘උඹට නිවාඩු දෙන්න බෑ පිස්සෝ.. හොර ගෙඩියා.. උම්මා’’
ඇය මා පිස්සුවෙන් වගේ වැලඳගෙන කම්මුලට තොත්තුවක් දුන්නාය. 
‘‘කෝ ඔයාලගෙ අංශ බාර මැඩම් අත්සන් කරල නෑනෙ මෙතන. මැඩම්ට දැන්නුවද..’’ 
‘‘බැරි වුණා..’’ 
‘‘ඒකනේ.. දැන්ම ගන්න මැඩම්ට කෝල් එකක්..’’ 
‘‘පිස්සුද මැඩම්.. ඒක කරන්න බෑ. අපේ මැඩම් හිතයි මට පිස්සු කියල.. මේ දෙගොඩහරියෙ කෝල් ගද්දි  ඕක අහන්න.’’ 
‘‘එහෙනම් ඔය ලීව් චිට් එක රෝල් කරල ගහගන්න....’’ 
මම එය රෝල් කරා විතරයි. ගහගත්තෙ නෑ.. මට පිස්සු නෑ එහෙම ගහගන්න. නෑ.. නෑ... මට පිස්සු. හරියටම කියනවනම් ඩිප්‍රෙෂන්. 
මුන්ගෙ මේ පිස්සුව කොටහකට විතරයි. කොටසක් හිටිය පොතේ නිවාඩු ඉල්ලල... මෙයා තාම සයින් දාලා නැති. 
               හරි... මං හිතා ගත්තා ආයි කවදාවත් නීතියට අනුව නිවාඩු දාන්නෑ කියල. මාත් හොර විදියට නිකම්ම යනව. නිකන් මොකටද පැය ගණන් රස්තියාදු වෙවී, එක එකාගෙ අපහාස විඳ විඳ නිවාඩු දාන්නෙ. මුන්ගෙ අතින් පයින් දෙන නිවාඩුවක් වගේනෙ. මේ අවුරුද්දට එකම නිවාඩුවක්වත් ගත්තෙ නැති එකෙක් මීට පස්සෙ නිවාඩු නොගෙන ගැනීමට සම්පූර්ණ හේතුව මේ පත් වෙච්ච රස්තියාදුව. නීත්‍යනුකූල මිනිස්සුන්ට හොරකම් කරන්න පොලඹවන්නෙ මෙවන් කාලකණ්නිකම්ම තමයි. නොදෝකින් පිස්සු හටන්. අනික සිස්ටම් එකක් වෙනස් කරද්දි අත්තනෝමතික විදයට උන්ට ආතල් ගන්න විතරක් වෙනස් කරන්න බෑ. ඊට කලින් ඒ සිස්ටම් එක කි‍්‍රයාත්මක වෙන්න සම්පත්, ක‍්‍රමවේද තියෙනවද බලන්න  ඕන. ඒව පූරණය කරල ඉන්න  ඕන. දැන් මෙතන රස්තියාදු වෙන්න වුණේ එහෙම නිසි ක‍්‍රමවේදයක් සිස්ටම් එකේ නැති හින්දා. 

                  මං ලීව් චිට් එක දිග ඇරල ඒකේ ඇන්ද දොස්තර නලාවක්. පස්සෙ කොලේ චුයින්ගම් එකක් වගේ ඇදල නලාව ලොකු කර ගත්ත. ඒක කතුරෙන් කපල පස්සෙ පණ දුන්න. පස්සෙ මං ඒක කරේ දා ගත්ත.
‘‘මේ... මැඩම් ඔයාට එක එක්කෙනාගෙ කටහඬවල් ඇහෙනවද..’’ 
මං හිතුවෙ ඒකිට පියන්ගෙ කට හඬවත් ඇහෙනව කියයි කියල.
‘‘මැඩම්ට කවුරු හරි මරන්න හිතෙනවද.’’ 
‘‘නලාවක් මොකටද සයිකැස්ටි‍්‍රස් කෙනෙකුට’’ 
මං හිතුව වගේම මගේ පර්සනල් පයිල් එක අරන් ඒකි මට ගහන්න පැන්න. මං අහකට පැන්න. ඒක පියන්ගෙ වැදිල ඇවිත් ආපහු ඒකිටම වැදිල දෙපා සිඳුණ. පිස්සුවෙන් වගේ කෑ ගහන්න ගත්තම මං කිව්ව කට වහ ගනින් කියල. පියන් ගෙනැත් තිබ්බ රෝද පුටුවක්. මං නලාව කරේ දාගෙනම රෝද පුටුව තල්ලූ කලා ඒකිව දාගෙන. වටේ මිනිස්සු බලාගෙන ඉන්නව දොස්තර කෙනෙක් ලෙඩෙක්ව රෝද පුටුවෙ දාගෙන ඇටෙන්ඩන් වැඩේ කරනව. කොහොමත් දැන් රෝද පුටු පැදගෙන යන්නෙ ලෙඩ්ඩුමයි. කනිෂ්ඨ සේවකයොයි ඇටෙන්ඩනලයි කොරිඩෝව දෙපැත්තෙ ඔල්වරසන් දෙනව. ෆාස්ට..ර් කියල. ටිකක් දුර ගිහින් ඒකි මගේ නලාව උදුර ගත්ත. පිස්සු නැතුව වාඩි වෙයන් කියල මාව දාගෙන පැද්ද පැදිල්ලක් නැවතුණේ පිස්සන් කොටුවෙ. කෙළින්ම වාට්ටුවට ගිහින් විල්බැරෝවෙන් පස් හලනව වගේ මාව හැලූව. ඒ වෙද්දි මං පස් වෙලා. මේකි වාට්ටුවෙ දොස්තරට කිව්ව මට පිස්සු කියල. මට නම් ඒක ගාණක් නෑ. මොකෝ මට පිස්සුනෙ. පිස්සු කියන්නෙ ඩිප්‍රෙෂන්.

              ඕන් ආයිමත් මට ඇහෙනව කට හඬවල්. කවුද මාව මරන්න හදනව කතාව කිව්වෙ නෑ කියල.. එහෙනම් ඔන්න අහ ගනිල්ලකො. 
මට ට‍්‍රාන්සර් ආවෙ ඇස් වාට්ටුවට. ඇස් වාට්ටුවෙ ඉඳන් බොරැල්ලට රුපියල් පහයි ඒ දවස්වල. කිලෝමීටර් තිබුණ එකසිය විසි ගාණක්. හැබැයි හයි වේ එක හැදුනම ඒක ටිකක් වෙනස් වුණා. එතන හිටිය පිස්සෙක් නිසා මට ඇස් වාට්ටුව එපා වුණා. මාරු වෙන්න ට‍්‍රයි කලා. හරි ගියේම නෑ. බොසාට කියන්න උත්තරත් නෑ. පස්සෙ තමයි පිස්සන් කොටුවෙ දොස්තර හම්බුණේ.. ඊට කළින් මං ඔක්ස්ෆර්ඞ් සයිකැට්රි පොතක් කියවල ගියේ. එයා හිතන්න ඇති පොතේ තියෙන රෝග ලක්ෂණ ඔක්කොම තියෙන ටිපිකල් රෝගියෙක් කියල. එයාට මාර සතුටුයි. මටත් සතුටුයි. ඒක තමයි මං ඩිරෙක්ටර්ට ඉදිරිපත් කළේ.

2020-03-11


Saturday, March 7, 2020

ගාල්ල සිට මාදම්පේ...(සූරියකන්ද, වංගු දහය රක්වාන හරහා)

ගාල්ල සිට මාදම්පේ...(සූරියකන්ද, වංගු දහය   රක්වාන හරහා)

         ජීවිතයම එක තැන නතර වී ඇති සේය. දියතලාව, මොනරාගල සිටිද්දී මෙන් ඇවිද ගිය දඩබ්බර, දිගු, ඒකචාරී ගමන් සම්පූර්ණයෙන් ඇණහිටියා සේය. ගමට පැමිණීමට මගේ එතරම් කැමැත්තක් නොතිබුණත් එය මේ තරම් අපුල දනවන එකක් වේයැයි කීයටවත් නොසිතුවෙමි. එහෙත් එය එසේ වී ඇත.

          මාස ගණනාවකින් මා ගමනක් ගොසින් නැත. ඉඳහිට හේරත්ලාගේ ඇරයුමින් ඔවුන් සමග ගිය චාරිකා තුළින් යම් සැනසිල්ලක් ලබමි. මේ ව්‍යසනයට හේතුව මේ පළාතේ බලන්නට තැන් නැති බැවින්යැයි කියා මුලදී සිතුණත් දෙනියාය වැනි පෙදෙස් සෞන්දර්යයේ තෝතැනි බව මම සොයා පාදා ගතිමි. එහෙත් වෙනදා මෙන් සිතුන විට සිතුන තැනක ගොස් සිතුන වෙලාවක එන නිදහස දැන් නැතිව ගොසිනි. සතිය පුරාම විසිර පැතිරුණ රාජකාරියත් හවස හත වෙද්දී රාජකාරියක් සේම වාර්තා කළ යුතු සෙනෙහසත් විසින් ඒ නිදහස කොටු කරනු ලැබ ඇත.

         එහෙත් ඉන්නම බැරි වුණ එක් ඉරිදාවක ඒ සියලූ බැමියෙන් මිදී මම ඩිස්කවරියා සමග ගඟ තරණයට සැරසුණෙමි. පටන් ගත්දීම මල් මල් හීන් වැසි පොදක් පෙරමග පිළිගත්තත් සුබ අසුබ දසුන්වලින් සිතට බලපෑම් කරන යුගයක් නොවීය මෙය.

දිනය- දෙදාස් දහනමයෙ දෙසැම්බර් විසිනමය
ගමන- කරාපිටිය සිට මාදම්පේ දක්වා... මාර්ගය හඳුනා ගැනීමට...                       රක්වාන ආසන්නයේ වූ වංගු දහය බලා ගැනීම.
ගමන්නමග- කරාපිටිය... ලබුදූව... තලගහ... කුරුඳුවත්ත... කොට්ටව...                       යක්කලමුල්ල... අකුරැස්ස... දෙනියාය... සූරියකන්ද...                             රක්වාන... මාදම්පේ
පිරිස- මා තනිවම
වාහනය- ඩිස්කවරි 125 මෝටර් සයිකලය
දුර- කරාපිටිය සිට මාදම්පේට කිලෝමීටර 160ක් පමණ

       කරාපිටිය ෂෙඩ් එකෙන් ඩිස්කවරියාට පෙට්රල් පොවාගෙන ගමන ඇරඹුවෙමි. ලබුදූව හන්දිය පසුකර මඳ දුරක් යද්දීම අපට ගම්බද සෞන්දර්යය දැක ගත හැකිය. දකුණු පස වෙල් උඩින් ඉර පායා ඇති දසුන චමත්කාරජනකය. අද ඉරිදාවක් නිසා පාරේ වාහනද අඩුය. මගේ අරමුණ මෙම මගෙහි ගමන් කිරීම පමණක් බැවින් පාර එළා ඇති පරිදි මම ගමන් කරමි. 





කොට්ටව කැලය මැදින් යක්කලමුල්ල අකුරැස්ස හරහා දෙනියායට පැමිණිය යුතුය. 








         එහෙත් අපේ ගමනාන්තය වන මාදම්පේ පාර දෙනියායට කළින් හමුවේ. එතැනින් හැරී යා යුතුය. එම මාර්ගය තරමක්දුරට කාපට් දමා ඇතත් පසුව අබලන් ය. මාර්ගය වැටී ඇත්තේ කැළය මැදිනි. තැන තැන නිවාස ඉදි කළ ජනාවාස වූ පෙදෙස් හමුවේ. 





       සූරියවැව කිට්ටුවදී ‘‘වන අලින්ගෙන් ප‍්‍රවේශම් වන්න’’ කියා අනතුරු හඟවා ඇත. 
  




         ඉමදුව මාදම්පේ මාර්ගය වැල්ලවාය බෙරගල මාර්ගය සිහිගන්වයි. එක් පැත්තකින් කන්දත්, අනෙක් පසින් පල්ලමත්, ඈත අනන්තය තෙක් දිවෙන දසුනත් මනස්කාන්තය. දුර ඈත පෙනෙන මා නාඳුනන කඳු පන්ති, ජලාශ මිහිදුම හා පෙමින් වෙළී ඇත. ඒවා උඩවලව ඇඹිලිපිටිය, කතරගම සූරියවැව බව මම පසුව දැන ගතිමි. පියවි ඇසට පෙනෙන මේ සෞන්දර්ය අප සහෘදයින් වෙනුවෙන් සටහන් කර ගත යුතුය. එහෙත් මගේ කැමරාව... අහෝ... එය මා නොදන්නා දොසකට ලක්ව ඇත. නාභිගතවීමේ ප‍්‍රශ්නයකි. අප ළබැඳි මිත‍්‍ර කැමරා විශේෂඥ බිනරයන්ට අනුව එය මාගේ කැමරා පාවිච්චිය පිළිබඳ වූ දොසකි. මේ මතකයන් ෆෝන් කැමරාවෙන් ගනු ලැබූ ඒවාය. කමත්වා....










         අප ගමනේ අවසන් හරියේ එනම් රක්වාන කිට්ටුවදී වංගු දහය හමුවේ. මා පැමිණෙන්නේ ගාල්ල දෙසින් බැවින් මුලින්ම හමුවන්නේ දහවැනි වංගුවයි. මෙම වංගු දහය සහිත මාර්ගය ඒ 17 මාර්ගයකි. ඉංග‍්‍රීසින්ගේ කාලයේදී හේර්ස් නම් ඉංජිනේරුවරියක විසින් සාදවන ලද මාර්ගයේ වංගු දහය ගැන හස්ත සංඥාවෙන් සැලසුම දී ඇත්තේ තේ දලූ නෙලන ආත්තම්මා කෙනෙකු බව මා කොහි හෝ කියවා තිබෙනු මතකය. සූරියකන්ද රක්වාන අතර ඇති වංගු දහයේ තැන තැන ඈතට විහිදුන කඳු පන්ති අපට දැක ගත හැකිය. එසේ නැති තැන්වල මග දෙපසම වනාන්තරයයි. ඇඟට පතට දැනෙන්නේ සීතල සුවයයි. වංගු දහයම එකමාකාරයෙන් වූ අංශක තුංසිය හැටේ වැලමිටි වංගුය. මහියංගන නුවර පාරේ දහඅට වංගුව සිහිපත් වුවත් මෙය ඒ තරමට දුෂ්කර නැතැයි මට සිතේ. එහෙත් වට අවට සුන්දරත්වය අතින් නම් එය පරාදය. වංගු දහය පුරාම අතිශයින්ම පාළුය. එහෙත් හත්වන වංගුවේ දකුණු පැත්තේ භාවනා මධ්‍යස්ථානයකි. එහි යාමට වේලාව නොවූයෙන් මතු දිනෙකට එය කල් දමමි. මාදම්පේ දක්වා පල්ලම් බැස්ස මම ආපසු හැරී යළි ගාල්ල බලා ආ මග දිගේම පැමිණෙමි. 





















        ඒ එද්දීද යළි මා පැමිණිය යුතු තැන් ගැන සිතුවා නොව සිතුවිලිම පැමිණ හදවතේ වැදුණේය. මගදී හමුවුණ ගැටබරු දේවාලය. එය ප‍්‍රධාන මාර්ගයෙන් ඇතුළට යා යුතු වුවත් මග අයිනේ වූ පඩුරු පෙට්ටියට විශ්වාසය පූජා කළා විනා යාමට නොහැකි විය. ඉත්තෑකන්ද නම් ප‍්‍රදේශයේ දී එනම් රක්වාන සිට කිලෝමීටර් 30 ක් පමණ ගාල්ල දෙසට වන්නට හැරී උඩට යන හිමිදිරියාව නොහොත් මෝනින් සයිඩ්... තවද ඇතා මළ ඇල්ල, තුන් බෝධිය, එළමල්දෙණිය විහාරය, සිංහරාජය, ලංකගම, පැට්නා,  ඕලූ දොළ, ගොංගල, මුගුණමුල්ල ඇල්ල, අතු ඇළ බෝක්කුව, කුරුලූගල, සමන්ගල විහාරය ආදිය මේ මාර්ගයේ හා දෙනියාය ආශ‍්‍රිතව ඇති බව මා නොදනිතත් මට අසන්නට කියවන්නට ලැබිණි. කවදා හෝ දිනෙක ඒ සෞන්දර්යයන් හා මුහු වීමේ නොතිත් ආශාව හිතේ තුරුලූ කරගෙන සටහන නිමා කරමි.


ගැමුණු පී. දසනායක


තනිය හා බැඳීම

තනිය හා බැඳීම

     මාගේ නොබැඳීම මට කිසිදු ප‍්‍රශ්නයක් නොවුණත් සමාජයට එය මහත් ප‍්‍රශ්නයකි. ප‍්‍රශ්නයක් නොව ප‍්‍රශ්න පත්තරයකි. ඇතැමෙක් ‘‘ බැඳලද? ’’ කියා ප‍්‍රශ්නය මුණටම දමා ගසන අතර ඇතැමෙක් දෙවන තුන්වන ප‍්‍රශ්නය පළමු ප‍්‍රශ්නය බවට පත්කරති. ඌවේ කෙනෙක් ‘‘වයිෆ් මොනා කරනවා’’ කියා ප‍්‍රශ්නයක් නොවන අයුරින් ප‍්‍රශ්නය විමසන අතර දකුණේ කෙනෙක් ‘‘බැන්දෙ කොහේටෙයි’’ යනුවෙන් වූ ප‍්‍රාදේශීය ව්‍යවහාරය භාවිත කරති. එහි පිළිතුරෙන් විස්මිත වන ඔවුහු විටෙක ‘‘සොරි’’ කියා වෙනත් කතාවක් ඇද ගනිති. එහෙත් සමහරෙක් ‘‘දන්න කෙනෙක්’’ ගේ ගුණ වයමින් පසු පසම පන්නති. ඇතැම් විට හිනාවකින් බේරී පලා යන්නට හැකිවුවත් ඇතැම් ඒවා කෙළවර වන්නේ කොයි තරම් හිතවත් වුවත් ඔවුන්ගේ දුරකතන ඇමතුම්වලට අහක බලා ගැනීමෙනි. එවිට ඔවුහු වෙනත් නොම්මරකට සැඟවෙති. ‘‘මොකෝ බං තාම මෙහෙම’’ කියා අසන ප‍්‍රශ්නයට පිළිතුරු මා ළඟ නැත. එහෙත් ඔවුහු එයින් බොහෝ දුර ඇවිද යති. බූට් එකක්, ඩිවෝස්, හෝමෝසෙක්ස්, ක්‍රොනික් ලෙඩක්, ඉම්පොටෙන්ස් ඔවුන්ගේ හිසරදය තුළ කැකෑරෙන බව මට පෙනෙයි. තවදුරටත් එය මට හිසරදයක් වන්නට පෙර මම බඳින්නට තීරණය කළෙමි. 

     මොනරාගල සිට ගාල්ලට ස්ථාන මාරු ලබා එද්දී මා බැඳුණු කෙනෙකි. පෞද්ගලික ලිපි ගොනුවේ සිවිල් ස්ටේටස් ඉදිරියේ මා අන්මැරීඩ් වුවද මගේ බිරිඳට ස්ථාන මාරු ලබා ගත හැකි නොවුයෙන් ඇයට එහි නතර වන්නට සිදු වී තිබිණ. ඇගේ ස්ථාන මාරුව වෙනුවෙන් ඇතැම් මිතුරන් ආයතන සංග‍්‍රහ, චක‍්‍රලේඛ පවා ඉදිරිපත් කළ අතර මගේ උනන්දුවක් නැතිකම යැයි මට දොස් පැවරුවේය. සති අන්තයේ මා ඇය බලන්නට යමි. නැතිනම් ඇය මෙහි පැමිණෙයි. ඒ අයුරින් තවත් බොහෝ කෙටි නිර්මාණ කරන්නට මට සිදු විය. සිද්දී දාමය නොකැඩී පාඨකයාට රසවත් ලෙස ඉදිරිපත් කිරීම සඳහා මට කෙටි කතාවක්ම ලියා එය කට පාඩම් කර ගන්නට සිදු විය. ඇතැම් අවස්ථාවක එහි දෙබස් අමතකව දිව පැටලූනේ නැත්තේ ද නොවේ. පේ‍්‍රක්ෂකාගාරයට එය නොදැනුණත් මට එය මහත් පීඩනයක් ගෙන දෙන්නක් විය. එමතු නොවේ. තව දුරටත් දුරගිය, විවාහය දරු පලයෙන්ම අවසන් විය යුතුයැයි සිතූ මිතුරෙක් දරු පල පිණිස මට උපදෙස් දෙන්නට ඉදිරිපත් විය. ගොඩ වෙදකම් පවා ඉදිරිපත් කළ ඒ මිත‍්‍රත්වය ඇතැම් විටෙක පිළිකුල් දනවන්නක්ය. 

     නොසිතූ අයුරින් විවිධ අනු කොටස්වලට විහිද යන බැඳීම වූ කලී මහත් හිසරදයක්මය. එය බලෙන් ඔබ්බා ගත් මානසික  පීඩනයක්ය. බැඳීම තනිකඩකමට වඩා ප‍්‍රශ්නකාරී එකක් බව එසේ අවබෝධ කර ගත් බැවින් දිගටම නොබැඳී තනිකඩව සිටීමට මම තීරණය කළෙමි.

     ගැමුණු

Tuesday, March 3, 2020

මේ සිහිනෙට මං ආසයි...

මේ සිහිනෙට මං ආසයි...

     මේ දිනවල මම එකදිගට එකම සිහිනයක් දකිමි. ඒ සිහිනයට මම ආදරය කරමි. එබැවින් නින්ද මගේ සමීපතමයා බවට පත්ව සිටියි. මම වේලාසනින්ම නින්දට යමි. 

‘‘ඒ හිරු නොනගීවා - රෑ තව දිගු වේවා’’

‘‘මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න  
ඒ සිහිනෙන් මා මුදන්න ළං නොවන්න’’ 

අනුන්ගෙන් ණයට ගත් වචනවලින් මම ඔබට එසේ කියමි.

     මා අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාගෙන සිටි ස්ථාන මාරුව ලැබී ඇත. ඒ ගාල්ලෙන් එනම් මගේ ගෙවල්වලින් බොහෝ ඈතටය. කාස්ටක බිමේ හමන සුළං මැද මම සැනසිල්ලේ සිනාසෙමි. ඩිස්කවරියාද, කැමරාවද යළිත් මගේ සහෘදයන් වී ඇත. ඒ සිහිනය පොරවාගෙන මම තව තවත් ගුලි වෙමි.


     මා මොනරාගල දමා ආවේ සිතකින් නොවේ. ඒ ආ පසුත් යළි යළිත් මා සිත ඒ බිමට දිව යන්නට විය. අදටත් එය එසේමය. ඔව් ඒ මගේ පේ‍්‍රමයයි. ඒ බිමට හත්ගවුවක් ඈතින් සිටින්නවුන් අති දුෂ්කර ලෙස හැඳින්වුවද ඒ බිමෙහි කොයිතරම් නම් සෞන්දර්යයක් වැතිරී සිටියේද? වැව් දියක සිට උපදින සීතල සුළඟ, කඳු මුදුනක සිට දකින අනන්තය තෙක් විහිදුන වන නිල්ල, ඉපැරණි පන්සලක නටබුන්වල ඇති අතීත කාමය ඒ භූමිය පුරා පිරී විසිරී ඇත. ඉතින් ඒ කළු කෙට්ටු මොනරාගල මගේ  ප‍්‍රථම පේ‍්‍රමය නොවනු කෙලෙසද? එහෙත් මා එන විට ඇය ගිහින් එන්න කියා කීවේවත් නැත. එහෙත් මම සිතින් නිතර එහි ගොස් එමි.


     මට ගාල්ල සිතට නොඅල්ලයි. ගාල්ල මා ඉපදුන බිම බව සැබෑය. හැදී වැඩුණ, ඉස්කෝලේ ගිය බිම බව සැබෑය. එහෙත් අවුරුදු විසි ගණනක් ගාල්ලෙන් දුරස්ව සිටි පසු එය තව දුරටත් මගේ ළබැඳියකු සේ සිටින්නට අකමැති සේය. ගෙදර අතේ දුර වුවත් මම බෝඩිංගතව හිඳිමි. කෙනෙකුට මහ ගෙදර තරම් සැනසිල්ලක් තවත් නැතද, මට එය එසේ නොවේ. පසුගිය අවුරුදු විසි ගාණ තුළ මහ ගෙදර මගේ කාමරය මට නැති වී ගොසිනි. මා චිත‍්‍රපටි බලන්නට වාඩි වුණ මගේ රජ පුටුවද වෙනස් වී ඇත. ටී.වී. එකේ දුරස්ථ පාලකය අන් සන්තක බැවින් මා ප‍්‍රිය කරන සෞන්දර්යයට මාරු වීමට මට වරම් නැත. ගෙදර එන්නැයි එන්නැයි අම්මලාගේ නිරන්තර කෑ ගැසීම මොනරාගලින් මා විස්ථාපනය කරන්නට සමත් වුවද මේ ජීවිතය මට අප‍්‍රියජනකය. අපුලය. උදේ හතට අවදි වෙන, අටට වැඩට යන, හතරට බෝඩිමට එන, පහට ගෙදර යන, දහයට ගෙදරින් එන, ආ විගස මහන්සියට නින්ද යන, ආයෙත් උදේ හතට නැගිටින ඒකකාරී ජීවිතයෙන් හෙම්බත්ව සිටිමි. රැඩිකල් ලෙස කියනවා නම් මේ සිස්ටම් එක මට අල්ලන්නේ නැත. එබැවින්ය මා දකින මගේ සිහිනයට මා මේ හැටි කැමති.


     ඉස්සර වගේ නොවෙයි දැන් ගාල්ල හරි වෙනස්. හරිම කලබලය. පොඩ්ඩ ඇත්තන් කෑ ගසයි. විටෙක එය මහත් හිසරදයකි. මුහුද බලන් ඉන්නෙත් සුනාමියක් එවන්න වගේ. ඒත් පිටත සිට මට පෙනෙන ගාල්ල ගැන එතුළ සිටින අයට කියද්දි නම් ඔවුහු එය පිළිගන්නට මැලි වෙති. ඔවුන්ට ඒ වනාහී සකල සම්පත් ප‍්‍රාදුර්භූත වන දෙව් ලොවයි. මා මොනරාගල හොඳ වනන විට අප සන්සඛී ප‍්‍රියංගාවන් මගෙන් ඇසුවේ ‘‘ඔයා ගංජ බීලද ඉන්නෙ’’ කියායි. ඔවුන් නොදුටු ඒ සෞන්දර්යය පෙන්වන්නට හැකි නම්...


     මා දැන හදුනන මාමා කෙනෙක් මා මුණගැසුණ දිනෙක මෙසේ ඇසුවේය. 
‘‘දැන් පුතා සෙට්ල් වෙන්න කාලෙ හරි. මං නම් දකින විදියට ජීවත් වෙන්න හොඳම මේ ගාල්ල තමයි.’’ 
‘‘එතකොට අන්කල් පළාත් කීයක ජීවත්වෙලා තියෙනවද’’ 
‘‘මං නම් ගාල්ලෙන් පිට කොහෙවත් ඉඳල නෑ.’’
අපට උපදෙස් දෙන්නන්ගේ අත්දැකීම් අන්න එයාකාරය. 


අදත් වේලාසනින්ම නින්දට යා යුතුය. 


     මා අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ බලාගෙන සිටි ස්ථාන මාරුව ලැබී ඇත. ඒ ගාල්ලෙන් එනම් මගේ ගෙවල්වලින් බොහෝ ඈතටය. කාස්ටක බිමේ හමන සුළං මැද මා සැනසිල්ලේ සිනාසෙමි. ඩිස්කවරියාද, කැමරාවද යළිත් මගේ සහෘදයන් වී ඇත. ඒ සිහිනය පොරවාගෙන මම තව තවත් ගුලි වෙමි.

ගැමුණු
2020-03-03