Saturday, March 7, 2020

ගාල්ල සිට මාදම්පේ...(සූරියකන්ද, වංගු දහය රක්වාන හරහා)

ගාල්ල සිට මාදම්පේ...(සූරියකන්ද, වංගු දහය   රක්වාන හරහා)

         ජීවිතයම එක තැන නතර වී ඇති සේය. දියතලාව, මොනරාගල සිටිද්දී මෙන් ඇවිද ගිය දඩබ්බර, දිගු, ඒකචාරී ගමන් සම්පූර්ණයෙන් ඇණහිටියා සේය. ගමට පැමිණීමට මගේ එතරම් කැමැත්තක් නොතිබුණත් එය මේ තරම් අපුල දනවන එකක් වේයැයි කීයටවත් නොසිතුවෙමි. එහෙත් එය එසේ වී ඇත.

          මාස ගණනාවකින් මා ගමනක් ගොසින් නැත. ඉඳහිට හේරත්ලාගේ ඇරයුමින් ඔවුන් සමග ගිය චාරිකා තුළින් යම් සැනසිල්ලක් ලබමි. මේ ව්‍යසනයට හේතුව මේ පළාතේ බලන්නට තැන් නැති බැවින්යැයි කියා මුලදී සිතුණත් දෙනියාය වැනි පෙදෙස් සෞන්දර්යයේ තෝතැනි බව මම සොයා පාදා ගතිමි. එහෙත් වෙනදා මෙන් සිතුන විට සිතුන තැනක ගොස් සිතුන වෙලාවක එන නිදහස දැන් නැතිව ගොසිනි. සතිය පුරාම විසිර පැතිරුණ රාජකාරියත් හවස හත වෙද්දී රාජකාරියක් සේම වාර්තා කළ යුතු සෙනෙහසත් විසින් ඒ නිදහස කොටු කරනු ලැබ ඇත.

         එහෙත් ඉන්නම බැරි වුණ එක් ඉරිදාවක ඒ සියලූ බැමියෙන් මිදී මම ඩිස්කවරියා සමග ගඟ තරණයට සැරසුණෙමි. පටන් ගත්දීම මල් මල් හීන් වැසි පොදක් පෙරමග පිළිගත්තත් සුබ අසුබ දසුන්වලින් සිතට බලපෑම් කරන යුගයක් නොවීය මෙය.

දිනය- දෙදාස් දහනමයෙ දෙසැම්බර් විසිනමය
ගමන- කරාපිටිය සිට මාදම්පේ දක්වා... මාර්ගය හඳුනා ගැනීමට...                       රක්වාන ආසන්නයේ වූ වංගු දහය බලා ගැනීම.
ගමන්නමග- කරාපිටිය... ලබුදූව... තලගහ... කුරුඳුවත්ත... කොට්ටව...                       යක්කලමුල්ල... අකුරැස්ස... දෙනියාය... සූරියකන්ද...                             රක්වාන... මාදම්පේ
පිරිස- මා තනිවම
වාහනය- ඩිස්කවරි 125 මෝටර් සයිකලය
දුර- කරාපිටිය සිට මාදම්පේට කිලෝමීටර 160ක් පමණ

       කරාපිටිය ෂෙඩ් එකෙන් ඩිස්කවරියාට පෙට්රල් පොවාගෙන ගමන ඇරඹුවෙමි. ලබුදූව හන්දිය පසුකර මඳ දුරක් යද්දීම අපට ගම්බද සෞන්දර්යය දැක ගත හැකිය. දකුණු පස වෙල් උඩින් ඉර පායා ඇති දසුන චමත්කාරජනකය. අද ඉරිදාවක් නිසා පාරේ වාහනද අඩුය. මගේ අරමුණ මෙම මගෙහි ගමන් කිරීම පමණක් බැවින් පාර එළා ඇති පරිදි මම ගමන් කරමි. 





කොට්ටව කැලය මැදින් යක්කලමුල්ල අකුරැස්ස හරහා දෙනියායට පැමිණිය යුතුය. 








         එහෙත් අපේ ගමනාන්තය වන මාදම්පේ පාර දෙනියායට කළින් හමුවේ. එතැනින් හැරී යා යුතුය. එම මාර්ගය තරමක්දුරට කාපට් දමා ඇතත් පසුව අබලන් ය. මාර්ගය වැටී ඇත්තේ කැළය මැදිනි. තැන තැන නිවාස ඉදි කළ ජනාවාස වූ පෙදෙස් හමුවේ. 





       සූරියවැව කිට්ටුවදී ‘‘වන අලින්ගෙන් ප‍්‍රවේශම් වන්න’’ කියා අනතුරු හඟවා ඇත. 
  




         ඉමදුව මාදම්පේ මාර්ගය වැල්ලවාය බෙරගල මාර්ගය සිහිගන්වයි. එක් පැත්තකින් කන්දත්, අනෙක් පසින් පල්ලමත්, ඈත අනන්තය තෙක් දිවෙන දසුනත් මනස්කාන්තය. දුර ඈත පෙනෙන මා නාඳුනන කඳු පන්ති, ජලාශ මිහිදුම හා පෙමින් වෙළී ඇත. ඒවා උඩවලව ඇඹිලිපිටිය, කතරගම සූරියවැව බව මම පසුව දැන ගතිමි. පියවි ඇසට පෙනෙන මේ සෞන්දර්ය අප සහෘදයින් වෙනුවෙන් සටහන් කර ගත යුතුය. එහෙත් මගේ කැමරාව... අහෝ... එය මා නොදන්නා දොසකට ලක්ව ඇත. නාභිගතවීමේ ප‍්‍රශ්නයකි. අප ළබැඳි මිත‍්‍ර කැමරා විශේෂඥ බිනරයන්ට අනුව එය මාගේ කැමරා පාවිච්චිය පිළිබඳ වූ දොසකි. මේ මතකයන් ෆෝන් කැමරාවෙන් ගනු ලැබූ ඒවාය. කමත්වා....










         අප ගමනේ අවසන් හරියේ එනම් රක්වාන කිට්ටුවදී වංගු දහය හමුවේ. මා පැමිණෙන්නේ ගාල්ල දෙසින් බැවින් මුලින්ම හමුවන්නේ දහවැනි වංගුවයි. මෙම වංගු දහය සහිත මාර්ගය ඒ 17 මාර්ගයකි. ඉංග‍්‍රීසින්ගේ කාලයේදී හේර්ස් නම් ඉංජිනේරුවරියක විසින් සාදවන ලද මාර්ගයේ වංගු දහය ගැන හස්ත සංඥාවෙන් සැලසුම දී ඇත්තේ තේ දලූ නෙලන ආත්තම්මා කෙනෙකු බව මා කොහි හෝ කියවා තිබෙනු මතකය. සූරියකන්ද රක්වාන අතර ඇති වංගු දහයේ තැන තැන ඈතට විහිදුන කඳු පන්ති අපට දැක ගත හැකිය. එසේ නැති තැන්වල මග දෙපසම වනාන්තරයයි. ඇඟට පතට දැනෙන්නේ සීතල සුවයයි. වංගු දහයම එකමාකාරයෙන් වූ අංශක තුංසිය හැටේ වැලමිටි වංගුය. මහියංගන නුවර පාරේ දහඅට වංගුව සිහිපත් වුවත් මෙය ඒ තරමට දුෂ්කර නැතැයි මට සිතේ. එහෙත් වට අවට සුන්දරත්වය අතින් නම් එය පරාදය. වංගු දහය පුරාම අතිශයින්ම පාළුය. එහෙත් හත්වන වංගුවේ දකුණු පැත්තේ භාවනා මධ්‍යස්ථානයකි. එහි යාමට වේලාව නොවූයෙන් මතු දිනෙකට එය කල් දමමි. මාදම්පේ දක්වා පල්ලම් බැස්ස මම ආපසු හැරී යළි ගාල්ල බලා ආ මග දිගේම පැමිණෙමි. 





















        ඒ එද්දීද යළි මා පැමිණිය යුතු තැන් ගැන සිතුවා නොව සිතුවිලිම පැමිණ හදවතේ වැදුණේය. මගදී හමුවුණ ගැටබරු දේවාලය. එය ප‍්‍රධාන මාර්ගයෙන් ඇතුළට යා යුතු වුවත් මග අයිනේ වූ පඩුරු පෙට්ටියට විශ්වාසය පූජා කළා විනා යාමට නොහැකි විය. ඉත්තෑකන්ද නම් ප‍්‍රදේශයේ දී එනම් රක්වාන සිට කිලෝමීටර් 30 ක් පමණ ගාල්ල දෙසට වන්නට හැරී උඩට යන හිමිදිරියාව නොහොත් මෝනින් සයිඩ්... තවද ඇතා මළ ඇල්ල, තුන් බෝධිය, එළමල්දෙණිය විහාරය, සිංහරාජය, ලංකගම, පැට්නා,  ඕලූ දොළ, ගොංගල, මුගුණමුල්ල ඇල්ල, අතු ඇළ බෝක්කුව, කුරුලූගල, සමන්ගල විහාරය ආදිය මේ මාර්ගයේ හා දෙනියාය ආශ‍්‍රිතව ඇති බව මා නොදනිතත් මට අසන්නට කියවන්නට ලැබිණි. කවදා හෝ දිනෙක ඒ සෞන්දර්යයන් හා මුහු වීමේ නොතිත් ආශාව හිතේ තුරුලූ කරගෙන සටහන නිමා කරමි.


ගැමුණු පී. දසනායක


1 comment: