Saturday, December 6, 2014

රාවණා නම් ප්‍රේම මාමකයා

ලිප්ටන් සීට්වලින් බැසගෙන ආ ගමන බණ්ඩාරවෙලින් වමට නොහැරුණි. බදුල්ල පාරේ ගොස් කුඹල්වෙලින් හැරී ඇල්ල පාරේ වැල්ලවාය දෙසට යමි. ඇල්ල නගරය පසු කරත්ම පාරේ වම් පස කාගේත් ගෞරවයට පාත‍්‍ර වන දේවාලයයි. එතැන පසු කර යන්නෝ දේවාලයටත්, බුදු මැඳුරටත් පඩුරක් දමා යාමට අමතක නොකරති. මාරක කඳු පල්ලම්ද, වංගුවලින් ද, නිරන්තර නාය යෑමේ අවදානම ද පවතින තම ඉදිරි මගෙහි ගමනේ ආරක්ෂාව කාට හෝ භාර කිරීමේ කවර නම් වරදද? මට කුමාරගමයන්ගේ අයියනායක කවි පන්තිය සිහිපත් වේ. ‘‘මගෙ ගැරහුමට නැත ඒ අයව ලක් වුණේ’’ කියා කීවේ ඔහුය. මම ද පඬුරක් දමා පිටත් වෙමි. එතැනින් මඳ දුරක් ඔබ්බට ගිය විට රාවණා ගුහාව පිළිබඳ පළමු මඟ පෙන්වීම් පුවරුව දක්නට හැකිය. තවත් ටික දුරකින් කුඩා දිය පහරක් ළඟින් දකුණට හැරෙන ලෙස පවසන පුවරුවකි. ඒ කොන්ක‍්‍රීට් පාර දිගේ අපහසුවකින් තොරව යන්නට පුළුවන. විනාඩි දහයක පමණ දුරකි.

 


දකුණු පස ගස් ගල් පිරි කන්දකි. හිංදි චිත‍්‍රපටයේ වීරයා තම අතිශය රූමත් පෙම්වතිය ධනවත් වූද, බලවත් වූද, කුලවත් වූද සිය පේ‍්‍රමයට විරුද්ධ වූද කෙල්ලගේ දෙමාපියන්ගෙන් මුදා ගෙන අහස උසට උස මාළිගාවේ ඉහළම තට්ටුව මතට හෙලිකොප්ටරයකින් කැන්දන් එයි. මුළු අහසම රක්ත වර්ණයෙන් නැහැවී ඇත. හෙලිකොප්ටරය මතු මහලට පාත් කරන්නට සැරසෙනවා පමණි. ලෝකයේ තිබෙන භයානකම ගිනි අවි කරළියට පිවිසේ. අහස එකම යුධ පිටියකි. මේ යුද්ධයේ අවසානය අධ්‍යක්ෂවරයා තීරණය කරනු ඇත. සමහර විට නිෂ්පාදකයා යහමින් සල්ලි විසි කර තමාට  ඕනෑ එකා මරා දමන්නට ද බැරි නැත. (සමාවෙන්න, මා දැක ඇත්තේ සිහිනයකි. දැන් සිහිනය ඉවරයි.)

 


එහෙත් මීට අවුරුදු හත්දහස් පන්සියයකට පමණ ඉහත මේ අහස මේ අයුරින්ම යුධ ඇඳුමින් සැරසී සන්නද්ධව සිටින්නට ඇත. තම සොහොයුරියට ඉංදියාවේ රාමගේ පාර්ශවයෙන් සිදු වූ අවමානයට පිළිතුරු ලෙස ඔහු රාමයන්ගේ අතිශය රූමත් බිසව වූ සීතාවන් පැහැර ගෙන තම අහස් යානයෙන් මේ මා දකින කඳු මුදුනේ ගල් ගුහා මාළිගයට රැගෙන විත් ඇත. ඔහු නම් අන් කිසිවෙකුත් නොව මහා බල පරාක‍්‍රමැති ලංකාපුරයේ මහ රජුන් වූ රාවණයන්ය. 


රාම නම් වූ ප්‍රේම ඝාතකයා

 මහා බල දහයකින් යුතු ව දසිස් වූ රාවණා යුධ තොරතුරු සතුරා අතට පත් කළ තම සොහොයුරා නිසා ජීවිතය පූජා කළද අතිශය ශ්‍රේෂ්ඨයෙකි. ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සාක්ෂි පෙනි පෙනී තිබියදී ඉතිහාසය පුරාම සමහරුන්ගෙන් අවමන් විඳින්නෙකි. සීතා ගින්නට පැන තම පති දම් ඔප්පු කළාය. එසේ ඒ පති දම් රැකුණේ රාවණා වන් රජකෙනෙකුගේ ශේෂ්ඨත්වයම නිසා නොවන්නේද. අනෙක සීතාවන්ගේ පති දමි බිඳි තිබුණි නම් කුමක් සිද්ධ වෙනු ඇත්ද. රාමගේ අදහස පැහැදිළිය. ‘‘උඹ ඌත් එක්ක හිටියනම් පිච්චිලා මැරියන්’’. රාම එදා සිදු කළේ සීතාවන් පිළිබඳ පරීක්ෂණයක් මතු නොවේ. වරදක් වෙනුවෙන් තම බිරිඳ අමු අමුවේ පුළුස්සා මැරීමකි. ඇය මැරුණා කියා රාමට නම් වන අවාසියෙක් නැති වන්ට ඇත. අන්තඃපුරයේ  ඕනෑ තරම් අඟනුන් සිටිනවා නොවැ. එහෙත් රාවණ.... ඔහුට උන්නා යැයි කියන්නේ මන්දෝදරී නම් එක් බිසවක පමණි. රටේ කන්‍යාවන් බලෙන් හෝ තම අන්තඃපුරයට කැඳවා රාජ සන්තක කොට බලහත්කාරකම් කරමින් මහ සඟ රුවනේද ආසිර්වාද මැද  රට කරවූ සහ කරන රජ්ජුරුවන් වහන්සේලාට මොහු කදිමාදර්ශයක්ම නොවේද? ඉංදියානුවෝ එදා සිටම ඒ සත්‍යය දැක දැකම මග හරිමින් පැමිණියෝය. ඒ මතු නොවේ. වසරක් පාසාම රාවණගේ පිළිරූ සාදා ඒවා ගිනි තබා දුෂ්ටයාගේ  පරාජය සමරති. එක්තරා ආකාරයකින් පුදුම වන්නට දේකුදු නැත. සති පූජාව වැන්නකින් මුළු ස්ත‍්‍රීත්වයම ගින්නට තල්ලූ කරන්නේත් ඔවුන්මය. පුදුමය නම් උතුරු දකුණු ඉංදියානු චිත‍්‍රපට නරඹන අපේ ඇතැම් ‘‘නොදරුවන්’’ ද අන්ධානුකරණයෙන් ඒවා පිළි ගැනීමයි. එහෙත් දැනට දශක ගණනකට එපිට ලියැවුණු වින්සන්ට් පේ‍්‍රමසිරි ගායකයාණන් විසින් ගායනා කරන ලද මේ ගීය අසන්න. සමාවෙන්න මෙහි රචකයා නිශ්චය කර ගන්නට මට නොහැකි වූවාට.

 


සීතාවනි ඔබ හැඩ රුව ඇති බව
දිවි හිමියෙන් පති දම් සුරකින බව
දනිමි ඔබත් දැන ගත යුතු මේ බව
ඔබෙ සෙනෙහස මට  ඕනෑ නැති බව

 

අපෙ කුල ගොත වත ඉහළයි හැම විට
එහි අබිමානය රකිනෙමි හැම විට
අන් සතු අඟනක් සෙනෙහස සතු නැත
එහෙම නොවේ මේ රාවණ පෙළපත

 

මගෙ සොහොයුරියක් පෙර දවසක්දා
රාම කුමරුගෙන් හිරිහැර වින්දා
පිළිතුරු ලෙස ඔබ සිර කර රන්දා
පෙර පෙළපත අබිමන් දද බැන්දා

 

(ගායනය- වින්සන්ට් පේ‍්‍රමසිරි)

 


ඉතින් සොහොයුර දැන් කුමක් කියන්නේද? ‘‘පැරැණියන් ගත් මඟ ගැනීමෙහි කවර නම් වරදද’’ යි කියමින් ඔබ දෙපළගේ උත්තම පේ‍්‍රමය රාම-සීතා ට සම කරන්නට ඉඩ හරිනවාද? අනේ අපි දෙන්නා දැකලා ‘‘හරියට රාම සීතා වගේ ’’ කියලා කියන්න නම් එපා හොඳේ. රාම කුමරු මෙන් දුෂ්ඨයකු, ඝාතකයකු බවට පත් නොවේවා මා.
රාම කුමරු සීතා සොයා සත් සමුදුරු තරණය කොට මෙහි පැමිණියේ අති රමණීය වූද, පරම පිවිතුරු වූද, සඳ එළිය සේ අචින්ත්‍ය වූද පේ‍්‍රම මාමකත්වය නිසා නොව යුධ කාමීත්වයෙන් වියරු වැටී හුන් බැවින්ය.

 

රාවණයන්ට උපහාර කළ තවත් ගීතයක් මට අසන්නට ලැබුණි. මෙහි වග වාසගම්ද නොදන්නේ වුව ගීය පමණක් දක්වමි.

 

සක්විති රාවණ උත්තම මිනිසෙකි
දෑ අබිමන් වෙනුවෙන් පණ දුන්
සක්විති රාවණ උත්තම මිනිසෙකි
ලංකාපති රජ පෙළෙහි මුදුන්
සක්විති රාවණ උත්තම මිනිසෙකි
සතුරාටත් නැෙඟනට අත දුන්
සක්විති රාවණ උත්තම මිනිසෙකි
මිනිස් කමට හැම විට තැන දුන්

 

බමුනන් කී බොරු හෙළි වේවා
පිරිතෙහි ගෑ දැලි දුරු වේවා
රාවණ නම ලොව බැබළේවා
ලංකා නම ලොව රජ වේවා



දැන් මා සැරසෙන්නේ කන්ද නගින්නටය. එහෙත් ඊට පෙර රුපියල් සීයක් ගෙවා විහාරාධිපති හිමියන්ගෙන් ටිකට් පතක් මිළදී ගත යුතුය. කන්දට නැගෙන පිය ගැට පෙළ පාමුළ ගේට්ටුව ඇරෙන්නේ ඉනික්බිතිවය. මම පිය ගැට පෙළ නඟිමි. තනියම. නැඟ, බසින අය තැනින් තැන හමුවේ. එක්කෝ නඩ පිටින්ය. බොහෝ අය යුවළවල් ය. පෙම්වතුන්ය. රාමා-සීතා මෙනි.... නැත.. නැත.. එසේ කීම සාධාරණ නොවිය හැකිය. මීටර් සිය ගණනක් උස ගමනෙහි අඩක් පමණ යද්දී හති වැටේ. මේ එදා ඉස්කෝලේ පිට්ටනියේ වට හත අටක් කිසි මහන්සියක් නැතිව දිව්ව ඒ  කොල්ලා  නොවන බව දැන් මට වැටහේ. කොලෙස්ටරෝල්ද, බ්ලඞ් ෂුගර්ද ෂුවර් එකටම මගේ ළඟ ළඟ ම පසුපසින් පැමිණෙනවා වාගේය. උන් හෙට අනිද්දාම මා පසු කරන බව දැන්නම් හොඳට ම විශ්වාසය. මේ ගිනි මද්දහනයි. බොහෝ තැන්වල ගහ වැල ඉහට වියන් තනා දුන්නත්, හිරු තාපයට කෙළින්ම නිරාවරණය වන ඇතැම් තැන්වලදී හම පිච්චෙන්නාක් මෙනි. සිතටද මහත් විඩා ගෙනදේ. එහෙත් බැලූ බැලූ අත පෙනෙන තුරු ලතායෙන්, පර්වතයන්ගෙන් ගැවසුණු දසුන් දකිත්ම ඒ වෙහෙස තුනී වී යයි. අවසන් මීටර කිහිපය අති දරුණු නැග්මකි. යකඩ අත්වැල් සදා තිබුණත් එහි අවදානමක් නැත්තේ නොවේ. උඩ සිට පහළ බසින නේපාල ජාතික යැයි සිතිය හැකි යුවළේ මහත්මයා මේ තනිකඩ මිනිසාට පරිස්සමෙන් කියා කෙටි අවවාදයක් දුන්නේ අනතුර ජාති ජන්ම නොසලකා අපෙන් වැරැද්දක් වන තුරුම බලා සිටින නිසාය.

























 අවසානයේ ඒ උදාර මිනිසා එදා අහසින් පැමිණි තැනට මම පඩි පෙළ නැඟ පැමිණියෙමි. එහි මඳක් වාඩි වී ගුහා දොරින් එපිට හරිත වන ළැහැබ දෙස බලා සිටිමි.









 එහෙත් විස්මය මෙය නොවේ. මෙයින් නොනැවතී තව දුර යා යුතුය. ඇතුළේ ඇති උමඟ තවත් ඈත පිහිටි ගුහාවන් දක්වා විහිදේලූ. මෙවන් ගුහා ඌව ප‍්‍රදේශයේම රක්ඛිතාකන්ද රජ මහා විහාරයේ, හල්දුම්මුල්ලේද ඇත.(හල්දුම්මුල්ලේ රන්වන් ගුහාව රාවණා ගුහාව යැයි පවසයි) ඒ මගෙහි දිය පිරි පොකුණක්ද පිහිටා ඇත්තේලූ. සිත කීවද තනිකඩ ගමනක් ඒ සඳහා සුදුසු නොවේ. මම ආ මඟ ඔස්සේ යළි පිය ගැට පෙළ බැස්සෙමි.


කන්ද පාමුළ පාරෙන් අනෙක් පැත්තේ රාවණා ඇල්ල රජ මහා විහාරයයි. එය වලගම්බා රාජ සමයෙහි ඉදි වන්නට ඇත. දෝව, රක්ඛිතාකන්ද මෙන් මෙයද පළා යන වළගම්බා රජුට සෙවණ දෙන්නට ඇත. මෙයද ගුහාවක් තුළ ඉදි කෙරුණ විහාරයකි. පෞරාණික වර්ණයන්ගෙන් සිතුවම් කළ පැරණි වියන් සිතුවම් මෙහි දැක ගත හැකිය. 














රාවණා ගුහාව මතු නොව රාවණයන්ට සම්බන්ධ බොහෝ තැන් මේ වට අවට දැකිය හැකිය. එදා රාවණ සේනාවන් නතර ව සිට කා, බී, නෑවේ රාවණා ඇල්ලෙනි. එතැනින් තවත් ඔබ්බෙහි රක්ඛිතාකන්ද ළෙන් විහාරයයි. මේ සියල්ල අද නැරඹිය යුතු ය. විශේෂ සූදානමක් අවශ්‍ය නැත. අවශ්‍ය මගේ අජානේය ඩිස්කවරියාට පෙට‍්‍රල් ටිකක් බොන්නට දීම පමණි. එහෙනම් ඉතුරු හරියට පිවිසෙමු.

No comments:

Post a Comment