Sunday, January 14, 2018

කොස්ලන්ද විහාරය (කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාමය විහාරය) KOSLANDA VIHARAYA

කොස්ලන්ද විහාරය (කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාම විහාරය)

කොස්ලන්ද ටවුම අද බොහෝ කාර්යබහුල ය. හෙට ජනවාරි 14 දෙමළ ජනතාව ඔවුන්ගේ තෛපොංගල් අවුරුද්දට ලහි ලහියේ සූදානම් වෙයි. 

බෙරගල සිට හෝ වැල්ලවාය සිට කොස්ලන්ද ටවුමට පැමිණ එතැනින් පූණාගල පාරේ කිලෝමීටරයක් පමණ ගිය තැන කොස්ලන්ද පුරාණ විහාරය හමු වෙයි. එය අද ශ‍්‍රී අරියවංශාරාමය ලෙස නම් කර ඇත. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ද එලෙස ය. අද විහාරස්ථානය ද කාර්ය බහුලය. උදෑසන ලේ දන්දීමේ පින්කමකි. සවස අල්ලපු වැටේ ඉස්කෝලේ පැවැත්වෙන ධර්ම දේශනාවකි. ඒ සඳහා පදලංගල හාමුදුරුවන් වැඩමවීමට නියමිත ය.


ලේ දන්දීම





විහාරය පිළිබඳ ඉතිහාස තොරතුරු සොයා ගැනීමට අපහසු වුවත් තැන තැන මේ ගැන කෙටියෙන් සඳහන් වී තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය

‘‘ඌව පළාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අම්පිටිතැන්න ග‍්‍රාම නිලධාරී වසමේ පිහිටා ඇත.
කොළඹ බෙරගල හරහා වැල්ලවාය පාරේ කොස්ලන්දෙන් හැරී පුනාගල මාර්ගයේ මද දුරක් ගිය විට මෙම විහාරය හමු වේ.
විහාරගෙය ඇතුළත කළු ගලෙන් නෙළන ලද හිඳි බුදු පිළිමයකි. කොස්ලන්දට නුදුරු උඩහමුල්ල ග‍්‍රාමයේ ලෙනක් තුළ තිබී මෙම පිළිමය විහාරයට ගෙන ආ බව කියයි. පිළිමය රැගෙන එන විට සිවුරු රැලි නිමවා තීන්ත ආලේප කොට තිබී ඇත. මෙම පිළිමය දෙපස හිටි පිළිම 02 ක්ද සැරියුත් හා මුගලන් අගසව් දෙදෙනාගේ මුර්ති ද නිර්මාණය කොට ඇත.
විහාරගෙයි වියන නෙළුම් මෝස්තරය සහිත වන අතර බිත්තිවල සූවිසි විවරණය, සත්සතිය සිතුවමට නගා ඇත. මේවා මහනුවර යුගයේ සිතුවම් ලක්ෂණ ප‍්‍රකට කරයි. මේ හැරුණු විට ඉපැරණි බෝධියක් මෙම විහාරස්ථානයේ දක්නට ලැබේ.  විහාරස්ථානයේ බෝධි ප‍්‍රාකාරය සහ චෛත්‍යය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කොට ඇති අතර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂිත ස්මාරකයක් වශයෙන් ප‍්‍රකාශයට පත් කර ඇත.’’
http://www.archaeology.gov.lk ,  14-01-2018 )


ඌව ඉතිහාසය-නාවුල්ලේ ධම්මානන්ද හිමි

‘‘කොස්ලන්දේ විහාරය

අනතුරුව අපගේ පැමිණීම වූයේ කොස්ලන්ද නගරයේ රම්‍ය භූමියක පිහිටි සිද්ධස්ථානයක් වෙතය. මෙහි වූ චෛත්‍යාදිය නම් ඉතා පැරණි නොවූව ද ප‍්‍රතිමාලයයෙහි වූ පස් රියන් පමණ වූ ශිලාමය ප‍්‍රතිමාව ප‍්‍රතිමා නිර්මාණ ශිල්පයේ ජය ධ්වජයක් බඳු වෙයි. පැරැණි නටබුන් වෙහෙරක තිබී ගෙනවුත් දැනට මෙහි සුරක්ෂිතව තබා තිබෙන මෙහි නිර්මාණ සමයය ද පුලස්ති පුර සමය සේ සැලකිය හැකි ව තිබේ’’
(පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද හිමි, ඌව ඉතිහාසය. ඇම්.ඞී. ගුණසේන, කොළඹ: 1966 සැප්තැම්බර්, 188 පිටුව)

ඌවේ වංහුං - සුජීව කුමාර කෝවිලතැන්න

‘‘කොස්ලන්ද ශ‍්‍රී අරියවංශාරාමය විහාරය

බදුල්ල දිස්ත‍්‍රික්කයේ හල්දුම්මුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පිටියතැන්න ග‍්‍රාම නිලධාරී වසමේ මෙම පූජනීය භූමිය පිහිටා ඇත. 19 වන සියවසට අයත් පිළිමගෙයි තැන්පත් කර ඇති පිළිමය ගල්වලින් සකසා රෙදි අලවා මැටි ගසා සකස් කර තිබේ. එහි ඇති සිතුවම් ද 19 වන සියවස දක්වා ඈතට දිව යයි. පොහොය ගෙයද පැරණි ස්වරූපයක් ගන්නා අතර, ගරාවැටීමට ආසන්න චෛත්‍යය ද වසර 100ක් පමණ පැරණි බව පැවසේ.
කොළඹ බදුල්ල මාර්ගයේ බෙරගල හන්දියෙන් කොස්ලන්ද වැල්ලවාය මාර්ගයේ කි.මී. 17ක් පමණ ගමන් කිරීමෙන් මෙම ස්ථානයට ළඟා විය හැකිය.
(සුජීව කුමාර කෝවිලතැන්න, ඌවේ වංහුං. කර්තෘ ප‍්‍රකාශන: 2015, පිටුව 221 )






















ගැමුණු පී. දසනායක
2018-01 ගිය ගමනක්

No comments:

Post a Comment