Tuesday, September 16, 2014

බිත්ති පුවත් පතකින් පේරාදෙණියට

කාලෙකට ඉස්සර බිත්ති පුවත් පතකින්(‘‘නිර්මාණ කේන්ද්‍රය“)........


































                                                                                                         ගැමුණු පී. දසනායක

දියලුම



ඊයේ තරම් ගන මීදුම නොපැවැතිය ද සීතල ඉදිරියෙන් ඇවිත් ඇඟ අතගාගෙන යයි. විටෙක සිතම කිළි පොළා ගියත් සිරුර වෙළා ගන්නා ඒ පහස කෙසේ නම් පිළිකෙව් කරම් ද? දකුණු පසින් පවුරක් සේ නැඟී සිටින තුංග කඳු පංතියයි. විටින් විට කඳු හදවත හාරා ගෙන නාය ගිය වගට පාමුළ තනිවුණ විසල් ගල් ගෙඩියක් දෙස් දෙයි. අපට යන්නටවත් බැරි උසක කලෙකට ඉහත වැජඹෙන්නට ඇති ඒ පහණ මත පුංචි කඳුළු කැට දෙකක් මම දකිමි. ගහ වැල අත් උස්ස උස්සා උණුහුමක් ඉල්ලා සිටිය ද ඉර නම් පේන තෙක් මානයක නැත. මේ කඳු වළල්ල තුළ කොතැනක හෝ ඔහු සිනාසෙමින් ඉන්නවා ඇති. මගේ වම් අත පැත්තේ අත වනන අනන්තය ළඟ මගේ ඇස ගෙනැත් නතර කරමි. වචනවලට යා හැකි උපරිම දුරක් ඇත. එබැවින් ඒ කවිය මම ඔබේ ඇස් ඉදිරිපිට තබමි. මම කිසිවක් නොකියමි. ඉතින් විඳ ගන්න.












                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                           ඔබ මගෙන් එක ප‍්‍රශ්නයක් අසනු ඇති. උත්තරය බෙරගල. ඒත් ඔබ එනවාද මා එක්ක. දනිමි ඔබ නොඑන වග. ඉතුරු දුරත් මම තනියම යන්නම්. පුළු පුළුවන් හැටියට ඔබේ ඇසේ රසඳුන් තවරන්නම්.



දියතලාව කොළඹ පාරේ මෙතෙක් පැමිණ මෙතැනින් වමට හරවමි. තව කිලෝමීටර විසි හතරකින් මගේ ගමනාන්තයට මට ළඟා වන්නට පුළුවන. එහෙත් මේ අතුරු මඟ නම් දියළුමෙන් නොනැවතී මාලි ගේ ගමටම යයි. මාතර සිට එන අප වැල්ලවාය කිට්ටුවට එන විට දකින කුඩා ඔය දියළුමට කිසිම නෑකමක් නැති බව පුන පුනා කීවේ ඇයයි. මේ කලබලකාරී ලෝකයේ ගෙදර අයට ම ගෙදර අය ගේ නම් ගම් අමතක වීම කවර නම් වරදක් ද? මට ඇති ප‍්‍රශ්නය එය නොවේ. එදා දකිද්දී කුඩා ඔයේ වතුර කඳුළකුදු නොවීය. දිගු කල් නියඟයෙන් පෙළෙමින් නමුත් බලාපොරොත්තු ඔය පතුලේ සුප්ත කාල ගෙවයි. ඇයි මට වලාකුළක් වෙන්නට බැරි?

දකුණු පසින් සෞන්දර්ය එක යායකි. ගමනේ වේගයත් හදවතට මතක පිරෙන වේගයත් අතර ප‍්‍රතිලෝම සම්බන්ධයකි. මා යන්නේ අවම වේගයෙනි. තැන තැන නතර වෙමිනි. මේ බලන්න.




























මා දෑස් අබිමුව මේ දසුන මසිත ඇඳී ඇලවී තිබුණ එක නම් නොවේ. පේ‍්‍රමයෙන් පැරදුණ යුවතියකගේ ඇසින් වැගිරෙන කඳුළු කඳුරක් පමණකි. මෙය මෙසේ විය යුතු නොවේ. මම වලාකුළක් ගෙන පාව යමි උඩහට. අඩි පන්සිය හැටක උඩක සිට එක හෙළා වැටෙන සුන්දර දියලූම යළි තනමි. එක් වරම හය වසරට යමි. මෙයින් කිලෝමීටර දෙසිය තිස් ගණනක් එපිට දකුණේ අග නගරයෙනුත් තව ඇතුළේ ගම්බදව තැනිතලාවෙක පිහිටියා වූ පුංචි ඉස්කෝලෙක පුංචි උන් රොත්තක් පුංචි පුටු උස්සගෙන හෝල් එක ළඟ මොටදැලිය ගහ යටට එති. ශීලා මිස් අලූත් පංතියට සිංහල පාඩම අරඹයි.




අන්ධකාරයේ සපත්තු හඬ දැන් ළඟ ළඟම ඇසේ. එකා දෙන්නා නික්ම ගොස් දැන් මෙතැන මා පමණි. තනියට කවුරුත් උන්නා නම්...... නැත ... නැත.... කැළුම් ශී‍්‍රමාලයින්  කෙසේ කීවද හුදෙකලාව අවනඩුවක් නම් නොවේ. හුදෙකලාව යනු හදවත වෙළාගෙන සදා සුව තවරනා දිව ඔසුවයි. එහි ගුණ දන්නෝ එය වින්දෝම මිස අන් කවරහුද? හෙල්මට්ටුව පැළඳ මම යතුරු පැදියේ යතුර කරකවමි. 



                                              ගැමුණු පී. දසනායක
                                                               2014 සැප්තැම්බර් ගමනක්