Sunday, January 11, 2015

මුතියංගනය, දුන්හිද, බුදු ගේ කන්ද

දවස් දෙකක්- එක දසුනක්


අලූත් දවසක ඇරඹුමයි. අලූත් ගමනක ඇරඹුමයි. දියතලාවේ සිට බදුල්ලට. බදුල්ලෙන් දුන්හිඳට. එහෙත් කහගොල්ලටවත් එන්නට වූයේ නැත. වැස්ස සිය අණසක පතුරන්නට පටන් ගති. සුබ ලකුණු නො තිබුණා නොවේ. සුදු වහු පැටවෙක් සිය සුදු වහු මවුගෙන් කිරි බොයි මඟ අයිනේ.... වැස්සට තෙමෙමින්. අද පෝය දිනෙකි.




පසු දිනෙක අද මෙන්ම උදේ පාන්දරක හපුතලේ කඳු පාරේ යද්දී ද මෙවන් දසුනක් දුටු අයුරු මට සිහිපත් වෙයි. මිනිස්සු තිදෙනෙක් වෙන වෙනම පේළියට ගොනුන් තිදෙනෙකු දක්කාගෙන එති. එහෙත් ගොන්නු ආපස්සට අදිති. මිනිසුන්ගෙන් මිදී ආපසු දුවන්නටය උන්ගේ වෑයම. එහෙත් මිනිස්සු උන්ට කෙවිටෙන් තලති. තල්ලූ කරති. දස වධ දෙති. මට සිතුනේ උන් හපුතල් කන්ද දැකලා බඩ දැවිලා මෙසේ කරනවා වන්ට ඇති කියාය. නැත. අද රාමසාන්ය. පසු කොට ගියත් මම යළි හරවාගෙන උන් පේන තෙක් මානයට කන්ද නැඟ පැමිණියෙමි. ඈතින් වංගුවක්ය. හිරු නොපෙනේ. එහෙත් ඒ ඈත වංගුව ළහිරු කිරණින් නැහැවී ඇත. ගොනුන් තවමත් පස්සට අදිති. ඒ ඈතින් දිසෙන ආලෝකය වෙත යන්නට ඇති අකමැත්ත නිසා නොව ටවුමට ගිය පසු සිය ජීවිතය රාමසාන් කියා බිලි ගන්නට යක්ෂයින් සැදී පැහැදී සිටින බව උන් ඉවෙන් මෙන් දන්නා නිසයි.   




මුතියංගනය

බදුල්ල නගරයෙන් මඳක් ඔබ්බට ගිය විට පස්සර පාර ඇරඹෙන තැන මේ රජ මහ වෙහෙර පිහිටා ඇත. මඟ ලකුණු කීමේ අවශ්‍යතාවක් නැති. ඒ තරමටම ලෙහෙසියෙන් සොයා ගත හැකිය. මීට අවුරුදු එකහමාරකට පමණ ඉස්සර අප දියතලාවට පැමිණි අලූතම මුතියංගනය යනු නිතර නම ඇසූ පන්සලකි. ඒ අප මිතුරිය දමයන්තියගේ ගෙවල් ළඟම පිහිටි පන්සල ලෙසය. එහෙත් එය අප කුඩා කල සිටම කට පාඩම් කරගෙන අම්මා සමඟ හවසට බුදුන් වඳිද්දී දිනපතා කියූ මහියංගනං නාගදීපං හි තිබූ ගරු ගාම්භීර ස්ථානය ම බව දැන ගත්තේ ඉන් බොහෝ කලකට පසුවය. එමතු නොවේ. අප තවත් මිතුරියක් තමාට සිතේ කනස්සල්ලක් ඇති වූ කල්හි බණ්ඩාරවෙල සිට ඒ සා මඟක් ගෙවා ගෙන මෙහි පැමිණේලූ. මේ බිමට ආ කල්හි සිත නිවා සැනසේලූ. (එය එසේ නම් අප හමුවේ ඇත්තා වූ දුක්ඛ දෝමනස්සයන් හමුවේ අප මෙහි නතර ව ම සිටිය යුතුය.)


මුතියංගන චෛත්‍යය වනාහී බුදුන් වහන්සේගේ මුක්තක ධාතුව හා කේශ ධාතුන් නිධන් කොට නමුණුකුලට අධිපති ඉන්දක නම් දෙවියන් විසින් ඉදි කරවා ලන්නට යෙදුණු මහ සෑයයි. බුද්ධත්වයෙන් අට වන වර්ෂයෙහි වෙසක් පෝය දා කැලණියට වැඩම කළ බුදුන් වහන්සේ ඒ දෙවියන්ගේ ආරාධනයෙන් මෙම භූමියට වැඩම කොට තිබේ. පසු කලෙක මලියදේව මහ රහතන් වහන්සේ මෙම මළුවෙහි වැඩ හිඳ කළ සූත‍්‍ර දේශනාව අසා භික්ෂූන් වහන්සේලා සැට නමක් රහත් වූ බව කියැවේ. දෙවන පෑතිස් රජතුමා ඇතුළු බොහෝ රජවරු මෙම සෑය වරින් වර පිළිසකර කරවා ඇත.









 අද පෝය දිනක් බැවින් පන්සල් බිම සුදු යායකි. විවිධ පුණ්‍ය කටයුතු සිදු වේ. තරමක් කලබලකාරීය. එහෙත් කලබලකාරීත්වය විනිවිද ඇවිද යා යුතුය. මෙහි බෝධීන් වහන්සේ ද වැදගත්ය. ශ‍්‍රී මහා බෝධීන් වහන්සේ ගේ අෂ්ඨපල රුහ බෝධීන්ගෙන් එකකි මේ.







 තවද මෙහි ඇති සත්සති මහා විහාරයේ බුදුන් වහන්සේගේ සත් සතිය විදහා දැක්වෙන්නේ අඹන ලද රූපයන්ගෙනි.




හැඩම හැඩ මනමාලී

අප මිතුරිය අද බදුල්ලේ නැත. රාජකාරියේය. එහෙත් යා යුතු දිසා මානයන් මඟ ලකුණු සහිතව විස්තර කළාය. පාතරාසය ගෙන මම නික්මුණි. එහෙත් මට මඟ වැරදුණි. එතැන පසු කර ගෙන කිලෝමීටර් තුන හතරක්ම පසු කර ගොසිනි යළි හැරුණේ. එහෙත් ඔබ වරද්දා ගත යුතු නැත. බදුල්ලේ සිට මහියංගන පාරේ කිලෝමීටර් හතරක පමණ දුරක් ගිය විට වමට වූ වංගුවක් ළඟ දකුණු පසින් දුන්හිඳට ඇතුළු වන දොරටුව දැකිය හැකිය. එය බලකොටුවක ආකෘතියට අලූත නිර්මාණය කෙරුණකි. දැන් ඉතින් වරද්දා ගැනීමට බැරිය. ඩිස්කවරිය එතැන නවතා දොරෙන් ඇතුළු වෙමි. 









ගමනාරම්භයේදීම සුළු මුදලක් ගෙවා ටිකට් පතක් ගත යුතුය. දුන්හිඳට මේ මඟ දිගේ හැතැප්මක් එකහමාරක් පමණ පයින් යා යුතුය. එය දුෂ්කර සේ පෙනුණත් මඟ දෙපසම සෞන්දර්යය වනා තිබේ. ඔබට තිබෙන්නේ විඳින්නටය. විඳිමින් යන්නටය. අමාරු තැන්වල දී ඔබට සහයට යකඩ අත්වැල් තිබේ. එතෙර වන්නට අමාරු ස්ථාන යා කොට කුඩා පාලම් ඉදි කොට ඇත. එබැවින් එය දුෂ්කරතාව අවම කරන ලද මඟකි. අනෙක මෙවන් ගමනක අගය වැඩි වන්නේ එය දුෂ්කර වන තරමටය යනු මගේ නම් හැඟීම. ඈත පුරාණයේ මේ මුළු ප‍්‍රදේශම එකම වනාන්තරයක් වන්නට ඇත. මනමාලිය සොයා ගත් අලූත ඇය බලන්නට එන්න ඇත්තේ මේ අතිශය කටුක වූ ගිරි දුර්ග තරණය කරමින් වග මට නිකමට සිතෙයි. මා මනමාලියන් ලෙස හඳුන්වන්නේ කවුදැයි ඔබ දන්නවා නොවැ.














අප වාසනාවන්තය. විඩාව බඩගින්න නිවා ගැනීමට මඟ දිගටම කුඩා කඩ පොඩිති ඇත. මඟ වැටී ඇත්තේ ඒ කඩ ඇතුළිනි. බෙලි මල් මෙහි ජනප‍්‍රියම පානයයි. රුචිර පරණවිතානයන් විසින් ලියන ලදුව රෝහණ වීරසිංහයන් විසින් සංගීතවත් කොට දීපිකා පි‍්‍රයදර්ශනී මැතිනිය විසින් ගයන ලද මේ සිංදුව මට සිහිපත් වුණා නොවේ. කෙළින්ම කටින් පිට වුණි. කවුරු අහන්නද. අදත් මං තනියම. බය නැතුව සිංදුව දා ගෙනම සැරිසරමි. හැම තැනම රිලා රංචුය.

‘‘බොරලූ ඇනෙන පය රිදවන
වෙහෙස මඳක් නිවා ගන්න
ඔබේ සතුටු මුහුණ අපට
ටිකක් හොඳින් බලා ගන්න
මහත්වරුනි බදුලූ ඔයෙන්
කිරි කඳුළක් අපිත් ගන්න
කාසි ඇතොත් මේ බෙලි මල්
කඳුළු වතුර පොදක් බොන්න’’












දුන්හිඳට පෙර අතරමගදී වම් පසින් ඈතින් කුඩා දුන්හිඳ දැකිය හැකිය. එහෙත් එයට යන මඟක් නැත. මුරණ්ඩුකාරයකුට නම් කැලෑව විනිවිදිමින් ත‍්‍රාසජනක ගමනක් යන්නට පුළුවන.







දකින්නට පෙර ඈතටම හඬ ඇසේ. හඩේ සැර කියා පානුයේ අද දුන්හිඳ දුප්පත් නැති බවය. ‘‘දුන්හිඳත් දුප්පත් වෙලා’’ ලිව්වේ රජී වසන්තය. ඒ ඔහුගේ පළමු ගීත පොතයි. මේ තරම් සියුමැලිද කළු ගල් තිබුණෙත් එහිය.

මෑතින් පෙනෙන මේ මනාලියගේ හැඩ රුව දැකුමින් වශී නොවන්නෝ කවරහුද. මෙව්ව නොදකින දෑස් කුමටද, ඔබ දැකුමින් අප පින් කළ බව හැඟුණී ආදී ණයට ගත් වාක්‍ය කොච්චර කීවත් මඳ යැයි හැගේ. දුන්හිඳ නරඹන්නට පීඨිකාවක් තනා ඇත. එයින් නොබසින ලෙස අවවාද කොට ඇත. එහෙත් සෞන්දර්යයක් බදා ගන්නට අවදානමක් ගැනීමේ කවර වරදද. රත්න ශ‍්‍රී-කපුගේ, ස්තුතියි. කළින්ම ලියා තැබුවාට.

‘‘සේද සිහින සුදු දුන්හිඳ ඔබ
උස සීත නමුණුකුල ගිරි හිස ඔබ
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්නද’’











‘‘දුන්හිඳ අද්දර’’ සිට මේ දකින සෞන්දර්යයේ උල්පත් නම් සොයා දැන ගත යුතුය. මීටර් හැටක් පමණ උස දුන්හිඳ ඇල්ල බදුලූ ඔයේ අපූරු නිර්මාණයකි. බදුලූ ඔය මහවැලි ගෙඟ් අත්තකි. 











දුන්හිඳ පාමුල සිට යළිත් තුරු පත් පීරා ගෙන උඩට නැගිය යුතුය. පීඨිකාව පසු කොට ආපසු ගමන අරඹමි. සෞන්දර්යය කට ගාවටම පිරී තිබුණත් විඩාව දැනෙමින් තිබේ. වඩයක් කා බෙලි මල් විදුරුවක් බොමි. ඒ කඬේ අම්මා කිව්වේ මේ දවස්වල දුන්හිඳේ වතුර අඩු බවයි. වතුර අඩු කාලෙත් මෙහෙම නම් වතුර තියෙන කාලෙ කෙසේ ඇතිදැයි මට සිතේ.

තවත් අමතක නොවන ගමනක් අවසන් කරමි. ඩිස්කවරියා විඩා නිවා ගෙන මා එන තුරු බලා සිටී. සෝමපාල මහතාද මට අමතක නොවන කෙනෙකු විය. ඔහු එතැන සංචාරකයන්ට බඩ ඉරිඟු වැනි දෑ වෙළඳාම් කොට ජීවත් වන්නෙකි.


ඈතින් පෙනෙන කන්ද නාරංගල කන්ද බව කියා දුන්නේ ඔහුය. එය හැඩයෙන් බොහෝ දුරට සමනල කන්දට සමානය. බුදු හාමුදුරුවො සිරිපතුල තබන්නට මුලින්ම තෝරාගෙන ඇත්තේ මේ නාරංගල කන්දලූ. එදා පෝය දවසක්ලූ. බුදුන් වහන්සේ මේ කන්දට වඩිද්දි මිනිසුන් සී සානවාලූ. පෝය දවසෙත් සී සාන මොවුන් පිළිබඳ අප‍්‍රසාද ව බුදුන් වහන්සේ යළි වැඩියේලූ.



බුදු ගේ කන්ද

දුන්හිඳ සිට යළි එන ගමනේ අතරමඟ දකුණු පස බුදුගේ කන්ද රජ මහා විහාරයට මඟ පෙන්වන පුවරුවකි. කිලොමීටර් දහතුනක් මඟ අසමින් පැමිණි ගමනක්ය. එයද දෝව, රක්ඛිතාකන්ද මෙන් ම ගුහා විහාරයකි. මහනුවර යුගයට අයත් බිතු හා ළෙන් සිතුවම් දැකිය හැකිය. මෙහිද වලගම්බා රජු නතරව සිට ඇත. මෙහි සිතුවම් ද විනාශයේ එළිපත්තේ ම ය. ඉතා ඉක්මන් උපකාරයක් ඉල්ලා සිටී. 



  





















ගැමුණු පී. දසනායක
2014-10- ගමනක්




No comments:

Post a Comment