Wednesday, September 28, 2016

කෙටි කතාවක්ම නොවේ........

     හුඟ කාලෙකින් ඊයේ ගෙදර ගියේ. මොනරාගලට රෑ 11.30ට දෙහිඅත්තකණ්ඩියෙන් එන බස් එකේ ඇවිත් ගාල්ලෙන් බහිද්දි පාන්දර 4.30යි. වැඩට යන අය ගෙදරින් පිටත් වෙන වෙලාවට මම ගෙදර යන්න ඇවිත්. කොහොම නමුත් මේක තමයි හොඳම විදිය ගෙදර එන්න මට. හුළංදාව පහුවෙද්දි ම ඇහැ පියවුණා. දෙවුන්දරදි ටිකකට ඇහැරුණා මතකයි. කෙළින්ම ගාල්ලෙ. ස්ටෑන්ඞ් එකේ ගමට යන බද්දෙගම බස් එකත් මං නැග්ග ගමන් ස්ටාර්ට් කළා. හරියට මං එනකන් හිටිය වගේ. මීපාවල හයේ කණුවෙන් බහිද්දි හුඟක් හිටියා අහසේ තරු. කෙට්ටු හඳ තීරුව කොන්ද නමාගෙන ඈතින් බලා ඉන්නව. පාළොස්වක ගෙවිලා දවස් හත අටක් අදට. මට ආත්තම්මා මතක් වුණා. ඉස්සර ආත්තම්මා පෝයට සිල් ගත්තාම ඇඳිරි වෙලා අපි යනව ඈ එක්කන් එන්න. එද්දි රෑ වෙලා. අපේ තනියට හඳ හිටියා. එයා පොඩි අපේ පස්සෙන් ම ආවා ටෝච් එක ගහගෙන. රැහැයියො අත් දෙකෙන් බෙර ගගහ සිංදු කිව්ව අපට ඇහෙන්න. 
         වෙල් පහු කරන් ඇවිත් මහ පාරෙන් මුලනහේනට හැරෙද්දි අලුත හදපු බුදු මැදුර ලයිට් පත්තු කරගෙන නිහඬ බණක් කියනව. එතැනින් පස්සෙ දිගටම අඳුරේ ගිලිලා. පාරද වෙලද කියල හඳුනන්නත් බෑ. වම් පැත්තෙ ඉස්කෝලෙ කන්ද මුඳුනෙ අවතාර හිටන් ඉන්නව වගේ. ඒත් දැන් මං උන්ට බය නෑ. ජීවිතේ හුඟක් අවතාරවලට මුහුණ දීපු කෙනෙක් මං. මට මතකයි දවසක් මේ ඉස්කෝලෙ කන්දෙ අපි සරුංගල් යවද්දි සරුංගලේ කඩාගෙන ගියා. අපි පස්සෙන් දිව්වා. කන්දෙන් බැහැල එද්දි සරුංගලේ පහළ වෙලට බාලා තිබුණා. මගේ කකුලෙ කම්බි කට්ටකුත් ඇනුණ එදා. කකුලෙ විතරක් නොවේ. මගේ හදවතේ කට්ටක් ඇනුණෙත් මේ පිටවානෙදිමයි. ඒත් ඒක එයා දන්නෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවට වෙනකන් දැන් තාර දාලා. හතරමං හන්දියේ ඉඳන් තැනින් තැන ලයිටුත් දාලා. ගෙදෙට්ට මිටර් සීයක් විතර කිට්ටුවට එද්දි ම ටැබියාගේ පළමු වෙඩි මුරය පත්තු වුණා. ඊට පස්සෙ බලු රැළම එකා මෙන් බුරන්නට පටන් ගත්ත. ටැබී කියල කියවුණේ ඇත්තට ම බයට. එච්චරයි. මා වටකරගත්ත ටැබියාගේ පිරිස මා පිළිගත්තෙ කටින් අමුතු සද්ද දාමින් මගේ කමිසය කලිසම පුරාම ඇඟිලි සීල් තියමින්. අවේලාවේ නොකියාම ඒම ගැන ගෙදර අයට තිබුණෙ නොක්කාඩුවක්. ඒත් ඒක හරි සොඳුරු, ළෙංගතු නොක්කාඩුවක්.

                                                  ........

           ගෙදර ඕන නැති අයින් කරන බඩු දාල තියෙන ගබඩා කාමරේට ගියේ මාස ගාණකින්. පොඩි වැඩකට ලෑලි කෑල්ලක් හොයා ගන්න ලී ගොඩ අදිද්දි මගේ පපුව හෝස් ගාලා ගියා. මගේ ආදරණීයයන් පිරිසම කාඩ්බෝඩ් පෙට්ටියක දාලා පැත්තකට විසි කරලා. දූවිලි නාල. 



මට හිතා ගන්න බෑ කවුද මේ අසමජ්ජාති වැඩේ කළේ කියල. පොඩි නංගිලු ඒව ගෙනත් දැම්ම කියන්නෙ. එයාගෙ ඔෆිස් එකේ ක්‍රියාත්මක වෙන ෆයි එස් සංකල්පෙ අනුවලු ගෙදරත් අනවශ්‍ය බඩු මේ විදියට දොට්ට දැම්මෙ. මට කුණුහරුප වැලක් කටට ආවා. ඒත් කිව්වෙ නෑ. අපේ ඔෆිස් එකෙත් ඕකමයි වෙන්නෙ. තනිකර බොරුව. බෝඩ් ලෑලි ටිකක් විතරක් ගහගෙන. ඒවට වෙනම ස්ටාෆ් තියාගෙන. මීටින් තියල ඒවට වෙනම ප්‍රතිපාදන වෙන්කරගෙන. නිරපරාදෙ සල්ලි. ඒ සංකල්ප ක්‍රියාත්මක කරන්න කළින් ආයතනයේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕන. ස්ටාෆ් ප්‍රශ්න එහෙමමයි. ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් විසඳන්න අවුරුදු ගණන් යනව. වැඩිහරියක් විසඳෙන්නෙම නෑ. බොරුව විතරයි ප්‍රදර්ශනේට. 
                මේ සිංදු හොයා ගත්තෙ හරිම කට්ටක් කාල එදා. අද වගේ සිංදුවෙ නම ගහල සර්ච් කීවාම සිංදුව ආවෙ නෑ එදා. එක සිංදුවක් වෙනුවෙන් හැතැප්ම තිහ හතලිහ පදින්න ඇති. ඒ නිසාම ඒකෙ අගයත් වැඩියි. අද උන්ට ඒ දේවල් ඇඟිලි තුඩග. ඒත් මේ සමහර සිංදු අදටත් සර්ච් එංජින්වලවත් නෑ. කපුගේගේ කම්පන කැසට් එකේ කුකුළාපොළ කිරි අම්මියෙ කියන දරුවන්ගේ ගීතය එක අඩවියකවත් නෑ. ඉස්සර අපට ඕන සිංදු ගබඩා කරන්න අද වගේ ලේසියට පහසුවට තැටි පෙන් ඩ්රයිව් තිබ්බෙ නෑ. සිංදු ලිස්ට් එකත් ලියාගෙන TDK, SONY, LG 90, 60 එම්ප්ටි පීස් එකකුත් අරන් යන්න ඕන රැකෝඩ් බාර් එකට. ගාල්ලෙ තිබුණ ආරාධනා, කළුවැල්ලෙ විමල් වගේ රැකෝඩ් බාර් කිහිපයක්. ඒත් මහජන පොළේ සරත් අයිය විශේෂයි. එයා වැඩට ආවෙ කවසාකි බයික් එකකින්. මූණෙ අනන්‍ය ලක්ෂණය එළු රැවුල. එයා ළඟ තිබ්බ මහ පරණ එකතුවක්. කපුගේගෙ එහෙම අහපු නැති පරණ සිංදු එයා ළඟ තිබුණ. තිබුණ විතරක් නෙවෙයි. අපි කිව්වොත් කොහොම හරි හොයල ගහල දෙනව. සමහර විට දවස් ගාණක් යනව. මං සමහර වෙලාවට සිංදු ගහනකන් වාඩිවෙලා බලන් ඉන්නව. ඒක හරි විනොදජනකයි. මුළු පොළටම ඇහෙන්න බෆල්වලින් මං කැමති සිංදුව ප්‍රචාරය වෙනව. සරත් අයිය සවුන්ඩ් ඉංජිනියර් වගේ ඒවල කොලිටි හදනව. එක සිංදුවක් ඉවර වෙද්දි ඒක නවත්තල ඊළඟ එක දානව. අපි සල්ලි දීල ඒක අරන් එනව. ඒත් ඔක්කොම ගහන් ගියා සුනාමියට. අපරාදෙ ඒ දුර්ලභ සිංදු ටික. මං හිතුවෙ සරත් අයියත් යන්න ඇති කියල. ඒත් මං දැක්ක පස්සෙ දවසක එයා බයික් එකේ යනව ටවුන් එකේ. හරි සතුටක් දැනුනෙ. දැන් ඔහු මාර්කට් එක ළඟ සී.ඩී. කඩයක් කරනව මං හිතන්නෙ. රත්න ශ්‍රීලගෙ කපුගේලගෙ සිංදු අහපු අපිත් බැරි බැරි ගාතෙ සිංදු ලිව්ව. ලියල පොතකුත් ගැහුව. 


               ඉතින් ඒ රත්නශ්‍රීලගෙ පොත්වල තිබ්බ දුර්ලභ රචනාවල සිංදු හොයා දීල අපට සිංදු අහන්න, ලියන්න පාර කියපු සරත් අයියාටත් ඒ ගෞරවයෙන් කොටහක් නොදී කොහොමද? මං මගේ හිතමිත්‍රයින් ටික ගෙනාව කාමරේ ඇඳ උඩට. දූවිලි පිසදාල මකුළුදැල් අයින් කරල ගත්ත. අපේ ගෙදරට අන්තිමටම ගෙනාපු කැසට් යන්ත්‍රයත් පැත්තකට විසි කරල තිබිල හොයා ගත්ත. 


ඒකෙ එක පැත්තක් වැඩ කරන්නෑ. හෙඩ් එක සුද්ද කළා. ඒ දවස්වල කැසට් පටි ප්ලේ වෙද්දි සමහර වෙලාවට පටි හිරවෙනව. නැත්නම් සද්දෙ වෙනස් වෙනව. ඉතින් අපි කරන්නෙ සෙන්ට් ටිකක් පුළුන් කෑල්ලක ගාලා හෙඩ් එක සුද්ද කරන එක. ඒක නිවැරදි ක්‍රමය නොවුණත් වැඩේ හරියනව. නංගිලගෙ සෙන්ට් හොරෙන් අරන් කොච්චර නම් බැණුම් අහල ඇතිද. අදත් ඒ විදියට හෙඩ් එක සුද්ද කරල කැසට් පටියක් දාල බැලුව. වැඩ. ඉදිරි කාලෙදි බොහෝ දිගු අතීතයක් දිගහැරෙන බවට මට විශ්වාස ය. මං කැසට් පටි ටික මගේ අල්මාරියට ගෙනැවිත් දමා ඉතා අපහසුවෙන් අඩුක් කොට යතුරු දැම්ම. කාටවත් අගේ නැති මේව ආයෙ දවසක මොනරාගල යද්දි ගෙනිහින් මගේ ළඟින්ම තියාගන්න ඕන. කොහොමටත් තව අවුරුදු විස්සක්, විසිපහක් විතරනේ..... ඒ කිව්වෙ ගිය විසිහතරට මට තිස්නවයයි. පුදුමෙ මං කොච්චර කිව්වත් මට තිස්නවයයි කියල අපි එක්ක වැඩ කරන අය ඒක පිළිනොගැනීම. තට්ටෙ පෑදිලත්, කොණ්ඩෙ සුදු වෙලා තිබුණත් ඒ අය ඒක පිළිගන්නෙ නෑ. කවදක හරි පිළිගත්තත් ඒකට හේතු වෙච්ච දේවල් නම් කොහොමටවත් පිළිගන්න එකක් නෑ. 

නවය නපුරුයි. 
හතලිහ අඳුරුයි.. 
මං දැන් නපුරේ සිට අඳුරට ගමන් කරන්නෙක්. 

         අම්ම කිව්වෙත් මට සෙනසුරු දසාවක් ලබල කියල. ඉතින් අම්මයි නංගියි ඇරුණම කවුරුත් 39 ට සුබ පැතුවෙ නෑ. සුබ පතන්න ඒ ගැන දන්නෙ නෑනේ කවුරුවත්. අනික දැන ගත්තත් අපේ වැඩ කරන තැන නම් කවුරුවත් මට සුබ පතන්නෑ කියල දන්නව හොඳ හිතින්. එතන ඔක්කොම මා එක්ක අමනාප වුණා. ඒක මගේ හදිසි කෝපය කියල මා විසින්ම නිදහසට හේතු දෙන්න හැදුවත් ඒ කෝපය සහේතුකයි. අසාධාරණයට එරෙහි නොවීමෙන් අප රාජකාරියට කරන්නේ වංචාවක්. ඉතින් සාධාරණය වෙනුවෙන් කළ රාජකාරියට කවුරු හරි තරහ වෙනවනම් ඒක මගේ වරද නොවේ. එවන් මිතුරන්ගෙන් මට කම් නැත. ඈත් වන්න. සැබෑ මිතුරනි කමත්වා.

                මගේ සැබෑ මිත්‍රයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරල මං බැලුව තව මොනාද විසි කරල දාලා තියෙන්නෙ කියල. මං දැක්ක අපට ගෙනා පළවෙනි ටී.වී. එක. 


ඒක නම් කැඩිල පාවිච්චි කරන්න බැරි තත්වයේ තිබුණෙ. ඒ වුණත් ඒකත් සිහිවටනයක්. අද LG බ්‍රෑන්ඩ් එක එදා ආවෙ ගෝල්ස්ටාර් කියල. අනික මේක කළු සුදු, VHF විතරයි. UHF ලංකාවට ආවාම මං සිප්නැණෙන් බලාගෙන කන්වර්ටරයක් හදල තමයි සිරස බැලුවෙ. ඉස්සරම තිබ්බෙත් චැනල් තුනයි. ජාතිකයි, අයි.ටී.එනුයි., ටී.එන්.එලුයි. විදුසරෙන් බලාගෙන V=Fλ වලට අනුව තරංග ආයාම අරගෙන ඒකෙ බාගෙට ඇන්ටනාවෙ කූරෙ දිග ගත්තම ටී.එන්.එල්. එකට අඩි අටක එල් පටියක් ඕන වුණා. අපි ඒවත් වහල උඩට ගෙනිහින් නේද අහක බලන් යන තරංග අල්ල ගත්තෙ කියල මතක් වෙද්දිත් පුදුමයි. අද වෙද්දි ඒ ඔක්කොම සල්ලිවලටනෙ. කිසි මහන්සියක් නැතුව ඩයලොග්ලට හරි එස්.එල්.ටී. ලට හරි සල්ලි දුන්නම තරංග අල්ලල බැඳලම දෙනවනෙ. ඉතින් එදා අපිම හදා ගත්තු ඇන්ටනාවලට රෑට තිබ්බ මොහොරා, ඩර්, සාජන්, දිල් වගේ හිංදි ෂෝ බලද්දි අපටම අපි වීරයො වෙන එක පුදුමයක්ද?

              මං හදපු රේඩියෝ එක කොහෙද කියල මං හැම තැනම බැලුව. නෑ පේන්නවත් නෑ. ඒක ගබඩා කාමරෙනුත් එපිටට ගිහින් වගේ. මට මුලින්ම කරන්ට් ගැජට් ගැන කියා දුන්නෙ අපේ හිච්චි මාමා. ටෝර්ච් බල්බ් එකේ පස්ස පැත්ත ලාම්පුවේ නිල් දැල්ලෙන් රත් කරද්දි ඊයම් උණු වෙද්දි එතනට වයර් කෑල්ලක් තියල ටිකක් වෙලා ගියාම ඒක ඇලිල තියෙනව කියල පෙන්නුවෙ ඔහු. බල්බ් එකේ වටේට වයර් රවුමක් ඔතල ඒ කම්බි දෙක පූස් බැටරි කෑල්ලක ගහපු යතුරු කටු දෙකකට සෙට් කළාම අතින් නොඅල්ලා බල්බ් එක පත්තු කෙරුවා. අපේ ගෙයි මිදුලෙ තොරණක් ගහල පොඩි මෝටරයක් ගෙනල්ලා බුදුරැස් වළල්ලක් කරකවන හැටි පෙන්නුවෙත් ඔහු. ඒ නිසාමයි මම ඔහුට මගේ කවි පොතකුත් සමර්පණය කරන්නේ මෙහෙම.

“ඇන්ද චිත්‍ර වෙසක් කාඩ් 
බිම අතුරන් පුංචි එකෙක් 
උසට උසේ දුටු සිහිනය 
තොරණක් කොට ඔහුගෙ හෙටට
පිරිනැමු නිර්මාණකාරයෙක් 
ඉන්නව මගෙ මතකයෙ
කිසිදා නො ඇසූ ගීයක
තනුවක් ගායනා කරන
        
පුදමි මේ පොත
හිච්චි මාමාට”
(පොද වැස්ස ගැන ගීය-2008)



                    ඊට පස්සෙ නිරෝෂ් ඉස්කෝලෙට ගෙනාපු නිවෙන පත්තුවෙන එල්.ඊ.ඩී. සර්කිට් එක හදා ගන්න මං ගත්ත මහ වෙහෙස. කොහොම හරි අන්තිමේ හැදුව. ඊට පස්සෙ සර්කිට් කීයක් නම් හැදුවාද. කීයක් වැරදුණාද. තාත්තත් පුළු පුළුවන් හැටියට ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් ගෙනත් දුන්න බටගන්විලින්. එදාට තාත්තා එනකන් බලන් හිටියෙ බොහොම අමාරුවෙන්. තාත්තා වැඩ ඇරිල පුස්බයිසිකලෙන් එන දර්ශනය නෙතට උළෙලක්මයි. ඒ සර්කිට් හැදිල්ලෙ පරිපාකය නවය වසරෙ තාක්ෂණයට රේඩියෝ වැඩ තෝරා ගැනීම. විමලසේන සර් තියරිවලට උගන්නපු විදියට ෆෙරයිට් කොයිල් එකයි, ඩයෝඞ් එකයි, ටියුනින් කන්ඩෙන්සරෙනුයි විතරක් රේඩියෝව ඇහුණෙ නෑ. පස්සෙ කෝදාගොඩ අයියගෙ කුමාරසිංහ රේඩියෝ පොතේ විදියට LA 4100 4102 අයි.සී. එක දාලා ගහපු ඈම්ප් එකට සෙට් කරල මං මුල්ම වතාවට හපුගලින් විකාශය කළ රුහුණු සේවය සාලෙට ගෙන්න ගත්තා. එදා මට දැනුණු සතුට ගුග්ලි එල්මෝ මාර්කෝනිටවත් දැනෙන්නට නැතුව ඇති. මං ගේ වටේ දිව්ව ඒක අරගෙන. ඉතින් ඒ සිහිවටන ලංකාවේ ෆයි.එස්. නම් ගිලටීනයට බෙල්ල තබලාය.

             ඒ සියල්ල අතර මගේ ලුමාලා ස්පෝර්ට් බයිසිකලය නම් හුළං ගියත් හේත්තු වෙලා ඉන්නව. 


ඒ බයිසිකලේ මං කොයි තරම් දුරකට එක්ක ගියාද. ඒ මතකමයි මගේ අලුත් කෙටි කතා පොතේ වැස්ස ගැන මගේම පෙරවදෙනෙත් තියෙන්නෙ.

“ගමේ සිට නගරයට එද්දී වැස්ස ද අප පසුපසම පැමිණියේ ය. ශිෂ්‍යත්වය සමත් වූවාට තෑගි ලෙස අම්මලා විසින් තෑගි කරන ලද රතු පාට ඉස්පෝර්ට් බයිසිකලයෙන් විටෙක උසස් පෙළ ටියුෂන් පංතියට ද විටෙක පාසලට ද යන කොලු ගැටයා ධාරාණිපාත වැස්සේ වුවද දකුණතින් බයිසිකලයේ හැඬලය අල්ලාගෙන වම් අතින් කුඩය ඔසවා ගෙන දිගටම පැද්දේ ය. හෝලුවාගොඩ ගැලූ එක් දවසක බයිසිකලයත් සමඟින් ගං වතුරට ගසාගෙන යන්නට හදද්දී සුගතෙ මාමා අප එගොඩ කළේය.”( වැස්සක් කාලෙකින්- 2016)



                   තව බොහෝ දේවල් ඇති අපේ පරණ මතක. ආයෙ ගිය වෙලාවක අතීතය කනිනවාමයි. අතීතයෙන් තොර අනාගතයක් නැත. ෆයි. එස්. නාමයෙන් බොරු කරන, වංචා කරන අක්කලා, නංගිලාද, පාලකයෝ හා පාලිකාවෝද මෙය උගනිත්වා. ඥානය පහළ කොට ගනිත්වා.

ගැමුණු පී. දසනායක


Wednesday, July 6, 2016

මොනරාගල ජීලෝන්- GEELONG MONARAGALA

එළි නොවූ සිහිනයක් - ජීලෝන්

              මොනරාගල ටවුම අතිශය කාර්යබහුලය. දාඩිය මුගුරු දමාගෙන ඔවුහු තම කාර්යයන්හි නියැළෙත්. මේ දිනවල තත්වය උග්‍රය. බොහෝ දිනකින් වැහි කඳුළක් නැත. හිරුට ඕනෑ හැටියට පළාත පුරා සිය අණසක පතුරුවයි. ටවුමේ සිට ඈතට යොමුවන ඇස් දකින කඳු වළල්ල නම් එසේ දාහයෙන් පීඩා විඳින සිත් මඳකට නිවා ලනු ඇත. එතැන කඳු පන්තියකි. කඳු මාලයකි. මරගල නමින් හැඳින්වෙන ඒ කඳු පන්තියේ තැනින් තැනට වග වාසගම් ඇති මුත් ඒ ගැන මා හරි හැටි නොදනිමි. බොහෝ දෙනාගෙන් ඇසුවද මේ ප්‍රදේශයේම ඉපදී හැදී වැඩුණා විණා ඒ ගැන සෙවීමට ඔවුන්ද උනන්දු නොවී ඇති සේය. ඈතින් පෙනෙන කන්ද ජීලෝන් කත්ද බව ඔවුහු මට කියා දුන්හ. ජීලෝන් මොනරාගල හදවතැයි කීවොත් වරද නැත. මොනරාගලට පානීය ජලය සැපයෙන ප්‍රධාන ජල මූලාශ්‍රවල ඇරඹුම එය බැවිනි. 

               ටවුම හරහා යන එන හැම වරම මා සිහිනය අලුත් වෙයි. එය ඉහළ යාමේ නොතිත් ආශාවයැයි හැඳින්වූවොත් වැරදිය. දිගු කලක් තිස්සේ යට යමින් තිබූ සිහිනය ජූලි පළමුවැනිදා එළි විය. ඒ හදිස්සියේය. සවස හතරට පමණ ඇත. යන පාර කියන්නද. දනිමි ඔබ නොඑන බව. එහෙත් කවදා හෝ හිතුණොත් එන්න. අපි යමු ජීලෝන්. 


            මොනරාගල ටවුමේ කොළඹ පැත්තේ සිට එනවිට ඔරලෝසු කණුව ළඟින් දකුණට හැරී පොළ පාර දිගේ දිගටම ගිය විට හමුවන මංසන්ධියෙන් වමට උඩට දිවෙන්නේ ජීලෝන් මාර්ගයයි. එය ජීලොන් කන්දට යන පාරට වඩා එම ගමට යන පාරයි. බොහෝ ඉහළට යන තෙක් කන්දේ මිනිස්සු පදිංචි ව සිටිති. කුමාරවත්ත නමි. මාර්ගය නම් අතිශයින් අබලන්ය. කිහිප තැනක කොන්ක්‍රීට් දමා ඇති මුත් ඒ ඉතා කෙටි දුරකටය. ගල් ගෙඩි ගැලවී ගොසිනි. දෙපස මාරක ප්‍රපාතය. ඉතා සෙමින් පළමු ජියරයේම යා යුතුය. මගේ තුරඟාට නම් මේවා නුපුරුදු නොවේ. බමරකන්දේ සිට ඔහියට ගිය ඌට මේවා මොනවාද? 










               එදා මෙන් නොව මේ මඟ දෙපස බොහෝ ඉහළට යන තෙක් ජනාවාස හමු වෙයි. කන්දේ මැදක් හරියේ අපට ජලය සපයන ජලාපවහන මණ්ඩලයේ ටැංකි හමුවේ. එයට සැපයෙන ජල මාර්ග නම් අද ඉතා දුප්පත්ය. තව දින කිහිපකින් නතර වෙනවා කියන්නා සේය. ඉහළට යන්නට යන්නට පරිසරය වඩා රමණීය වේ. කඳු පල්ලම් අයිනෙන් බෑවුමද සමඟ අංශක එකසුය අසූවේ වංගු ගනිමින්, රබර් යායවල් මැදින් යන මේ ගමන අවදානම් සහගත වුව අතිශය චමත්කාරජනකය.


















               දකුණු පැත්තේ පිහිටි ගල් පොත්ත මතට නැගුණ විට ඈත මොනරාගල දැකිය හැකිය. අර පේන්නේ අලුත් කච්චේරිය යැයි ගම්වැසියෙක් මා දැනුවත් කළේය. 




                     
                         


                                      
                  කිලෝමීටර අටක පමණ කඳු නැග්මේ යළි මඟ දෙකට බෙදේ. එතැන මා නතර වූ විට ඈත සිට මුරකරු දිව ආවේය. “ජිලෝන් කන්දට යන්නෙ මේ පාරෙද”  “ පාර නම් ඕක. ඒත් යන්න නම් වෙන්නෙ පයින්. බයිසිකලේ මෙතන දාලා යන්න. ඒත් අමාරුයි. කටු පඳුරු. දන්න කෙනෙක් එක්ක යන්න. මේ පාර පුංචි මහත්තයාගෙ බංගලාවට. තව පහළ තියෙනව ශශීන්ද්‍ර මහත්තයගෙ බංගලාව. ඒකෙ පළාත් සභාවෙන් අනුමැතිය අරන් නවතින්ට පුළුවන්.” ඔහු බොහේ ඉඟි සැපයුවේය. එහෙත් පසු බැසිය යුතු නැත. මා තුරඟාද ඇදගෙන ඔහුගෙන් සමුගෙන දකුණට පැදවූයෙමි. වැඩි දුරක් යන්නට ලැබුණේ නැත. මඟ හරහා කඳක් වැටී ඇත. එය ඇද දමා හෝ යා යුතුය. එය දිරා ගිය කඳකි. පයින් දෙකක් ඇන්න විට පොතු ගැළවිණි. මම එයට උඩින් තුරඟා පැන්නුවෙමි. 



එහෙත් වැඩි දුර යන්නට වූයේ නැත. මඟක් කියා දෙයක් ඇත්තේම නැත. කටු පඳුරු පමණය. 




               තුරඟා දමා කටු පඳුරු මැඩගෙන යාමට සිත් වුවත් තව ටිකකින් අඳුර වැටෙන බව සිතත්ම ඒ අදහස අතැර දමා යළි හැරුණෙමි. කණගාටුවෙන් වුවද යළි පැමිණීම සහතික කරමින්ය. යළි එන විට තව කෙනෙකු සමඟ ආ යුතුය. එහෙත් බොහෝ අයට රාජකාරී කටයුතුය. කවෙකක් එන්නට එකඟ වූවත් මුඛ්‍යාභිලාශය කොහේ හෝ ගල් පොත්තක් මතට වී දෙකක් දාගෙන බුදියගෙන සිට ආතල් එකක් ගෙන පසුව යළි හැරී යාමය. එහෙත් මේ ඉලක්කය කඳු මුදුනින්ම කෙළවර විය යුතුය. එදා මයුරගිරි කන්ද නගිද්දී ප්‍රභාත් අයියා පෙරමුණ ගත්තේය. එදා අපි රංචුවක්ම ඉස්පිරිතාලෙ ඉස්සරහ කන්ද මුඳුනටම නැග්ගෙමු.

http://gamunupdassanayake.blogspot.com/2016/07/blog-post.html

දැන් ප්‍රභාත් අයියා නැත. මාරු වී ගොසිනි. එහෙත් ඒ මතක ඒ වාගේමය. ඒ නිසාමය එදා ඔහුගේ සමරුවේ ද මෙසේ සටහන් වන්නට ඇත්තේ.



              “ හිරු තබා පැත්තකින් ටිකකට 
                 යහළුවෙක් වෙන්නටත් පුළුවනි
                    මරගල කන්දේ මුඳුන් ම තැනකත්
                    අපේ මතකයෙ මඟ ලකුණු ඇති”



කිසිවෙක් නැතිනම් තනිව හෝ මේ ගමන යමි. ඔබත් එනවාද? එනවනම් යමු....

ගැමුණු පී. දසනායක

2016-07- දින යාමට තව ඉතිරි වූ ගමනක්

මොනරාගලින් මයුරගිරියට- MONARAGALA MAYURAGIRI

මොනරාගලින් මයුරගිරියට

   ලේ බැංකුවේ ඉදිරිපස කවුළුවෙන් පෙනෙන දසුන අතිශයින් චමත්කාරජනකය. මරගල කඳුවැටිය යනුවෙන් ඒ සෞන්දර්යය නම් කර ඇත. අපට පෙනෙන ඒ උසම කන්ද මයුරගිරි කන්ද වන්නට ඇත. යෝධයකු සේ නැඟී සිටින දැවැන්ත පාෂාණය බැලුම් ගලයි. අපේ ඉලක්කය මේ පෙනෙන බැලුම් ගලේ මුදුන්ම තැනයි. 


       ගමනට පෙරමුණ ගත්තෝ ප්‍රභාත් අයියාත් බුද්ධිනී අක්කාත්ය. දුමින්ද මහතාත්, ඔහුගේ දුව, පුතා හා බිරිඳත් අප හා කඳු තරණයට එක් වූහ. ඊයේ බදුලු ගිය ලුෂාන්ත ඇතුළු පිරිස ළඟ ළඟම එන බව අපට දැන්වුවත් අප උදෑසනින්ම පිටත් වූයෙමු. මොනරාගල රෝහලේ සිට කිලෝමීටරයක් පමණ ගිය විට වැලියාය ඉස්කෝලේ ඉදිරියෙන් පිවිසුම් මාර්ගයයි. වාහන යා හැක්කේ මෙතැන දක්වා පමණි. සියලු බඩු මලු ඔසවාගෙන පයින් ගමන ඇරඹිය යුතුය. මොනරාගල පොතුවිල් ප්‍රධාන මාර්ගය අයිනේම මඟ පෙන්වීමේ පුවරුවක් අපට මඟ කියයි. තව මීටර් හත්සිය පනහකින් මොනරාගල රජමහා විහාරයට යා හැකි බව ඉන් පැවසේ. මිත්‍රවරුනි මතක තබා ගන්න. ඒ විහාරයටය. අපේ ගමනාන්තය තව උඩටය. 


          මහ පාරේ සිට විහාරයට දිවෙන මඟ ගල් තලා මතින් දිවෙන්නකි. එහි ගමන් පහසුව පිණිස පඩි පේළි තනා ඇත. අතරමඟදී වැලියාය විවේකාරාම මෙහෙණි ආරාමය හමුවේ. කදිම නිස්කලංක පරිසරයකි. 






     මොනරාගල රජ මහා විහාරයේදී අපට විහාරාධිපති ස්වාමීන් වහන්සේගෙන් බොහෝ දේ දැන ගන්නට ලැබිණි. මෙම විහාර සංකීර්ණයට ප්‍රධාන වශයෙන් මයුරගිරි හා අමරගිරි වශයෙන් ලෙන් විහාර දෙකක් අයත් වන බව උන් වහන්සේ පැවසුවා මතු නොව එම විහාර භූමියේ සැලැස්ම එතැන පුවරුවක ද එල්ලා ඇත. 

       ක්‍රි.ව. හයවන සියවසේ මහානාග රජතුමා විසින් කළ මෙම ලෙන් විහාරයේ සුගලා දේවිය සහ පරාක්‍රමබාහු රජතුමා අතර සටන් පවතින අවස්ථාවල දළදාව තැන්පත් කර තිබූ බව පැවසේ.

                             
                                 















               විහාර භූමියේ සිට කන්දට යන ගමන දුෂ්කරය. කැලෑ මඟකි. එහෙත් අඩි පාරක ලකුණු ඇත. අපට මුලදීම වැරදී තිබිණි. ඉතා ශීඝ්‍ර නැග්මක් ඇති පර්වතයට අප ඉතා අපහසුවෙන් ඇඟපතද සූරාගෙන නැඟ තිබිණි. එහෙත් ඊට වඩා ලෙහෙසි මඟක් පර්වතය අයිනෙන් වැටී ඇත. 








           ගල් මුල් මතින් ඇවිද ආ දුෂ්කර අඩි පාර කෙළවර වන්නේ බැලුම් ගල පාමුලෙනි. පර්වතය මුඳුනට යන්නට ගලේ පඩි කොටා ඇත. දුරින් දුරිනි. 





           
             එය ගලේ මුඳුන මතු නොව සෞන්දර්යයේද පරිපාකයයි. මෑතින් අසල්වැසි පර්වතයන්ය. ඈතින් වටේටම මාලයක් සේ සැකසුන කඳු පන්තීන්ය. 

           මොනරාගල කුහුඹුවන් බවට පත් වී ඇත. කුරා කුහුඹු මොනරාගල-පොතුවිල් පාර මෑතින්ම පෙනේ. එහි කාර් බස් කුහුඹුවන් මෙන් ඇදේ. 




















        අපේ මාළිගාව අප නොහඳුනන්නේ කෙසේද. 




               අපි ඔවුන් අමතමු. පියවි ඇසට නොපෙනුනත් චමිලා මිසුත්, කරූ මිසුත්, ශ්‍රීමාලි නංගීත් ලේ බැංකු කවුළුවෙන් කඳු මුඳුන දෙස බලා සිටිනු මගේ කැමරා කාචය අපට පෙන්නුවේය. දුරකතනයකුත්, දුරදක්නයකුත් එලෙස අපට අප සමීප කළේය. අප කූඹියන් මෙන් පේනවායයි ඔවුහු අපට කීහ. 

               වෙලාව යනු නොදැනේ. වට අවට එකම සෞන්දර්ය යායක් එළා ඇත. දමා යනු කෙලෙසද ඇසක් ඇත්තෙක් මේ බිම. උපතින්ම මොනරාගලට හිමි ව ඇති ‘දුෂ්කර, වියළි’ වාසගම දැමූ එකා ජීවිතේට මෙතැනට නම් ඇවිත් නැති වග නිසැකය. අවු කට්ටෙන් තුවාල වූ සිත් සෞන්දර්යයෙන් සුවපත් වී පාවී යයි. එහෙත් ඈතින් හෙමි හෙමින් කළුවක් පාවී එයි. වැස්සක් කඩා පාත් වන්නට වැඩි වේලා නැත. 


               අප යළි යා යුතුය. ඉතා පරිස්සමින් යළි ගල් පඩි දිගේ බැලුම් ගල බසිමු.




ගැමුණු පී. දසනායක
2015 අගෝස්තු  ගිය ගමනක්