Sunday, January 11, 2015

මහියංගනේ

නිදා ගන්න බණ්ඩාරවෙල

හිරුටත් කළින් ඇහැරී ගමන පිටත් වෙමි. දවල් දවසේ අප දකින බණ්ඩාරවෙල නගරය නොවේ මේ. නගරය නිඳිය. හිරු ඇහැරෙන්නේත් දැන් දැන්ය.









බදුල්ලට ගොස් එතැනින් මහියංගනයට යා යුතුය. බදුල්ලේ සිට මහියංගනයට ඇත්තේ අලූත් කාපට් පාරයි. මගදී ඇළ මාර්ගයක් හමු වෙයි. එහෙත් එහි වග වාසගම් නොදනිමි. අප මිත‍්‍ර චමින්ද සහෝදරයා සිටියා නම් මේ බිමේ අඟලක් ගානේ විස්තර කියා දෙනු ඇත. මේ ඔහුගේ ගමය.








ලොග්ගල් ඔය

ඔහු කියා දුන් පරිදි දන්නා අඳුනන දියවරකට මුළින්ම මට හමු වූයේ ලොග්ගල් ඔයයි. වෙලාව උදේ අටට පමණ ඇත. ලොග්ගල් ඔය බැම්ම මතින් කෙළින් දිවෙන කාපට් පාර පීත්ත පටියක් සේය. දකුණු පස ජලාශය මතට හිරු රැස් පතිතව අමුතුම චමත්කාරයක් මවා ලයි. හිරු රැස් මුසු දියවර රැළි නඟයි. ඈත ඉවුරේ කොක්කු රංචුවක් ලැග සිටිති. කන්දෙකැටිය ප‍්‍රදේශයේ පිහිටි මෙම ජලාශය එක්දහස් නවසිය හැත්තෑවේ තරම් අතීතයේ ඉදි කෙරුණක් වන අතර මිරිදිය ධීවර කර්මාන්තයට සහය දෙමින් ඇතැම් ප‍්‍රදේශවාසියකුට ජීවනෝපාය සපයයි.




















මාපාකඩ වැව

ඉන් පසුව පාරේ වම් පස මාපාකඩ වැව දැකිය හැකිය. මේ ප‍්‍රදේශයේ වෙනත් වැව්වලට වඩා මේ වටපිටාව වෙනස් යැයි මට සිතේ. එය තෙත් බිමෙක කඩොලාන පරිසර පද්ධතියක් සිහිපත් කරවයි. හීල් හෙවණෙ ඉඳගෙන ගත සිත විඩා නිවා ගන්නට කදිම ස්ථානයකි.












මහියංගන පුද බිම 

මහියංගනය නගරයේම මහියංගනය යන නාමය හාම බැඳී ඇත්නම් ඒ මහියංගනය පුද බිමයි. මහියංගන කියූ සැනින් අපට වහා සිහිපත් වනුයේද සොළොස්මස්ථානයන්ගෙන් පළමු වැන්නයි. බුද්ධත්වයෙන් නව වන මස දුරුතු පෝයදා බුදුන් වහන්සේ අප ලංකාද්වීපයට වැඩම කොට යක්ෂයින් දමනය කොට ගිරි දිවයිනට පළවා හැර එම භූමිය මනුෂ්‍ය වාසයක් බවට පත් කරවූ සේක. එදා උන් වහන්සේ වැඩ හුන් ස්ථානයේ අද පිහිටි මහියංගන නොහොත් මියුගුණ සෑය බුදුන් වහන්සේගේ කේශ ධාතු නිධන් කොට සුමන දෙව් රදුන් විසින් තනවන ලද්දකි. 





















විහාර ගෙයි සිතුවම් සෝලියස් මෙණ්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් අඳින ලැබ ඇත. තවද එදා මෙදා තුර විවිධ කැනීම්වලින් මතු කර ගත් පුරා විද්‍යාත්මකව ඉතා වටිනා භාණ්ඩ රැසක් මෙහි වෙනමම ඇති කෞතුකාගාරයේ දක්නට ලැබේ.





දුටු ගැමුණු රජු විසින් එවකට මෙම ප‍්‍රදේශයන්ගේ බලය අල්ලාගෙන සිටි දමිළයන් හා මහත් සටනක් කොට උන් පරාජය කරන ලදි. ඉනික්බිති මේ මහියංගන චෛත්‍යයද ප‍්‍රතිසංස්කරණය කළේ යුධ සේනා රැස් කරන ගමන්මය. බුලතා යෝධයා සම්බන්ධ වන්නේද මෙතැනදීය. මෙතැන සිට ඒ කතාව සොරබොර වැව දක්වා දිවේ. එහෙම නම් අපි යමු සොර බොර වැව වෙත.




සොරබොර වැව

 ප‍්‍රධාන පාරෙන් හැරී අතුරු මඟක යා යුතුය. එය කෙළවර වන්නේ සොරබොර වැවෙනි. එහෙත් අප මිතුරු චමින්දයන් පැවසූ පරිදි බයික් එක වැව් බැම්මටම ගෙන යන්නට දැන් ඉඩ නොදේ. කාලය වෙනස් වී ඇත. බයිසිකලය රථ ගාලේ නතර කොට මීටර් පන්සියයක් පමණ පයින් යා යුතුය. දුන්හිඳ දී මෙන් මෙහිද යන මඟ දෙපස විඩා නිවා ගැනීම පිණිස කඩ පොඩි ඇත. ඈතින් එක්වරම දෑසට හසු වන්නේ විසල් ගල් තලාවෙකි. සකසා ඇති ගල් පඩි දිගේ ඒ ගල් තලාවට නඟින විට වැවේ සොරොව්ව දැකිය හැකිය. එය ගලින්ම නිර්මාණය වූවකි. වැව් බැම්මේ සොරොව්ව පසු කර ගල් තලාවට නැග ගත හැකිය. එයට නැග ගත් විට අවට ඉතා විශාල ප‍්‍රදේශයක් දැක ගත හැකිය. ගල් තලෙන් බැස ඇවිත් වැව් බැම්ම දිගේ ඉදිරියට ඇවිදිමි. නම නොදන්නා විසල් ගස්වල සෙවණින් දාහය නිවේ. එසේ නැති නම් මේ අධික තාපය එක දිගට දරා ගැනීම තරමක් අසීරුය. ඈතින් ඈතටම වෑ දිය නිල්ලයි.

























එකවරම ජල කඳ අතුරුදන්ව වට පිටාවම මහ වනාන්තරයෙන් වැසේ. ඒ අතීතයයි. ඒ කැලෑවේ අකුල් පීරාගෙන සද්දන්ත මිනිසකු මතු වෙයි. බුලතා... බුලතා.... මෙයින් ගවු කීපයක් දුරින් කඳවුරු බැඳගෙන මහයංගන සෑය පිළිසකර කරවන දුටු ගැමුණු රජුට බුලත් සැපයූ නිසාම ඔහුට මේ ‘‘කාඩ් එක’’ වැදී තිබුණි. හදිසියේ නතර වන ඔහු බුලත් කද පසෙක තබා වට පිටාව නිරික්සනු මට ඈතින් මැවී පෙනෙන්නා සේය. දෙපස ඇති කඳු දෙක හරහට වැව් බැම්ම බඳින මේ යෝධයා වැව් සොරොව්ව නිර්මාණය කරන්නේ සිය උදැල්ලෙන් කපා දැමුණු ගලෙනි. මා සිටින තැනට අනික් පසින් වූ ගල් තලාවෙන් වතුර බසින්නට පිටවාන නිර්මාණය කරයි. ගහ වැල යට කර ගෙන පිරෙන මහා ජල කඳෙන් මහ වන මැද වැවක් බිහිවෙයි. මේ ඒ වැවයි. මහියංගන සෑය නිම කොට කොත් පළඳවා යළි යාමට සැරසෙන රජුට බුලතා තමා සෑදූ වැව ගැන කියයි. පිරිවර හා මෙහි පැමිණෙන රජුට මෙය ඇදහිය නොහැකි වේ. තම ගෙළ බැඳි මුතුහර ගලවා මේ මහා නිර්මාණකරුවාට පිරිනමයි.















වැවේ පිටවාන ඇති තැන් සිට එගොඩහට සංගිලි පාලමකි. එපිටහ ගම්මානයකි. 







ඉර මුදුන්ව ඇත. ගතට මෙන්ම සිතටද අධික තෙහෙට්ටුවක් දැනෙයි. ආපසු ගමනට සිතම කැමති වෙයි.




දඹානේ

දියතලාවට යන්නට කළින් තවත් යා යුතු තැනක් තිබේ. ‘‘ආ එකේ ඔහුත් බලාගෙන යන්න  ඕන’’ හදිසි තීරණය අනුව යළි හැරුණි. යහළුවාද එහි සිටී. යාමට වැඩි වේලාවක්ද නොයයි. ගමනාන්තය දඹාන. දඹාන ප‍්‍රාදේශීය රෝහල. ටවුමේ සිට පැයකටත් අඩු කාලයකින් ඔහුගේ නිල නිවාසයට යන්නට පුළුවන. ඔහු දඹාන ප‍්‍රාදේශීය රෝහලේ ස්ථාන භාර වෛද්‍යවරයාණන්ය. කලෙකට ඉහත දියතලාවේදී අපේ මිත‍්‍රයාණන්ය. ආ ගිය කතාවෙන් ඉක්බිතිව සප්පායම් වී ඉස්පිරිතාලෙ වටේද පොඩි ‘‘සංචාරයක්’’ දැම්මෙමු. ඔහුගේම යෝජනාවක් අනුව වැදි ගම්මානය බලන්නට යාමට පිටත් වීමු. මෙතෙක් කිසිදා නොගිය තැනකි. අලූත්ම අත්දැකීමක් වනු ඇත. දඹාන මහියංගනය ප‍්‍රධාන පාරෙන් හැරිය යුතුය. මඟ පෙන්වන පුවරුද තිබේ.


 මගේ මිත‍්‍රයා සිය මෝටර් රථය වැදි ගම්මානේ ආදි වාසි කෙනෙකුගේ නිවෙසේ මිදුලටම ගෙනැවිත් නතර කළේය. සෑම දෙනාටම මේ වරප‍්‍රසාද නැත. මේ ඔවුන්ගේ ඉස්පිරිතාල පොජ්ජේ දොස්තර හුරාය. ඔවුන් හොඳින් දන්නා හඳුනන අයෙකි. සංචාරකයන් සිය වාහන ඈතින් නවතා පයින් ආ යුතුය. එහෙත් අවාසනාවක මහත. අද නායකතුමා එනම් තිසාහාමි ඇත්තන් නැතිලූ. ඔහු පන්සලේ පින්කමකට ගොසින්ලූ. ‘‘තිසාහාමි නායකතුමා මස් මාළු කන්නෙ නෑ. දඩයමේ යන්නෙ නෑ. ගස් වැල් කපන්න දෙන්නෑ. අමුතු ප‍්‍රතිපත්තියක් තියෙන්නෙ’’ අප මිත‍්‍රයා විස්තර කරයි. මොවුන්ගේ නිවාස කටු මැටි ගසා ඉලූක් සෙවිලි කර ඇත. ගම හඳුන්වන්නේ කොටබකින නමිනි. අලූත සෑදූ වෙද පියස තාම වැඩ ඇරඹුවේ නැති සෙයකි. කෞතුකාගාරය වනාහී මෙහි ඇති වැදගත්ම ස්ථානයකි. ඉතිහාස ගත තොරතුරු, ඔවුන්ගේ චාරිත‍්‍ර විධි ආදිය මෙන්ම භාවිත කරන උපකරණාදියද මෙහි ප‍්‍රදර්ශනයට තබා ඇත. ඡායාරූප ගැනීම තහනම්ය. ඇල්ලීම තහනම්ය. අප දෙදෙන ඒවා ඇල්ලූවේවත් නැත. දඹානේ ගුණවර්ධනාදීන් විසින් ලියන ලද පත පොත ද එතැන විකිණීමට තබා ඇත.














කළින් නායකතුමාගේ පිළිරුවක් ගම මැද සාදා තිබේ. විඩා නිවා ගැනීම සඳහා බෙලි මල් වතුර ආදිය විකුණන කඩ පොජ්ජක්ද මේ භූමියේ තිබේ.



තිසාහාමි නායක ඇත්තන් නැති වුවත් ඔහුගේ නිවසේ ඔහුගේ මලනුවන් හමු විය. දූ දරු මුනුබුරන් රැසක් සමඟ ඔවුහු ජීවත් වෙති.





ඒ නිවසින් හැතැප්ම කාලක් එපිට පැරණි තිසාහාමිගේ සොහොන පිහිටා තිබේ. කටු වන ළැහැබ් මැදින් අපි එතැනට ගියෙමු. වල් අලි සැරි සැරූ ලකුණුද ඒ මගෙහි නොතිබුණා නොවේ.









වැදි ගම්මානයෙන් සමු ගෙන ප‍්‍රධාන පාරට ඇවිත් වැව් මාළු සමඟ ප‍්‍රණීත දිවා ආහාරයක රස බලා යළි රෝහලට පැමිණියෙමු.







 ඉතාම රසවත් වූ ගමනක් අවසන් කොට යළි දියතලාවට එන්නට ආවෙමි. ඉතින් නාත් සහෝදරය, ස්තූතියි... වෙනත් කෙනෙකුට නොලැබෙන ආකාරයේ අත්දැකීමක් මට ලබා දුන්නාට. අපි ආයෙත් හමු වෙමු...

ගැමුණු පී. දසනායක
2014-10- ගමනක්


No comments:

Post a Comment