Sunday, January 11, 2015

හඳපානාගල, යුදගනාව, දෙමට මල් වෙහෙර, මාළිගාවිල

හඳපානාගල

උදෑසනම ඇරඹි ගමනේ පළමු නැවතුම හඳපානාගල වැව. වැල්ලවායේ සිට මාතර දෙසට ගොස් හඳපානාගලින් හැරී තවත් කිලෝමීටර හතරක් ඇතුළට යා යුතුය. එහෙත් මගේ ගමනට ඔය හරස් වෙයි. මම නතර වී බලා සිටිමි. පයින් යන්නෝ සෙරෙප්පු අතට ගෙන ඇඳුම් මඳක් ඔසවා ගෙන ඔයෙන් එගොඩ වෙති. විශාල ඩිපර් රථයක්ද කිසිදු චකිතයකින් තොරව වතුරට බැස ඔයෙන් එතෙර විය. අවුලක් නැත. එතැන සපත්තු පාලමක් විය යුතුය. එගොඩහින් ආ මෝටර් සයිකලයක්ද වතුරේ බැස මෙගොඩ එයි. මගේ චකිතය දුටු ගැමියකු ආ ගිය තොරතුරු විමසයි. ‘‘මෙහෙන් යන්න  ඕන නෑ. අඩවි වන එක ළඟින් පාර තියෙනවානේ. වතුරෙ බහින්න  ඕන නෑ.’’ එහෙත් අලූත් අත්දැකීම ලබා ගත යුතුමය. මමද ඩිස්කවරියා වතුරට බස්සවා ඔයෙන් එතෙර කර ගත්තෙමි. එතැන් සිට කෙළින්ම හඳපානාගලටය. 






හඳපානාගල ගැන මීට කළින් අසා ඇත.

තණමල්විල මල් ගෝමර
පොකුරු පිපෙන්න
හඳපානාගල මුදුනින්
වැවට බහින්න
කන්ද උඩින් ගෝමරියේ
වැවට බහින්න
(රත්න ශ‍්‍රී/සමන් ජයනාත්)

මා තව ටිකකින් දකින්නේ එහෙව් හඳපානාගලය.




මා නතර වූයේ වැඩ බිමකය. ඔවුහු වැවේ වැව් බැම්ම ශක්තිමත් කරනු වස් තවත් බැම්මක් බඳිති. ‘‘උමා ඔය හැදුවාම මේකටත් වතුර පුරවනව. ඒකයි බැම්ම තව ශක්තිමත් කරන්නේ’’. ඔවුහු මා දැනුවත් කළහ. වම් පැත්තෙන් පෙනෙන ගල් පොත්ත මතට නැග්ග විට වැව පෙනෙනවා කියා මට මඟ පෙන්වූයේ ඔවුන්ය. සැබෑවකි.






මම ඉන් නොනැවතී ගල් පර්වතයට නැග එතැනින් වැවට බැස්සෙමි. අතිශය සුන්දර දර්ශනයක්ය ගල් පොත්ත මත සිට මා දකින්නේ. උදේ නවයට පමණ ඇත. හිරු රැසින් වැව් තලය නැහැවේ. ඈතටම දිය පිරී ඇත.



















 දකුණත පැත්තේ මිටි පඳුරු සහිත කැළෑවයි. අලි රංචු පැමිණෙන්නේ ඒ දෙසින් විය යුතුය. උන් නිතර මෙහි එන බව වැව් ඉවුරේ සලකුණු කියා පායි. ඈතින් එක පෙළට කඳුවැටියයි. එහි නම් ගම් මම නොදනිමි. කොකුන්ද තවත් නාඳුනන පක්ෂී වර්ගයන්ද වැව් දිය මතින් පියාසලා යනු මට පෙනෙයි. කොළ පැහැ කුඩා සලබ විශේෂයක්ද වැව් ඉවුරේ රංචු වශයෙන් දැක ගත හැකිය. කාගෙන් තහනමක්ද. මම වැව් ඉවුරේද, ගල් තල මතින්ද ඇවිද යමි. බයක් නොතිබුණාම නොවේ. කොහෙන් හෝ සද්දන්තයන් මතු වන්නටද බැරි කමක් නැත. පැයක හමාරක රැඳීමකින් ඉක්බිතිව මම යළි වැවෙන් ගොඩ වී පිටතට පැමිණියෙමි.
















කණබිසවාරාමය

 වැවට කෙළින්ම මුහුණ ලා විහාරයකි. ඒ ඓතිහාසික කණබිසවාරාම විහාරයයි. දුටුගැමුණු රජුගේ අඳ සහෝදරියක විසින් මේ ආරාමය පූජා කර ඇති බව මා අසා ඇත. අද වන විට එය ගරා වැටුණ තත්වයට පත්ව ඇත. මුළු විහාර භූමිය පුරාම නටබුන් ආදිය දක්නට හැකිය. එතැනින් කෙළින්ම ඉදිරියේ ඇති ගල් පව්ව මතට ඒ පැත්තෙන් නැගුණ කල ගල මත සෑදුණ කුඩා පොකුණු කිහිපයක්ම දැකිය හැකිය.








ආපසු ගමන සපත්තු පාලම හරහා නොවේ. මගින් හැරී එන ඒ මඟ කිසිදු බාධකයකින් තොරව වැල්ලවාය මාර්ගයට වැටේ.
යුධංගනාව

වැල්ලවායට පැමිණ ඉනික්බිති මගේ නැවතුම යුධංගනාවයි. බුත්තල නගරයේ සිට කිලෝමීටර් දෙකක දුරකි. ප‍්‍රධාන පාරෙන් ඇතුළට යා යුතුය. යුධංගනා රජ මහා විහාරය ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් ස්ථානයකි. රාජ්‍ය බලලෝභීත්වය වෙනුවෙන් දුටුගැමුණු හා සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර මහා සංග‍්‍රාමය පැවැතියේ මේ භූමියේය. අද නටබුන් ලෙස ඉතිරිව ඇති චූලාංගනී දාගැබ ඇති තැනදීය.



 පසු කලෙක ඒ පිළිබඳව පසු තැවෙන දුටු ගැමුණු කුමරුන් එය සිහි වීම පිණිස යුධංගනා චෛත්‍යය කරවයි.










එය චූලාංගනී වෙහෙරට මීටර් පන්සියයක් පමණ ඈතින් පිහිටා ඇත. එම චෛත්‍යය පාමුළ කුඩා විහාර ගෙයකි. මහනුවර යුගයට අයත් සිතුවම් එහි දක්නට ලැබේ.





දෙමටමල් විහාරය

යුද්ධයෙන් පැරදුණු සද්ධාතිස්සයන් පසු බැස පලා ගොස් සැඟවෙන්නේ දෙමටමල් විහාරයේය. හාමුදුරුවන්ගේ ඇඳ යටය. ඔහු හඹා එනු දුටු ගැමුණු කුමරුන් ඉදිරියේ රහතන් වහන්සේලා විසින් කඳුවැටියක් මවා ලයි. අද රහතන් කන්ද යනු ඒ කඳුවැටියේ බුත්තල දෙසින් ඇති කොටසයි. සැඟවී සිටින මල්ලී දුටුවත් රහතන් වහන්සේට ඇති ගෞරවය නිසා දුටු ගැමුණු කුමරුන් සොහොයුරාට කිසිත් නොකරයි. මල්ලී දුටු යන අරුතින් එම වෙහෙර දුටු මල් වෙහෙර වී පසුව එය බිඳී දෙමට මල් වෙහෙර වන්නට ඇතැයි විශ්වාසයක් පවතී. එසේම අතීතයේදී මලියදේව මහ රහතන් වහන්සේ විසින් කළ දහම් දෙසුමක් අසා මෙහිදීද සැට නමක් රහත් වූ බව අසන්නට ලැබේ. 















මාළිගාවිල

බුත්තල සිට ඔක්කම්පිටිය පසු කර යන විට අපට මාළිගාවිලට යා හැකිය. එය වැදගත් වන්නේ ආසියාවේ විශාලතම ශෛලමය ප‍්‍රතිමාව විය හැකි හිටි පිළිමය නිසයි. බුදු පිළිමය ඇත්තේ වම් පැත්තේය. දකුණු පැත්තේ දඹේගොඩ බෝසත් පිළිමයයි.













ගැමුණු පී. දසනායක
2014-10- ගමනක් 


3 comments:

  1. ඉතා වටිනා සටහනක්!!!

    ReplyDelete
  2. හඳපානාගල අලි පිලිබඳව සිදුකල සෙවීමකදි අහම්බෙන් මෙහි ආවේ. වැදගත් සටහනක්. අපූරුයි!!!

    ReplyDelete
  3. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යාවක් මම.හදපානාගල මගේ ගම.ඔබ 2014 දුටු හදපානාගල වැවත්, එගොඩ වී ගිය ගඟත් වෙනස් වී බොහෝ කල්.ඔබ නැවත එහි ගියොත් "හදවත එහි ම තබා පැමිනේවි."

    ReplyDelete