Sunday, January 11, 2015

මඩොල්සිම- පුංචි ලෝකාන්තය

පුංචි ලෝකාන්තය

අද ගමන පටන් ගැනුණේ සවස් භාගයේය. සවස ගමන ගැන දෙගිඩියාවක් තිබුණේ රැයට පෙර යළි පැමිණීමේ අවදානමක් එහි පවතිනුයෙනි. එහෙත් ගමන පෙරටම. මඩොල්සිම වෙත. දියතලාවෙන් බදුල්ලටද එතැනින් පස්සරටද... පස්සර ටවුම පසු වූ වහාම වම් පැත්තට ඇති මඩොල්සිම පාරේ කිලෝමීටර් හතලිස් පහක් පමණ යා යුතුය. අපේ මේ පුංචි ලෝකාන්තය වෙත. පාර නම් සුපිරිය දිගටම. අලූත සාදා කාපට් දමා ඇත. කලාතුරකින් තැනක තවම අලූත්වැඩියාව ඉතුරු වී ඇතත් මග දිගටම එක හුස්මට යා හැකිය. පිටමාරුව ලෙස නම් නළලේ ගසා ගත් බස් මේ මගෙහි ධාවනය වේ.






 මඟ මතු නොවේ, මඟ දෙපස වනා ඇති සෞන්දර්යය වනන්නට වැනුම් නැත. ඒ තරමටම සෞන්දර්යයේ පරිපාකයයි. මෑතින් නේක වන ගුල්මයන්ය. ඈතින් විටෙක මීදුමින්ද විටෙක හරිත පැහැ සළුවෙන්ද ගැවසී ගත් එකිනෙකා හා අත් වැල් බැඳ ගත් කඳු වළල්ලන්ය. පාළු මාවත්ය.










 කිලෝමීටර් හතලිස් පහකින් පුංචි ලෝකාන්තයට යන අතුරු පාර දකුණු පසින් දැකිය හැකිය. එතැන මඟ පෙන්වන පුවරුවක්ද සහිතය. තේ වත්තක් මැදින් උඩට දිවෙන කිලෝමීටරයක් තරම් දුර ඒ මාවත නම් අතිශය අබලන් එකකි. බඹරකන්දේ සිට ඔහියට ගිය කෙනාට නම් මෙහි ඇති ප‍්‍රශ්නයක් නැත. ගල් ගැළවී ගිය, කාණු හෑරුණ පාර දිගේ තුරඟා මෙහෙයවමි. වෙනත් රථයකින් පැමිණියා නම් එය ප‍්‍රධාන පාරේ නවතා මේ දුර පයින් පැමිණෙන්නට සිදු වේ. 












පාර නිමාවේ ඩිස්කවරිය නවතා වන ගුල්ම ගැවැසි බිමේ ඉදිරියට ඇවිද යා යුතුය. දකුණු පසින් දුර ඈත දසුන් පෙනේ. වම් පසින් කඳු පන්තිය. මට ඔබ්බෙහි ඇත්තේ දකින්නට පවා බය සිතෙන තරමේ ශීඝ‍්‍ර කඳු බෑවුමයි. පුංචි ලෝකාන්තයයි. එය මහ ගල් පර්වත දෙකක් අතර නිර්මාණය වී තිබීම විශේෂයි. කිට්ටුම පොළොවට අවම තරමින් කිලෝමීටරයක්වත් ඇති. එතැනින් තවත් ඔබ්බට ගිය විට අපට නැරඹුම් ස්ථානයක් හමුවේ. අංශක එකසිය අසූවක පුළුල් වපසරියක් දැකිය හැකිය. එතැන දර්ශන පථයට හසු වන පෙදෙස් පුවරුවක ලකුණු කර ඇත. මඩකලපුව, අම්පාර, මොනරාගල, මහියංගනය, මහනුවර ඒ ඈතින් පෙනෙන දර්ශනයෝ වෙති. ජලාශ ගණනාවක්ම දැකිය හැකිය. මට අමතරව තවත් නඩ දෙක තුනක්ම මේ මනස්කාන්ත දසුන් දැක බලා ගන්නට පැමිණ ඇත.

























එහෙත් දැන් දැන් අන්ධකාරයේ බලමුළු අප වට කරන්නට පටන් ගන්නට වාගේය. අකමැත්තෙන් වුවත් යළි හැරෙමි. ආ මඟ දිගේ අතුරු මඟ දිගේ විත් මහ පාරට වැටී යළි බදුල්ලට ගොස් දියතලාවට පිටත් විය යුතුය. මේ කඳුකර මගෙහි හිරු බැස යන දසුන අතිශය චමත්කාරජනකය. දකුණු පසින් ඈතින් පෙනෙන්නේ ඩී. එස්. ගල විය යුතුය. එය ඩී. ඇස්. සේනානායකයන්ගේ මුහුණට සමාන නිසා එසේ හඳුන්වයි.












 පාළු වන ගුල්මැති මහ පාරේ තේ යායවල් පසු කරමින් බදුල්ල දෙසට පදිමි.

ගැමුණු පී. දසනායක
2014-10- ගමනක්


5 comments:

  1. පට්ට සටහනක් අගනා බ්ලොගක් ජයවේවා මිත්‍රයා...

    ReplyDelete
  2. godak lassanata liyala thiyenawa mithraya

    ReplyDelete
  3. Hemoma yanne othenna vithrai ethanin ehata gihin e game nethnam kohonawala graye janathawage jivitha gena balanne kaida. Sobadahama pamanak nowa sampradaikathwaya reki e minisunge jivitha kathawath rasa vidinna.

    ReplyDelete
  4. Hemoma yanne othenna vithrai ethanin ehata gihin e game nethnam kohonawala graye janathawage jivitha gena balanne kaida. Sobadahama pamanak nowa sampradaikathwaya reki e minisunge jivitha kathawath rasa vidinna.

    ReplyDelete