Tuesday, May 16, 2017

කළුපහණ, බඹරකන්ද, ඔහිය, බොරලන්ද හරහා නැවත දියතලාවට...

දියතලාවේ සිට රත්නපුර දෙසට පැමිණ කළුපහණ හන්දියෙන් දකුණට ඇති කුඩා මාර්ගයට පිවිසෙමි. බඹරකන්දට යන මඟ පෙන්වන්නට තැන් කිහිපයකම ඊතල පුවරු දක්නට ඇත. එහෙත් පාසල ඇරී ගෙදර යන කුඩා දැරියකගෙන් ඒ මග නිශ්චය කොටම දැන ගනිමි. හරිත වන් දෑල මැදින් දිවෙන මේ තාර පාරේ කිලෝ මීටර් හතර කිසිම අපහසුවකින් තොරව පැමිණිය හැකි ය. 




එතැන ඉන්නේ අපේ උසම උස මනමාලියයි. 

‘‘උසම උස
හැඩම හැඩ
සුදුම සුදු
නුඹ බලන්නට

මිටිම මිටි
කැතම කැත
කළුම කළු
ඉලන්දාරියෙක් 
ඇවිත් ඇත
ඔබේ සාලෙට’’






මගේ නම ඉදිරියට කොයි තරම් විශේෂණ පද ඇමිණුවත් කිරි සුදු වන් වේල් පොටින් සැරසී, ඇය ඈ සතු සියලූ සෞන්දර්යය ම රැගෙන මා ඉදිරියේ සිට ගත්තා ය. ඊයේ පෙරේදා අධික වැසි ඇද හැළුණත් අඩි හත්සිය අසූවක් උස මේ දිය කඳට නම් එය එතරම් දැනුණ වගක් නොපෙනේ. වටේ ම ඈතින් ඈතට දිවෙන කඳු වළල්ලයි. මීදුම් සළුවක් පාවී එයි. සිහින් සිරි පොද චුරු චුරු ගාමින් කැමරාව මත පතිත වේ. තව වැඩි වේලා යන්නට මත්තෙන් මෙය මහ වැස්සක් වී කඩා පාත් වනු ඇත.

‘‘මේ පාර තියෙන්නෙ ඔහියට’’




මට අතීතය සිහි වෙයි. ‘‘දියතලාවෙ ඉඳන් ඔහියට බස් නෑ. ඔය කෝච්චිය විතරයි. ඉක්මනට ඔය කාඞ් එක ලියල දියන්. නැත්නම් උන් පව්.’’  එදා හිරා විසින් ඔහියේ දුෂ්කරතාව මට කියා දෙනු ලැබුවේ එහෙම ය. දැන් මා යන්නට මගේ සිත කැමති කරවා ගත්තේ එම ගමට ය. 

ඇරඹුම හොඳය. කොන්ක‍්‍රීට් පාරකි. තව ටිකක් ගිය තැන ලොක් ගල් අතුරා මාර්ගය තවත් යහපත් වේ. දිගටම මාර්ගය එළි එළී එන්නට මට ආරාධනා කරයි. ඉතින් නොගිහින් කොහොමද? 



ඈතින් වම් පසින් බඹරකන්දේ ආරම්භය පෙනේ. ඒ පහළිනි. මා දැන් සිටින්නේ බඹරකන්දටත් වඩා උඩිනි. මඟ නැඟුම පලකයෙන් ටික දුරක් ගිය විට පාරේ දැමූ කළු ගල් පමණි. රෝද එරි එරී වැටෙන්නට යන මොටර් සයිකලයේ සමබරතාව අපහසුවෙන් තබා ගනිමි. ‘‘නොම්මර එක තැනට වෙනකම් පාර හදලා තියෙන්නේ...’’ ඇල්ල ළගදී ඔහු කී කවියේ නොකියූ හරියේ ආරම්භය ම මෙයාකාර ය. 








මහ වරුසාවක් ද එකවර කඩා පාත් වේ. ගල් දෙබොක්කාවක් අතරින් ගමන් කරමි. 


කළු ගල් අවසන් වේ. අතිශය ම දුෂ්කර මාර්ගයක ඇරඹුමයි. ගැලවී ගිය තඩි ගල් ගෙඩි ගැටි සාදමින් මඟ අවුරයි. මොටර් සයිකලයට සිදුව ඇත්තේ උඩ පනිමින් යන්නටය. පහළින් දැවැන්ත ප‍්‍රපාතයයි. ලිස්සා ගියොත් ඒ එකම එක වතාවකි. මරණය දත් විළිස්සාගෙන බලා සිටී පාමුළ. 









මාර්ගය එන්න එන්නම අබලන් වේ. මග දෙපස නම් අතිශය සුන්දර වේ. ගල් ගෙඩි පවුරු සේය. ගල් කැබැලි පොරෝ තල සේය. මග හරින්ට ද ලෙහෙසි නොවේ. යා හැක්කේ ෆස්ට් එකේම පමණි. ඇල්ලක ශබ්දය දෙසවන් පුරවයි. දෙපසම මීදුමින් පිරෙයි. 














සෞන්දර්ය පරයා කිසියම් බියක් චකිතයක් දැනෙමින් පවතී. බයික් එක හිටියොත්.. තෙල් ඉවර වුණොත්... රළු ගමනකට කිසිසේත් ඔරොත්තු නොදෙන ඩිස්කවරියට පැවරී ඇත්තේ ෆොක්ස් හිල් ගමනක් ය. ආපහු මා දියතලාවට එක්ක ගියොත් මා නුඹට ‘‘අජානේය’’ නම දෙමි. ‘‘කොයි තරම් බාධක පැමිණියද, දෙපයක් සිඳුණ ද ඉතුරු දෙපයින් හෝ තමාට පැවරූ ගමනාන්තයට ගොස් ජයග‍්‍රහණය අත්කර දෙන අශ්වයාට’’ ය අජානේය අශ්වයා ලෙස මට මතක හැටියට උම්මග්ග ජාතකයේ ගැටපද විවරණයේ සඳහන් වූයේ. පසු කලෙක රත්න ශ‍්‍රී විජේසිංහයෝ එයින් ඉස්කූටරයට ද පණ පෙවූහ. ඒ ‘‘අජානේය ඉස්කූටර් තුරගා පිට වඩිනා’’ ලෙසිනි. 

කොයි තරම් දුෂ්කර වුව ද මඟ දෙපස ම එක යායට සෞන්දර්ය වනා තිබේ. එහෙත් භීභත්ස්‍ය රසය නොඅඩුව ලැබෙන මේ තනිකඩ ගමනට අනෙක් රස භාව විඳින්නට අවසර නැතුවා සේ ය. හදිසියේ මනුස්ස පුළුටක් හමු විය. සිංහල බිඳක්වත් නොදත් ඔහුගෙන් කොංජම් කොංජම් දෙමළෙන් ‘‘ ඔහිය එංගේ’’ විමසීමි. අත ඔසවා පෙන්වූ ‘‘අංගේ මේලෙයි පාරෙන්‘‘ එන්නට මට යළි හැරෙන්නට සිදු විය. 
එහෙත් මේ මග මෙතෙක් ආ මග මෙන් දෙතුන් ගුණයක්ම දුෂ්කරය. කොයි තරම් දුර ආවද කෙළවරක් පේන්නේම නැත. දෙපස තේ වතුය. මීටර තුන හතරක දුරක්වත් නොපෙනෙන තරමට මීදුම ය. ප‍්‍රාණියෙක් පෙනෙන්නවත් නැත. නැවත මට මා පමණක් වී ඇත. එක් වරම මට දෙමළ චිත‍්‍රපටයක් සිහිපත් වෙයි. මේ වගේම මෝටර් සයිකලෙන් යද්දී පාළු පාරක හමුවන මිනිසාගේන් ඔහු මග විමසයි. මගියා ද පාර කියයි. එහෙත් එය සැලසුමකි. ඔහු යවා ඇත්තේ මංකොල්ලකරුවන්ගේ තිප්පොළටය. බයිසිකලයත් කොල්ලාත් මංකොල්ල කන්නට ය. මගේ ඇඟ කීරි ගැසී යයි. මේ මඟ කෙළවර වන හැටියක් ද නොපෙනේ. වංගු ගනිමින් යන්නේ ම කන්දටය. මේ මගේ අවසන් ගමන විය යුතු ය. තව ටිකකින් කඩු පොලූ ගත් මරණය ඊළග වංගුවෙන් මතු වනු ඇත. චිත‍්‍රපටයේ නම් පාර අසා තිබුණේ විජේ ය. ඔහු වීරයා නිසා එක අතින් ම මංකොල්ලකරුවන්ගේ ඇට කටු කුඩු කර දැම්මේ ය. එහෙත් මේ මිටිම මිටි, කැතම කැත, බයම බය මං... අවසානයට පෙර කාට හෝ මේ බව කිව යුතු ය. එහෙත් සිම් වැඩ නොකරයි. එකක පමණක් එක කණුවක් ඇවිත් යයි. මම ඇයට ගතිමි. එහෙත් ප‍්‍රතිචාර නැත. දැන් මට මා ද නැත. මට යළි හැරෙන්නට සිත් වෙයි. එහෙත් ආ මඟ පල්ලම ය. රොබින් හුඞ් අවසාන කොටසේ රොබින් කන්දට නැගුණ පසු සෙබළුන් පිරිස දික් දුනු ගෙන සූදානම් ව සිටින සේ කඳු පල්ලමේ මීදුම් පටල තුළ සැගවී මරණයද අවි අමෝරා ගෙන සිටිනු ඇත. 





මේ ලෝකයේ තිබෙන අන්ත දුෂ්කර ම මාර්ගයේ කිලෝමීටර් දහයක පමණ දුරක් ගෙවුණු තැන මට මෙතෙක් දැනුණ ඉහළම සතුට තාර පාරක් ලෙස මා ඉදිරියේ ප‍්‍රාදුර්භූත විය. මහ මුහුදේ කුණාටුවකට හසු ව සති ගණනක් පීඩා විඳ හදිසියේ ගොඩබිමක් දුටු නැවියකුගේ ය දැන් මා සිත. කොහේදෝ සිට එන කාපට් පාරට වැටුණ මට එහි වග වාසගම් සොයන්නට වුවමනා නොවේ. දියතලාව පැත්තට ඔහේ පදිමි. විනාඩි විස්සකින් පමණ ඔහිය කියා ගසා ගත් පුවරුව ද ඉනික්බිති ඔහිය ඉස්ටේසම ද ඉන් එතෙර වූ පසු බොරලන්දට, වැලිමඩට යන බස් ද දක්නට තිබේ. දැන් බිය විය යුතු නැත. ඔහියෙන් බොරලන්ද, කිරින්ද, හිරාගේ යාළුවාගේ ගෙදර පාර, දියතලාව හමුදා කෑම්ප් එක මැදින් විත් කිලෝමීටර් හැත්තෑ දෙකක්  තරම් කෙටි වූත්, අතිශය ත‍්‍රාසජනක වූත්, සුන්දර වූත් පැය හතරහමාරක ගමන අවසන් කර යළි දියතලාවට පැමිණියෙමි. 











අවවාදයයි- මේ මගෙහි ඔබ යන්නට සිතනවා නම් කිසි විට තනිව නොයන්න. රළු ගමනකට ඔරොත්තු දෙන වාහනයක් තෝරා ගන්න. ඔබ ඔෆිස් යන මෝටර් සයිකලය නම් කිසිසේත් ම මෙයට සුදුසු නැත.

ගැමුණු පී. දසනායක
2014-10