Friday, November 16, 2018

ගෝවින්ද හෙළ westminister abbey

ජානක මල්ලිගේ උදෑසන ඇමතුම කොහේ හෝ යාමට ය. අද ඔහුට නිවාඩුය. දැන් උදේ 9 ට කිට්ටු ය. උඩ දියලුම යාමට අපි අවසානයේ එකඟතාවට පැමිණියෙමු. එහෙත් හිරංජන්ට අනුව මොනරාගල සිට පූනාගල ගොස් හතරයි තිහ වෙද්දී යළි පැමිණිය නොහැකි ය. ජානක මල්ලීට හතරයි තිහ සීමාකාරී සාධකය ම විය. බැඳීම් හමුවේ සිහිනයක් ලිහී යමින් තිබිණි. එහෙත් ගමන යා යුතුම ය. මිදුලේ සිට වාහනය දකුණට සිග්නල් දමා වමට හැරවිණි. තත්පර කිහිපයක සිතිවිල්ලක ගමනාන්නතය වෙස්මිනිස්ටර් ඇබේ වූ බැවිනි. දුර ප‍්‍රමාණ හා වේලාවන් නිශ්චයට ගූගල් මැප් සහයට පැමිණියා මෙන්ම අපට කලින් එහි ගිය සහෘද සටහන් ද උදව්වට ඇඟිලි තුඩු අගට ආයේ ය. කැම්පස් කාලේ කොල්ලො සෙට් එකක් එක්ක ජානක මල්ලී මේ කන්ද තරණය කර තිබුණත් ඒ මතක එතරම් පැහැදිලි නැති වී තිබිණි.

‘‘ලංකාවේ මධ්‍ය කඳුකරයේ සිට හාත්පස නරඹන්නෙකුට කඳුවලින් ගැවසී ගත් මහ වන සාගරය නැගෙනහිරටත් දකුණටත් විහිදී යන ආකාරය දර්ශනය වෙයි. සන්ධ්‍යා කාලයේ මන්දාලෝකයෙන් නැහැවෙන කල්හි මේ අපූර්ව ස්වභාවික නිර්මාණය ලෝකයේ සියලූ චමත්කාර ජනක දසුන් අතර වෙසෙස් තැනක් ගන්නවා ඇත. එක් කෙළවරක සිව් රැස් ටැඹක ආකාරයෙන් නැගෙන කඳු වැටියක් මේ නයනකාන්ත කඳු පන්ති අතර දක්නට ලැබේ. දකින කෙනෙකුගේ නෙත් සිත් ඒ කෙරෙහි තරයේ නොබැඳෙන්නේ නම් එය ඉතා කලාතුරකින් සිදුවිය හැකි විස්මය ජනක සිද්ධියකි. දුර සිට බලන්නෝ එය වෙස්මිනිස්ටර් අසපුව ( Westminister Abbey) යනුයෙන්ද එහි ඉතා සමීප දසුනක් ලබා ගැනීමේ වාසනාව ලබන්නෝ එය ‘‘ ගෝවින්ද හෙළ’’ යන නමින්ද හඳුන්වති. ඊට උතුරින් හුදෙකලාවේ උස්ව නැගුණු කඳු ශිඛරයක් ප්‍රෙයාර්ගේ පියස්ස(Friar’s Hood ) යනුවෙන් හැඳින්වෙයි. පැරැණි පෘතුගීසි නාවිකයන් ‘‘යුරෝපයේ කැරලිකරුවෝ’’ යනුවෙන් ප‍්‍රකට ව සිටි ලන්දේසි සතුරන්ගෙන් බේරී යාත‍්‍රා කිරීම සඳහා ප්‍රෙයාර්ගේ පියස්ස ඉලක්ක කොට ගත් බව වාර්තා වී තිබේ. ’’
(වනගත ලංකා, ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තන පේ‍්‍රමචන්ද්‍ර අල්විස්, සූරිය ප‍්‍රකාශන, පිටු 129)

‘‘හදිසියේම එය වන හිසට උඩින් පුළුල්ව ගියාක් මෙන් දිස් වූයේ ය. ‘‘ආන්න අර බලන්න. ඒක නිසා තමයි  ඕකට ගෝවින්ද හෙළ(ගොයා ඉන්දු හෙළ) කියන්නේ. අපගේ මාර්ගෝපදේශකයා හඬ නැගී ය. කන්ද දිගේ බඩගාන යෝධ කබර ගොයකුගේ හැඩ ගත් ගල් කුට්ටියක් කන්දේ බෑවුමෙහි දක්නට ලැබේ.’’
(වනගත ලංකා,ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තනපේ‍්‍රමචන්ද්‍ර අල්විස්, සූරිය ප‍්‍රකාශන, පිටු 132)

මොනරාගල ටවුමෙන් පිටත් වී සියඹලාණ්ඩුවට පැමිණිය යුතු ය. ඒ දුර කිලෝමීටර් තිස් හතරකි. සියඹලාණ්ඩුවෙන් පාර දෙකට බෙදේ. කෙලින් ම දිවෙන්නේ පොතුවිල්වලට ය. අප යා යුත්තේ වමට ඇති අම්පාර පාරේ ය. පාර නම් ඉතා හොඳ තත්වයේ ඇති කාපට් ඇතිරුණකි. 

මග දකුණු පැත්තේ විසල් පර්වතයෝ විරාජමානව වැඩ සිටිති.




සියඹලාණ්ඩුව සිට කිලෝමීටර් පහළොවක් පමණ අම්පාර පාරේ පැමිණි විට නවය කණුවට ළඟා විය හැකි ය. ස්ථාන නාමය නිවැරදිව ම කියනවා නම් ගොවිඳුපුර කන්දඋඩපංගුවයි. එහි දකුණු පැත්තේ ශ‍්‍රී බුවනෙකබා විහාරය ලෙස නම ගැසූ පුවරුවකි. 

මීටර් සියයක් පමණ ඇතුළට ගිය විට විහාරස්ථානය ඇත. මෙතැන පාරේ සිට බැලූ විට අපේ ගමනනාන්තය අහස මුදුනේ දැකගත හැකි ය. 

ඔබ කුමන වාහනයකින් පැමිණියත් ගෝවින්ද හෙළ තරණයට එය විහාර මිදුලේ නවතා යා යුතු ය. අප එතැනට යද්දී උදේ දහයට පමණ ඇත. 

අවුරුදු හයක හතක පොඩි හාමුදුරුවෝ අප විහාරය මැදින් කැඳවාගෙන ගොස් ඇතුළු වීමේ මඟ පෙන්වුවෝ ය. 
"එන්ට්‍රන්ස්" එක

ඇතුළුවන මඟ වල් පැළවලින් වැසී ඇත. ඒවා මෑත් කොට මඟට ඇතුළු වෙමු. අඩි පාර පැහැදිලි ව දක්නට තිබේ. 


‘‘බෝවල වැසියන්ගෙන් ඇතැමෙක් ගල් කුහරවල බැඳුණු මී සොයා වෙස්මිනිස්ටර් අසපුව නම් කන්ද නැගීමට තරම් එඩිතර වෙති. කැලය තුළ එය ඉතා අවදානම් ගමනක්සේ සැලකෙයි..
කන්ද පාමුල ගල්ගුහාවක රාත‍්‍රිය ගත කළ අපි ගල් සියඹලා ගසක මුල් වට වීමෙන් තැනුණු කුඩා දිය කඩිත්තකින් අපගේ වතුර බෝතල් පුරවා ගෙන පසු දින උදේ කන්ද නගින්නට පටන් ගත්තෙමු. කෝඳුරුවා ඉතාම කුඩා කෘමියෙකු වුව ද ඌ නිසා ‘‘කෝඳුරුපතන’’  නමින් තැනක් බිහි වී තිබීම ගැන අප අතර ම ඇති වුණු නොයෙක් කතා අපගේ විනෝදයට හේතු විය. ’’ 
(වනගත ලංකා,ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තනපේ‍්‍රමචන්ද්‍ර අල්විස්, සූරිය ප‍්‍රකාශන, පිටු 134, 135)

කැලෑව මැදින් ගස් ගල් උඩින් අඩි තබමින් ඉදිරියට යන්ටය ඇත්තේ. මගදී හමුවන කුඩා දිය කඩිති මතින් කුඩා පාලම් තනා ඇත. අපේ තනියට බලු යාළුවන් දෙදෙනෙක් ද එක් වූහ. උන් අප පසුපස ද විටෙක ඉස්සර වෙමින් ද මග පෙන්වූහ. 




මෙහි බහුල ව මයිකා නම් පාෂාණ වර්ගය ඇති බව ජානක මල්ලී පැවසී ය. 

ගල් පඩි මතින් ගමන් කළ ද නගින්නේ කන්ද බැවින් තරමක් වෙහෙසකර ය. කන්ද එක්වර ම තියුණු නැග්මක් බවට පත්වේ. එහෙත් ඒ තැන්වල යකඩ ඉනිමං තනා තිබේ. ඒවායේ ලෑලි ගැලවී ඇතත් පහසුවෙන් එතෙරවිය හැකි ය. 


කාලෙකට ඉස්සර මේ ඉනිමං තනන්නට පෙර මෙම තරණය සිදු කර ඇත්තේ ගස් වැල්වල ආධාරයෙනි. එය ඉතා වෙහෙසකර කාර්යයක් වන්නට ඇතුවා මෙන්ම ගමන බොහෝ කල් ගත වන්නක් වන්නට ද ඇත. 

‘‘කලින්දා රැය පුරා ඇද හැළුණු මහ වැස්සෙන් ශේෂ වූ පොද පතනය පසු දා උදේද පැවතිණි. ගල් දෙබොක්කා අතරින් රිංගමින් ද මිටි ගල් ගුහා තුළින් ද දණ ගාගෙන ඇදෙමින් හා අප විසින්ම කල් තියා පිළියෙල කර ගැනුණු රළු ඉනිමංවල එල්ලෙමින් ද අපිඉමහත් ආයාසයකින් කන්ද නැගීමේ දුෂ්කර ක‍්‍රියාවෙහි යෙදුණෙමු. ’’
(වනගත ලංකා, ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තන පේ‍්‍රමචන්ද්‍ර අල්විස්, සූරිය ප‍්‍රකාශන, පිටු 135)

මගදී හමුවන මේ කුඩා පර්වතයේ සිට තරමක ඈතින් ඇති ඒ පර්වතයට පාලමක් තිබෙන්නට ඇති බව පර්වත දෙකේ ම හාරනලද කොටු හැඩය කියා පායි. 

මෙය අතීතයේ එනම් කාලිංඝ මාඝ යුගයේදී බුවනෙකබාහු නම් ආදිපාදවරයකුගේ රාජධානියයි. 

‘‘සතුරන් විසින් ළං විය නොහැකි ගෝවින්ද නම් පර්වත මස්තකයෙහි පුරයක් කොට ගෙන වසන්නා වූ ලෝකයෙහි ප‍්‍රසිද්ධ වූ වික‍්‍රම ඇති භුවනෙකබාහු නම් වූ ඈපා මිහිපති තෙම රුහුණු රටද(එහි වැසි) භික්ෂු සංඝයා හා සස්නද රක්ෂා කළේය.’’
(මහාවංශය සිංහල, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය ප‍්‍රකාශන, පිටු 400)

මෙතැන සිට ඈත බලන්නෙකුට සෞන්දර්යය යායක් ම වනා තිබේ. හරියටම මේ යැයි නිශ්චිතව කියන්නට දැනුමක් නැති වුවත් ඒ ඈතින් පෙනෙන්නේ මුතුකණ්ඩිය ජලාශය වන්නට ඇත.






අපට පෙර කන්ද නැග බසින මහත්මයෙකුත් ඔහුගේ තනියට පැමිණි ගම්වාසියකුත් අපට මඟදී හමුවිය. ගල් ගෙඩිවල මැදට අඩිය තබන ලෙසත්, අයිනට අඩිය නොතබන ලෙසත්, පෙරදා වැස්ස නිසා ඒවා ලිස්සන බවත් කියා ගම්වැසි මාමා අපට අවවාද කළේ ය.
පැයයි විනාඩි හතළිස් පහක පමණ තරණයේ පරිපාකයට අපි ළඟා වීමු. ඒ අප දුටු පැතලි පර්වත මුදුනයි. චමත්කාරය ගැන නම් කියන්නට වචන නැත. හාත්පස ම සෞන්දර්යය එළා ඇත. වට පිට මේ පෙනෙන්නේ සියඹලාණ්ඩුව අම්පාර වැනි පෙදෙස් වන්නට ඇත. ස්පිට්ල් මහතාට අනුව මේ උතුරු දිගින් පෙනේනේ ප්‍රෙයර්ගේ පියස්ස නොහොත් වඩිනාගල කන්ද වන්නට ඇත.




‘‘කඳු ශිඛරය බද විශාල කොටසක් ග‍්‍රහණය කර ගනිමින් එකිනෙක වෙළෙමින් විහිදුණු මුල් සහිත විශාල නුග ගසේ උපකාරයෙන් අන්තිමේදී අපි උතුරු දිග මුර අට්ටාලයක් බඳු කඳු මුදුනට නැග ගත්තෙමු. පැරණි ජනාවාසයක සලකුණු මෙහිදී ද සිරිත් පරිදි අපට දක්නට ලැබිණි. ජල පරිහරණය සඳහා යොදා ගැනුණු භාජන, පිහිටි ගලේ කොටන ලද ආසන, ගඩොළු කැබලි හා වළං කැබලි ද අන්නාසි පඳුරින් වැසී ගත් සවිමත් තාප්පද ඒ සලකුණු අතර විය.
වල් බළලුන් හැරුණු විට වෙනත් කිසිම සතෙක් හෝ කන්දෙන් පහළ ඇසෙන වඳුරන්ගේ හඬ විනා අන් කිසිම හඬක් හෝ කන්ද මුදුනෙහි දකින්නට අසන්නට නොලැබිණි. පොද වැස්ස මිහිදුම් පටලයක් සේ විසිර ගිය හෙයින් අපගේ දර්ශන පථයෙහි වූ කඳු හෙල්වල හා වන සාගරයේ අසිරිය රිසි සේ ඇසින් විඳ ගන්නට අපි සමත් නොවීමු. එහෙත් වරින් වර වැසි පොද පටලය පහව ගිය හෙයින් පේන තෙක් මානයේ කඳු පන්තිවල නිම්නෝන්නත රේඛා ද යම් පමණකට දැක ගැනීමට අපට හැකි විය. වඩිනගල කන්ද අපට දිස්වූයේ හිස නැති සතකු ගෙල කොටස ද සිරුර යට රුවා ගෙන ලැග සිටින සේ ය. අපට දකුණු පසින් මොනරාගල කඳු පන්තිය ඈතට විහිද ගියේ ය. අපට කිට්ටුවෙන් ම ‘‘තනගොඩ ’’ (උඩුකුරුව වැතිරෙන කතකගේ දෙපියයුරු සේ දිස්වන හෙයින් වැද්දන් ඊට ඒ නම තැබූ බව සඳහන් කරයි.) නම් වූ ගෝලාකාර කඳු ශිඛර දෙක ද ඊට පසුපසින් ’’තනකිරිගොඩ ’’ නමින් හැඳින්වෙන කඳු ගැටය ද දක්නට ලැබිණි.
වැසි පටලය තුළ එතෙක් සැඟැවී තිබුණු නොයෙක් විසිතුරු දසුන් අප කන්දෙන් පහළට බසිද්දී වඩාත් හොඳින් දැකගැනීමට අපි සමත් වීමු. මී කැඞීම සඳහා කන්දට නැගුණු මිනිසුන් ඒ කාර්යයේදී සිය පය රඳවා ගැනීම සඳහා සවි කළ කූඤ්ඤ බොහෝ ගණන් සෘජු බෑවුම් මුහුණතෙහි තිරස් අතට විහිසුණු දිගු පැළුම්වලින් පිටතට නෙරා තිබිණි. කෙනෙකුට ළඟා විය නොහැකි සේ පෙනුණු තැනක වූ මීයක් වෙත පැමිණි එඩිතර මිනිසකුගේ බර දැරූ වැල් ඉනි මගනකින් ශේෂ වුණු දිගු වේවැලක්ද කන්ද මුදුනින් පහළට වැටී එල්ලෙමින් තිබුණි. ’’
(වනගත ලංකා, ආර්. එල්. ස්පිට්ල්, පරිවර්තන පේ‍්‍රමචන්ද්‍ර අල්විස්, සූරිය ප‍්‍රකාශන, පිටු 136)



















ස්පිට්ල් මහතා 1924 දී දුටු ඇතැම් දේ මෙහි අද දක්නට නැත. කඳු මුදුනේ අලූතින් බුදු පිළිමයක් තනා ඇත. ගල හාරා සකස් කරන ලද පොකුණු, ගලින් හැදූ මල් ආසන, සඳකඩ පහණක් මෙහි තැන තැන දැකිය හැකි ය. මගදී තටාරම් කෙටූ ලෙන් කිහිපයක් ම අපට හමු විය. සඳකඩ පහනේ ගව රූපය නැති නිසා එය පොළොන්නරු යුගයට අයත්බව සිතිය හැකි ය.




‘‘91.ගෝවින්ද හෙළ
මතුපිට සමතලා ස්යරූපයක් ගන්නා කඳුවැටියකි. පුරාණ දාගැබක්, පොකුණක් සමග කටාරම් කොටන ලද ගල් ලෙන් රාශියකින් සමන්විත ස්ථානයකි. ගල්පුවරු කපා සකස් කරන ලද බිත්තියක අවශේෂ ද මෙම ස්ථානයේ දක්නට ඇත.’’
(පෞරාණික ස්ථාන සහ ස්මාරක අම්පාර දිස්ත‍්‍රික්කය, චන්දන රෝහණ විතානාච්චි, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු ප‍්‍රකාශන, පිටු 51)

ස්පිට්ල් මහතා නොදුටු දසුන්ද අද මෙහි අපට දැකගන්නට ඇත.මඟ මඟ දමා තිබූ ප්ලාස්ටික්, බියර් කෑන්, බෝතල් නම් මෙහි අඩුවක් නැත. පරිසරයේ අගයක් නැති කුහකයන් කොතැනත් ඇත. කොතැනටත් එති.



ජානක මල්ලීට හතරහමාරට මොනරාගල සිටිය යුතු ය. මට ද එසේ ය. එබැවින් වරු ගණන් ගල මුදුනේ ගත කළ නොහේ. අප යළි ආ මගේ ම ඒ ඉනිමං දිගේ ම පර්වතය බැස කැලෑව ඔස්සේ පිටවීමේ කැලෑ දොරටුවට පැමිණියෙමු. අපට ආශිර්වාද කළ  පොඩි හාමුදුරුවන් ද මුණ ගැසී අවසර ගෙන අපි යළි මොනරාගල බලා පිටත්වීමු....

ගෝවින්ද හෙළෙන් පටන් ගන්නා ගීත රචනාවක් රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ ගංගා ගීතයේ ද තිබුණා මට මතකය.

‘‘ගෝවින්ද හෙළෙන් නගින ඉරට 
කණේ කඩුක්කන් කොයින්ද
හැන්දෑවට කැලණි තොටින්
බැස යන විට
ඉනේ ඔසරියක් කොයින්ද...’’


ඉර නගින හැටි මෙතැන සිට බලන්නට තිබුණා නම්...

ගැමුණු පී. දසනායක
2018-11