Wednesday, January 14, 2015

ඇතිමලේ - ශ්‍රී යශෝදරා ආරාමය

කටුක බිමෙක වස්සානේ

දියතලාව හැරදා කාෂ්ඨක නුවරකට පැමිණියෙමි. මෙහි අව්ව පවා කට්ට කෛරාටික යැයි මට සිතේ. ගම සුන්දරයි-ගම් වැසියන් අහිංසකයි යන්න උදාන වාක්‍ය සේ සිතේ තැන්පත්ව තිබුණත් කොළඹ පිටකොටුවේ වීදියකදීවත් අත් නොදුටු ගසා කෑම් හතර පහක්ම අත් විඳින්නට සිදු විය. ඒ ඉතින් මිනිස්සුන්ගෙ හැටි, ගමේ වරද නොවෙයි කියා හිත හදා ගත්තත් දැන් මගේ ඇස් වට අවට බලන්නේ සැකයෙනි. එහෙත් දියතලාවේ සීත මීදුම් බිඳිති මුසු සෞම්‍ය සුළඟ තවමත් ඉඳහිට හමනු සිතට දැනෙයි. ඔයා කෑවද, නිඳා ගත්තද කියා අසන තරමේ ළබැඳි බව වියැකී ගොස් තිබුණද එය වියැළුණ ජීවිතයකට දිව ඔසුවක්මය. මේ සියලූ කටුක දුක් දෙබෑ කරගෙන රත්න ශ‍්‍රී විජේසිංහයන්ගේ වස්සානය ඉස්පිරිතාලෙ පිටුපසින් ගලා යන හුලංදා ඔයෙන් මතු වේ. ඉතින් ‘‘ දුෂ්කරය කියා හැර යා යුතුද ජීවිතය- කටු පොකුර සිප ගනිමි හෙට මලක් වනු පිණිස’’



ඇති... මලේ....... ඇතිමලේ

අද අපි ගියා මොබයිල් එකක්. ඒ කියන්නෙ ලේ දන්දීමෙ කඳවුරකට. ඇතිමලේ. සිරිගල ඉඳල යද්දි දකුණු පැත්තෙ මරගල කඳුවැටිය දකින්නට පුළුවන්. ඒක හරි සුන්දර දසුනක්. මොනරාගලට ආභරණයක්. මොනරාගල ගිනි රස්නෙ අව්ව මැද හරිත වර්ණයෙන් ගැවසුන මේ දසුන නම් නෙතට උළෙලක්මය. තව තව මෙවන් හැඩකාරියන් මේ නුවර නැතුවා වෙන්නට බැරිය.

මේ යන පාරෙ තමයි ගලබැද්ද බිසෝපොකුණ තියෙන්නෙත්. තව ඓතිහාසික රජ මහා විහාරත් කීපයක්ම දැක්කා. හිතින් ඒවාට මඟ ලකුණු තිය තිය ආව පස්සෙ දවසක යන්න. සියඹලාණ්ඩුවට යන්න කළින් ඇතිමලේ පාරෙන් හැරුණා. ඇතිමලේ ගැනත් අපේ මිස් කෙනෙක් කිව්ව. නම හැදුණ හැටි. සද්ධාතිස්ස කුමාරය මේ ප‍්‍රදේශයේ දිගටම වගා කළාලූ. දුටු ගැමුණු රජතුමා කිව්වලූ මල්ලිට වගාකළා ඇති මලේ කියල. එහෙමලූ ඇති මලේ පස්සෙ ඇතිමලේ වුණේ. එත් මට නම් හිතුණ මෙහෙමත්. අයිය මලෝ දෙන්න රාජ්‍ය බලලෝභීත්වය වෙනුවෙන් සටන් වැදුණනෙ. එතකොට කිව්වද දන්නෙත් නෑ දැන් අපි ගහ මරා ගත්ත ඇති මලේ කියල. සද්ධාතිස්සගම වගේ නම් තියෙන ගම් මේ පළාතෙ තියෙනව.

අප ගිය තැනට ඇතිමලේ පාරෙන් ආපහු වමට හැරෙන්න  ඕන. ඒක පන්සලක්. යශෝදරා ආරාමය. සිල් මෑණිවරුන්ගෙ ආරාමයක්. මහ පාරෙ ඉඳන් තියෙන හැතැප්ම බාගයක් විතර කැලෑව. ඒත් ඒ මැදින් අලූතක පාරක් හදල තියෙනවා. හරිම නිස්කලංකයි. ගල් පව්වක් මත තමයි විහාරය හදල තියෙන්නෙ.

චෛත්‍යය හදල තියෙන්නෙ චෛත්‍ය ගර්භයට පිවිසෙන්න පුළුවන් විදියට. විහාර ගෙය, බුදු මැදුර අලූතින් හදල තියෙන්නෙ. මේ ආරාමෙ වැඩ ඉන්නෙ සිල් මෑණිවරුන් දෙතුන් දෙනයි. ඉතින් ඒ කැපවීමෙන් පන්සලක් ගොඩ නැගුව කීවාම පුදුමත් හිතෙනව. ගම් වැසියනුත් ආරාමය සමග සමීපයි කියල අපට හිතුණ.  














ගැමුණු පී. දසනායක
2015-01-


Tuesday, January 13, 2015

පූනාගල, පිල්කින්ටන් පොයින්ට්

පූනාගල

අද යන්නෙ මගෙ යාළුවෙක් මුණ ගැහෙන්න. පූනාගල. පූනාගලට යන්න පාරවල් කීපයක් තියෙනව. හපුතලේ පැත්තෙන් නම් බෙරගලට ගිහින් දියළුම ඇල්ල පාරෙ කොස්ලන්දෙන් උඩට ගිහින්... එහෙම නැත්නම් බණ්ඩාරවෙල ඉස්ටේසම ළඟින් උඩට තියෙන පාරෙ ඇවිත්... මතක ඇතිනෙ අපි ලිප්ටන් සීට් ගිහිපු පාර. මං අද යන්නෙත් එ් පාරෙ. ඒ පාරෙ ගියාම එක තැනකදි පාර දෙකට බෙදෙනව. උඩ කාපට් කරපු පාරෙ ගියාම ලිප්ටන් සීට් යතෑකි. පූනාගලට යන්න පල්ලෙහා තාර දමාපු පාරෙන් යන්න  ඕන. කාපට් නැති වුණාට වට අවට ගැන නම් කියන්න වචන නෑ. වංගු වංගු දිගටම. ආපස්සට පහළ බැලූවම පාර පේනව දඟර ගැහුණ පීත්ත පටියක් වගේ. අපි ගූගල් සිතියමක් හැබැහින් දකිනව වගේ. වටේම තේ යායවල්. හීතලම හීතල මඳ සුළඟ ඇඟ වෙළා ගන්නව. අපේ යාළුව හැමදාම වැඩට යන්නෙ මේ පාරෙ. ඉතින් ඔහුගෙ හිතේ මොන තරම් සෞන්දර්යයක් පිරිල ඇත්ද. මාත් මීට කළින් දවසක වැල්ලවායෙ ඉඳන් එද්දි කොස්ලන්දට ඇවිත් මේ පාරෙ ආව. හවස හයට විතර ඇති. ඉර බැහැන් යනව. ඈත බලන්න ලස්සනයි. කැමරාවක් නැති දෑත් මොටද කියල හිතුණ.




දිගටම තියෙන්නෙ තේ වතු. එක එක ඩිවිෂන්වලට බෙදල. මගදි මට හමු වුණා නටබුන්ව ගිය බංගලාවක්, ඒ වගේම සොහොන්. වතුවල ලොක්කන්ගෙ වෙන්න ඇති. මේ වතුවල වැඩි හරියක් දෙමළ අය, වත්තෙ වැඩ කරන. මෙහෙ තියෙනව දෙමළ සිංහල පාසල්. එහෙම තමයි. මේ මිනිස්සු ඉපදෙන්නෙත්, ජීවත් වන්නෙත්, අන්තිමේ මැරෙන්නෙත් මේ තේ වතුවලමයි. තේ දලූ දලූ දාන්නෙ මොවුන්ගෙ කඳුළුයි දාඩියෙනුයි කිව්වොත් මං වැරදි නෑ. 









මඟ එක තැනක් තියෙනව ගල් යායක්. කොහේවත් මං දැකල නෑ. ගල් සුදු පාටින් බතික් කරල වගේ. චිත‍්‍රපටියක පසුබිම් තලයකට කලා අධ්‍යක්ෂ විසින් නිර්මාණය කළා වගේ.


කොහොමින් කොහොම හරි කොංජම් කොංජම් දෙමළෙන් මඟ අසාගෙන මං ආවා අපේ මිත‍්‍රයාගේ රෝහලට. ඒකෙ නිල නාමය පූනාගල ප‍්‍රාදේශීය රෝහල වුණාට මිනිස්සු කියන්නෙ කබරගල ඉස්පිරිතාලෙ කියල. ප‍්‍රාදේශීය රෝහලක් කොයි තරම් දුක් විඳිනවද කියල පේන්නෙ ඒවට ගියාමමයි. ගෑනු ලෙඩ්ඩු බලන්න ගෑනු සාත්තු සේවිකාවක් ඉල්ලල හතර වටේ ම ඉන්න බලධාරීන්, නිලධාරීන් දැනුවත් කළත් තාම නෑලූ. 








මේ ප‍්‍රදේශයටත් වල් අලි එනවාලූ. කඳු බෑවුම් දිගේ තේ පඳුරු අතරින් මේ සද්දන්තයින් එනව කීවාමත් පුදුමය.

පිල්කින්ටන් පොයින්ට්

මෙතැනට හැරෙන ස්ථානය මා එද්දී පසු කර ගෙන ඇවිත් ඇත. එහෙත් ඒ වගක් නිච්චි නැත. අපට ගමනාන්තයට ම යන්නට පාර එළා ඇත. කුඩා මෝටර් රථයකට වුවත් ලෙහෙසියෙන්ම ගමන් කළ හැකිය. එහෙත් වාහන දෙකක් මාරු වීම නම් අසීරුය.

ලිප්ටන් සීට්, බෙරගල තරම් මේ ස්ථානය පරසිදු නැත. එහෙත් එතැන්හි දක්නට නොලැබෙන සෞන්දර්යයක්, චමත්කාරයක් මෙතැන ඇතැයි මට සිතේ. මෙහි පිටු පසින් නැඟී සිටින්නේ තවත් කන්දකි. එහි ඇත්තේ මිලේනියම් පොයින්ට් ය. එයද ලිප්ටන් සීට් මෙන් අංශක තුන්සිය හැටේ නැරඹුම් ලක්ෂයකි. මෙතැනින් ඉහළට ඇරඹෙන තේ වතු මැදින් වූ අබලන් පාරෙන් එයට යා හැකිය.








ජෝර්ජ් පිල්කින්ටන් යනු මෙම වත්තේ පළමු වතු අධ්‍යක්ෂවරයාය. ඔහු සිහි වීමටය මෙතැන මේ නම. මෙතැන සිට අප දකින දර්ශන පරාසය කෙටියෙන් විස්තර කරන ඊතල පුවරුවක් මෙම ස්ථානයේ ඇත. අපට තව ටිකක් පහළට බැසිය හැකිය. එතැන නැරඹීම සඳහාම සෑදූ කුඩා මඩුවකි. ලෑලි පුටුවක ඉඳගෙන සතුටු සාමීචියේ යෙදෙමින් ඈතින් වෙනස් වන චමත්කාරය බලා සිටිනවා තරම් තවත් සැපැක් නැතැයි මේ ඇස් දෙක කියනවා ඇත. ඇසකට ලැබිය හැකි උපරිම වාසනාව මෙතැනදී ලැබේ. එක දසුනක් තත්පර තුන හතරකට වඩා තිබෙන්නෙ නැත. විටෙක මීදුම ඇවිත් මුළු පළාතම වසා ගන්නා අතර තවත් තත්පර කීපයකින් සියලූ මීදුම පහව ගොස් සුපැහැදිළි සිතුවමක් අප ඉදිරියේ තබයි. හදිසියේ වියැකී යන දුහුල් මීදුමතරින් හිරු පායා තිබුණි. අප ඉන්නේ දෙව්ලොවකට යන දොරටුව ළඟදැයි නොසිතුනා නම් පුදුමය. ඈතින් පෙනෙන්නේ වැල්ලවාය ටවුමය. අර පේන්නෙ බස් ස්ටෑන්ඞ් එක. අර ලකාලගෙ ගෙවල් පැත්ත. මා මිත‍්‍රයා අත දිගු කර පෙන්වයි. ලකා, හිරා, තරා අපි කට්ටිය එක් අතීතයක එකම වාට්ටුවක සිරකරුවෝ වීමු. එහෙත් ඒ අතීතය සුන්දරය. මේ මිත‍්‍රත්වයේ ඇරඹුමත් එතැනය. හිරාට මේ දිනවල අධික වැඩය. එබැවින් ඔහු කළින්ම නික්මෙන්නට යෙදුණි.






















පැය බාගයක පමණ නැරඹුමකින් ඉක්බිතිව මුරණ්ඩුකාර දෙපා එසැවුණේ මිලේනියම් පොයින්ට් වෙතය. එහි කිලෝමීටරයක් පමණ දුරක් අතිශය අබලන් වූ මඟක විත් යළි හරවාගෙන එන්නට සිදු විය. ඉතුරු කිලෝමීටරය පසු දිනෙක යනවාමයි යන අදිටනිනි. 







යළි මිතුරාගේ රාජධානියට විත් ඔහුගේ බත් පතින්ම කා යළි දියතලාවට එන්නට හැරුණෙමි.

ගැමුණු පී. දසනායක
2014-10 ගමනක්


ප.ලි.
කොයි තරම් අදිටන් කර ගත්තද මිලේනියම් පොයින්ට් වෙත යන්නට මේ ලියන අද, දෙදාස් පාළොහේ ජනවාරි දහතුන් වෙනිදා වනතුරු නොහැකි විය. මා දියතලාවේ උමංකඳුරේ බෝඩිමේ නතර වී සිට ගිය චාරිකා පෙළ එතැනින් නිමා විය.

සියළු දේ පොදි බැඳ ගෙන ඒ දිය තලාවෙන් නික්මුණෙමි. එහෙත් එක් දෙයක් දමා විත් තිබුණි.

ගැමුණු පී. දසනායක