Wednesday, September 28, 2016

කෙටි කතාවක්ම නොවේ........

     හුඟ කාලෙකින් ඊයේ ගෙදර ගියේ. මොනරාගලට රෑ 11.30ට දෙහිඅත්තකණ්ඩියෙන් එන බස් එකේ ඇවිත් ගාල්ලෙන් බහිද්දි පාන්දර 4.30යි. වැඩට යන අය ගෙදරින් පිටත් වෙන වෙලාවට මම ගෙදර යන්න ඇවිත්. කොහොම නමුත් මේක තමයි හොඳම විදිය ගෙදර එන්න මට. හුළංදාව පහුවෙද්දි ම ඇහැ පියවුණා. දෙවුන්දරදි ටිකකට ඇහැරුණා මතකයි. කෙළින්ම ගාල්ලෙ. ස්ටෑන්ඞ් එකේ ගමට යන බද්දෙගම බස් එකත් මං නැග්ග ගමන් ස්ටාර්ට් කළා. හරියට මං එනකන් හිටිය වගේ. මීපාවල හයේ කණුවෙන් බහිද්දි හුඟක් හිටියා අහසේ තරු. කෙට්ටු හඳ තීරුව කොන්ද නමාගෙන ඈතින් බලා ඉන්නව. පාළොස්වක ගෙවිලා දවස් හත අටක් අදට. මට ආත්තම්මා මතක් වුණා. ඉස්සර ආත්තම්මා පෝයට සිල් ගත්තාම ඇඳිරි වෙලා අපි යනව ඈ එක්කන් එන්න. එද්දි රෑ වෙලා. අපේ තනියට හඳ හිටියා. එයා පොඩි අපේ පස්සෙන් ම ආවා ටෝච් එක ගහගෙන. රැහැයියො අත් දෙකෙන් බෙර ගගහ සිංදු කිව්ව අපට ඇහෙන්න. 
         වෙල් පහු කරන් ඇවිත් මහ පාරෙන් මුලනහේනට හැරෙද්දි අලුත හදපු බුදු මැදුර ලයිට් පත්තු කරගෙන නිහඬ බණක් කියනව. එතැනින් පස්සෙ දිගටම අඳුරේ ගිලිලා. පාරද වෙලද කියල හඳුනන්නත් බෑ. වම් පැත්තෙ ඉස්කෝලෙ කන්ද මුඳුනෙ අවතාර හිටන් ඉන්නව වගේ. ඒත් දැන් මං උන්ට බය නෑ. ජීවිතේ හුඟක් අවතාරවලට මුහුණ දීපු කෙනෙක් මං. මට මතකයි දවසක් මේ ඉස්කෝලෙ කන්දෙ අපි සරුංගල් යවද්දි සරුංගලේ කඩාගෙන ගියා. අපි පස්සෙන් දිව්වා. කන්දෙන් බැහැල එද්දි සරුංගලේ පහළ වෙලට බාලා තිබුණා. මගේ කකුලෙ කම්බි කට්ටකුත් ඇනුණ එදා. කකුලෙ විතරක් නොවේ. මගේ හදවතේ කට්ටක් ඇනුණෙත් මේ පිටවානෙදිමයි. ඒත් ඒක එයා දන්නෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවට වෙනකන් දැන් තාර දාලා. හතරමං හන්දියේ ඉඳන් තැනින් තැන ලයිටුත් දාලා. ගෙදෙට්ට මිටර් සීයක් විතර කිට්ටුවට එද්දි ම ටැබියාගේ පළමු වෙඩි මුරය පත්තු වුණා. ඊට පස්සෙ බලු රැළම එකා මෙන් බුරන්නට පටන් ගත්ත. ටැබී කියල කියවුණේ ඇත්තට ම බයට. එච්චරයි. මා වටකරගත්ත ටැබියාගේ පිරිස මා පිළිගත්තෙ කටින් අමුතු සද්ද දාමින් මගේ කමිසය කලිසම පුරාම ඇඟිලි සීල් තියමින්. අවේලාවේ නොකියාම ඒම ගැන ගෙදර අයට තිබුණෙ නොක්කාඩුවක්. ඒත් ඒක හරි සොඳුරු, ළෙංගතු නොක්කාඩුවක්.

                                                  ........

           ගෙදර ඕන නැති අයින් කරන බඩු දාල තියෙන ගබඩා කාමරේට ගියේ මාස ගාණකින්. පොඩි වැඩකට ලෑලි කෑල්ලක් හොයා ගන්න ලී ගොඩ අදිද්දි මගේ පපුව හෝස් ගාලා ගියා. මගේ ආදරණීයයන් පිරිසම කාඩ්බෝඩ් පෙට්ටියක දාලා පැත්තකට විසි කරලා. දූවිලි නාල. 



මට හිතා ගන්න බෑ කවුද මේ අසමජ්ජාති වැඩේ කළේ කියල. පොඩි නංගිලු ඒව ගෙනත් දැම්ම කියන්නෙ. එයාගෙ ඔෆිස් එකේ ක්‍රියාත්මක වෙන ෆයි එස් සංකල්පෙ අනුවලු ගෙදරත් අනවශ්‍ය බඩු මේ විදියට දොට්ට දැම්මෙ. මට කුණුහරුප වැලක් කටට ආවා. ඒත් කිව්වෙ නෑ. අපේ ඔෆිස් එකෙත් ඕකමයි වෙන්නෙ. තනිකර බොරුව. බෝඩ් ලෑලි ටිකක් විතරක් ගහගෙන. ඒවට වෙනම ස්ටාෆ් තියාගෙන. මීටින් තියල ඒවට වෙනම ප්‍රතිපාදන වෙන්කරගෙන. නිරපරාදෙ සල්ලි. ඒ සංකල්ප ක්‍රියාත්මක කරන්න කළින් ආයතනයේ තියෙන ප්‍රශ්න විසඳන්න ඕන. ස්ටාෆ් ප්‍රශ්න එහෙමමයි. ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් විසඳන්න අවුරුදු ගණන් යනව. වැඩිහරියක් විසඳෙන්නෙම නෑ. බොරුව විතරයි ප්‍රදර්ශනේට. 
                මේ සිංදු හොයා ගත්තෙ හරිම කට්ටක් කාල එදා. අද වගේ සිංදුවෙ නම ගහල සර්ච් කීවාම සිංදුව ආවෙ නෑ එදා. එක සිංදුවක් වෙනුවෙන් හැතැප්ම තිහ හතලිහ පදින්න ඇති. ඒ නිසාම ඒකෙ අගයත් වැඩියි. අද උන්ට ඒ දේවල් ඇඟිලි තුඩග. ඒත් මේ සමහර සිංදු අදටත් සර්ච් එංජින්වලවත් නෑ. කපුගේගේ කම්පන කැසට් එකේ කුකුළාපොළ කිරි අම්මියෙ කියන දරුවන්ගේ ගීතය එක අඩවියකවත් නෑ. ඉස්සර අපට ඕන සිංදු ගබඩා කරන්න අද වගේ ලේසියට පහසුවට තැටි පෙන් ඩ්රයිව් තිබ්බෙ නෑ. සිංදු ලිස්ට් එකත් ලියාගෙන TDK, SONY, LG 90, 60 එම්ප්ටි පීස් එකකුත් අරන් යන්න ඕන රැකෝඩ් බාර් එකට. ගාල්ලෙ තිබුණ ආරාධනා, කළුවැල්ලෙ විමල් වගේ රැකෝඩ් බාර් කිහිපයක්. ඒත් මහජන පොළේ සරත් අයිය විශේෂයි. එයා වැඩට ආවෙ කවසාකි බයික් එකකින්. මූණෙ අනන්‍ය ලක්ෂණය එළු රැවුල. එයා ළඟ තිබ්බ මහ පරණ එකතුවක්. කපුගේගෙ එහෙම අහපු නැති පරණ සිංදු එයා ළඟ තිබුණ. තිබුණ විතරක් නෙවෙයි. අපි කිව්වොත් කොහොම හරි හොයල ගහල දෙනව. සමහර විට දවස් ගාණක් යනව. මං සමහර වෙලාවට සිංදු ගහනකන් වාඩිවෙලා බලන් ඉන්නව. ඒක හරි විනොදජනකයි. මුළු පොළටම ඇහෙන්න බෆල්වලින් මං කැමති සිංදුව ප්‍රචාරය වෙනව. සරත් අයිය සවුන්ඩ් ඉංජිනියර් වගේ ඒවල කොලිටි හදනව. එක සිංදුවක් ඉවර වෙද්දි ඒක නවත්තල ඊළඟ එක දානව. අපි සල්ලි දීල ඒක අරන් එනව. ඒත් ඔක්කොම ගහන් ගියා සුනාමියට. අපරාදෙ ඒ දුර්ලභ සිංදු ටික. මං හිතුවෙ සරත් අයියත් යන්න ඇති කියල. ඒත් මං දැක්ක පස්සෙ දවසක එයා බයික් එකේ යනව ටවුන් එකේ. හරි සතුටක් දැනුනෙ. දැන් ඔහු මාර්කට් එක ළඟ සී.ඩී. කඩයක් කරනව මං හිතන්නෙ. රත්න ශ්‍රීලගෙ කපුගේලගෙ සිංදු අහපු අපිත් බැරි බැරි ගාතෙ සිංදු ලිව්ව. ලියල පොතකුත් ගැහුව. 


               ඉතින් ඒ රත්නශ්‍රීලගෙ පොත්වල තිබ්බ දුර්ලභ රචනාවල සිංදු හොයා දීල අපට සිංදු අහන්න, ලියන්න පාර කියපු සරත් අයියාටත් ඒ ගෞරවයෙන් කොටහක් නොදී කොහොමද? මං මගේ හිතමිත්‍රයින් ටික ගෙනාව කාමරේ ඇඳ උඩට. දූවිලි පිසදාල මකුළුදැල් අයින් කරල ගත්ත. අපේ ගෙදරට අන්තිමටම ගෙනාපු කැසට් යන්ත්‍රයත් පැත්තකට විසි කරල තිබිල හොයා ගත්ත. 


ඒකෙ එක පැත්තක් වැඩ කරන්නෑ. හෙඩ් එක සුද්ද කළා. ඒ දවස්වල කැසට් පටි ප්ලේ වෙද්දි සමහර වෙලාවට පටි හිරවෙනව. නැත්නම් සද්දෙ වෙනස් වෙනව. ඉතින් අපි කරන්නෙ සෙන්ට් ටිකක් පුළුන් කෑල්ලක ගාලා හෙඩ් එක සුද්ද කරන එක. ඒක නිවැරදි ක්‍රමය නොවුණත් වැඩේ හරියනව. නංගිලගෙ සෙන්ට් හොරෙන් අරන් කොච්චර නම් බැණුම් අහල ඇතිද. අදත් ඒ විදියට හෙඩ් එක සුද්ද කරල කැසට් පටියක් දාල බැලුව. වැඩ. ඉදිරි කාලෙදි බොහෝ දිගු අතීතයක් දිගහැරෙන බවට මට විශ්වාස ය. මං කැසට් පටි ටික මගේ අල්මාරියට ගෙනැවිත් දමා ඉතා අපහසුවෙන් අඩුක් කොට යතුරු දැම්ම. කාටවත් අගේ නැති මේව ආයෙ දවසක මොනරාගල යද්දි ගෙනිහින් මගේ ළඟින්ම තියාගන්න ඕන. කොහොමටත් තව අවුරුදු විස්සක්, විසිපහක් විතරනේ..... ඒ කිව්වෙ ගිය විසිහතරට මට තිස්නවයයි. පුදුමෙ මං කොච්චර කිව්වත් මට තිස්නවයයි කියල අපි එක්ක වැඩ කරන අය ඒක පිළිනොගැනීම. තට්ටෙ පෑදිලත්, කොණ්ඩෙ සුදු වෙලා තිබුණත් ඒ අය ඒක පිළිගන්නෙ නෑ. කවදක හරි පිළිගත්තත් ඒකට හේතු වෙච්ච දේවල් නම් කොහොමටවත් පිළිගන්න එකක් නෑ. 

නවය නපුරුයි. 
හතලිහ අඳුරුයි.. 
මං දැන් නපුරේ සිට අඳුරට ගමන් කරන්නෙක්. 

         අම්ම කිව්වෙත් මට සෙනසුරු දසාවක් ලබල කියල. ඉතින් අම්මයි නංගියි ඇරුණම කවුරුත් 39 ට සුබ පැතුවෙ නෑ. සුබ පතන්න ඒ ගැන දන්නෙ නෑනේ කවුරුවත්. අනික දැන ගත්තත් අපේ වැඩ කරන තැන නම් කවුරුවත් මට සුබ පතන්නෑ කියල දන්නව හොඳ හිතින්. එතන ඔක්කොම මා එක්ක අමනාප වුණා. ඒක මගේ හදිසි කෝපය කියල මා විසින්ම නිදහසට හේතු දෙන්න හැදුවත් ඒ කෝපය සහේතුකයි. අසාධාරණයට එරෙහි නොවීමෙන් අප රාජකාරියට කරන්නේ වංචාවක්. ඉතින් සාධාරණය වෙනුවෙන් කළ රාජකාරියට කවුරු හරි තරහ වෙනවනම් ඒක මගේ වරද නොවේ. එවන් මිතුරන්ගෙන් මට කම් නැත. ඈත් වන්න. සැබෑ මිතුරනි කමත්වා.

                මගේ සැබෑ මිත්‍රයින් වෙනුවෙන් සාධාරණය ඉෂ්ට කරල මං බැලුව තව මොනාද විසි කරල දාලා තියෙන්නෙ කියල. මං දැක්ක අපට ගෙනා පළවෙනි ටී.වී. එක. 


ඒක නම් කැඩිල පාවිච්චි කරන්න බැරි තත්වයේ තිබුණෙ. ඒ වුණත් ඒකත් සිහිවටනයක්. අද LG බ්‍රෑන්ඩ් එක එදා ආවෙ ගෝල්ස්ටාර් කියල. අනික මේක කළු සුදු, VHF විතරයි. UHF ලංකාවට ආවාම මං සිප්නැණෙන් බලාගෙන කන්වර්ටරයක් හදල තමයි සිරස බැලුවෙ. ඉස්සරම තිබ්බෙත් චැනල් තුනයි. ජාතිකයි, අයි.ටී.එනුයි., ටී.එන්.එලුයි. විදුසරෙන් බලාගෙන V=Fλ වලට අනුව තරංග ආයාම අරගෙන ඒකෙ බාගෙට ඇන්ටනාවෙ කූරෙ දිග ගත්තම ටී.එන්.එල්. එකට අඩි අටක එල් පටියක් ඕන වුණා. අපි ඒවත් වහල උඩට ගෙනිහින් නේද අහක බලන් යන තරංග අල්ල ගත්තෙ කියල මතක් වෙද්දිත් පුදුමයි. අද වෙද්දි ඒ ඔක්කොම සල්ලිවලටනෙ. කිසි මහන්සියක් නැතුව ඩයලොග්ලට හරි එස්.එල්.ටී. ලට හරි සල්ලි දුන්නම තරංග අල්ලල බැඳලම දෙනවනෙ. ඉතින් එදා අපිම හදා ගත්තු ඇන්ටනාවලට රෑට තිබ්බ මොහොරා, ඩර්, සාජන්, දිල් වගේ හිංදි ෂෝ බලද්දි අපටම අපි වීරයො වෙන එක පුදුමයක්ද?

              මං හදපු රේඩියෝ එක කොහෙද කියල මං හැම තැනම බැලුව. නෑ පේන්නවත් නෑ. ඒක ගබඩා කාමරෙනුත් එපිටට ගිහින් වගේ. මට මුලින්ම කරන්ට් ගැජට් ගැන කියා දුන්නෙ අපේ හිච්චි මාමා. ටෝර්ච් බල්බ් එකේ පස්ස පැත්ත ලාම්පුවේ නිල් දැල්ලෙන් රත් කරද්දි ඊයම් උණු වෙද්දි එතනට වයර් කෑල්ලක් තියල ටිකක් වෙලා ගියාම ඒක ඇලිල තියෙනව කියල පෙන්නුවෙ ඔහු. බල්බ් එකේ වටේට වයර් රවුමක් ඔතල ඒ කම්බි දෙක පූස් බැටරි කෑල්ලක ගහපු යතුරු කටු දෙකකට සෙට් කළාම අතින් නොඅල්ලා බල්බ් එක පත්තු කෙරුවා. අපේ ගෙයි මිදුලෙ තොරණක් ගහල පොඩි මෝටරයක් ගෙනල්ලා බුදුරැස් වළල්ලක් කරකවන හැටි පෙන්නුවෙත් ඔහු. ඒ නිසාමයි මම ඔහුට මගේ කවි පොතකුත් සමර්පණය කරන්නේ මෙහෙම.

“ඇන්ද චිත්‍ර වෙසක් කාඩ් 
බිම අතුරන් පුංචි එකෙක් 
උසට උසේ දුටු සිහිනය 
තොරණක් කොට ඔහුගෙ හෙටට
පිරිනැමු නිර්මාණකාරයෙක් 
ඉන්නව මගෙ මතකයෙ
කිසිදා නො ඇසූ ගීයක
තනුවක් ගායනා කරන
        
පුදමි මේ පොත
හිච්චි මාමාට”
(පොද වැස්ස ගැන ගීය-2008)



                    ඊට පස්සෙ නිරෝෂ් ඉස්කෝලෙට ගෙනාපු නිවෙන පත්තුවෙන එල්.ඊ.ඩී. සර්කිට් එක හදා ගන්න මං ගත්ත මහ වෙහෙස. කොහොම හරි අන්තිමේ හැදුව. ඊට පස්සෙ සර්කිට් කීයක් නම් හැදුවාද. කීයක් වැරදුණාද. තාත්තත් පුළු පුළුවන් හැටියට ට්‍රාන්සිස්ටර්, රෙසිස්ටර් ගෙනත් දුන්න බටගන්විලින්. එදාට තාත්තා එනකන් බලන් හිටියෙ බොහොම අමාරුවෙන්. තාත්තා වැඩ ඇරිල පුස්බයිසිකලෙන් එන දර්ශනය නෙතට උළෙලක්මයි. ඒ සර්කිට් හැදිල්ලෙ පරිපාකය නවය වසරෙ තාක්ෂණයට රේඩියෝ වැඩ තෝරා ගැනීම. විමලසේන සර් තියරිවලට උගන්නපු විදියට ෆෙරයිට් කොයිල් එකයි, ඩයෝඞ් එකයි, ටියුනින් කන්ඩෙන්සරෙනුයි විතරක් රේඩියෝව ඇහුණෙ නෑ. පස්සෙ කෝදාගොඩ අයියගෙ කුමාරසිංහ රේඩියෝ පොතේ විදියට LA 4100 4102 අයි.සී. එක දාලා ගහපු ඈම්ප් එකට සෙට් කරල මං මුල්ම වතාවට හපුගලින් විකාශය කළ රුහුණු සේවය සාලෙට ගෙන්න ගත්තා. එදා මට දැනුණු සතුට ගුග්ලි එල්මෝ මාර්කෝනිටවත් දැනෙන්නට නැතුව ඇති. මං ගේ වටේ දිව්ව ඒක අරගෙන. ඉතින් ඒ සිහිවටන ලංකාවේ ෆයි.එස්. නම් ගිලටීනයට බෙල්ල තබලාය.

             ඒ සියල්ල අතර මගේ ලුමාලා ස්පෝර්ට් බයිසිකලය නම් හුළං ගියත් හේත්තු වෙලා ඉන්නව. 


ඒ බයිසිකලේ මං කොයි තරම් දුරකට එක්ක ගියාද. ඒ මතකමයි මගේ අලුත් කෙටි කතා පොතේ වැස්ස ගැන මගේම පෙරවදෙනෙත් තියෙන්නෙ.

“ගමේ සිට නගරයට එද්දී වැස්ස ද අප පසුපසම පැමිණියේ ය. ශිෂ්‍යත්වය සමත් වූවාට තෑගි ලෙස අම්මලා විසින් තෑගි කරන ලද රතු පාට ඉස්පෝර්ට් බයිසිකලයෙන් විටෙක උසස් පෙළ ටියුෂන් පංතියට ද විටෙක පාසලට ද යන කොලු ගැටයා ධාරාණිපාත වැස්සේ වුවද දකුණතින් බයිසිකලයේ හැඬලය අල්ලාගෙන වම් අතින් කුඩය ඔසවා ගෙන දිගටම පැද්දේ ය. හෝලුවාගොඩ ගැලූ එක් දවසක බයිසිකලයත් සමඟින් ගං වතුරට ගසාගෙන යන්නට හදද්දී සුගතෙ මාමා අප එගොඩ කළේය.”( වැස්සක් කාලෙකින්- 2016)



                   තව බොහෝ දේවල් ඇති අපේ පරණ මතක. ආයෙ ගිය වෙලාවක අතීතය කනිනවාමයි. අතීතයෙන් තොර අනාගතයක් නැත. ෆයි. එස්. නාමයෙන් බොරු කරන, වංචා කරන අක්කලා, නංගිලාද, පාලකයෝ හා පාලිකාවෝද මෙය උගනිත්වා. ඥානය පහළ කොට ගනිත්වා.

ගැමුණු පී. දසනායක