Monday, December 20, 2021

වැල්ලවාය කොටවෙහෙරගල

 

වැල්ලවාය කොටවෙහෙරගල

මොනරාගල යන්න හිතුණෙ අහම්බෙන්. වැල්ලවාය පහුකරල එද්දි ලේ දන්දීම් දැන්වීම දැක්කෙ අහම්බෙන්. කොටවෙහෙරගල පන්සල. පරණ මිතරුකම් හමුවුණේ අහම්බෙන්. අවුරුදු ගාණකට පස්සෙ බොහෝ දේවල් වෙනස් වෙලා. අලුත් ශාලාවක්. ඒකෙ තමයි ලේ දන්දීම. එතැන පසුපසින් නැගී සිටින විසල් ගල් තලාව වෙනද නම් අපහසුවෙන් නැගිය යුත්තක්. ඒත් දැන් මුදුනටම පඩි පෙළක්. ලුෂාන්ත ඒ වෙද්දි මගක් දුරට ගිහින්. මාත් ඒ ගමනට එක් වුණා. මුදුන්පත් වීමේ සෞන්දර්යය බොහෝ කාලෙකට පස්සෙ වින්දා. එතරම් උසක් නොවුණත් වට අවට පතළ සෞන්දර්යය නම් චමත්කාරජනකමයි. පවුරු වළල්ලක් මෙන් නැගී සිටින කඳු වළල්ල මා ඉදිරියෙන් දිසේ. ඒ ඇල්ල රොක්. ඈතින් පෙනෙන ඒ දෙකට කැඩුණු දිය දහර රාවණා ඇල්ල බව හඳුනා ගත හැක්කේ හොඳින් දන්න හඳුනන යාළුවෙකුටය. තව ටික කලෙකින් මේ දාගැබේ වැඩ නිමාවී, පඩිපෙළ සම්පූර්ණ වී මේ සෞන්දර්යය සැමට විවෘත වේවි. මොනරාගල යද්දි ඔබටත් පුළුවන් වේවි ඇවිත් යන්න.






මා විස්තර කළේ සෞන්දර්යාත්මක වටිනාකම පමණි. එහෙත් එහි තිබෙන ඓතිහාසික වටිනාමත්, මා නොදුටු චමත්කාරයත් දැන ගන්නා විට මා පමා වැඩිය. ඒ නොදුටු දේ දකිනු පිණිස යළි යා යුතුය.

කොටවෙහෙරගල කියන්නෙ රජමහා විහාරයක්. දුටුගැමුණු රජු සේනා රැස් කළ ස්ථානයක් වශයෙන් හැඳින්වෙන මෙහි පසු කලෙක එතුමන් විසින් විහාරයක් කරවන ලදැයි සැලකේ. තවත් තැනෙක එය සද්දාතිස්ස කුමරුන් විසින් කරන ලද්දේය යන්න කියැවෙන අතර වලගම්බා රජුද මෙහි විහාරයක් කරවූ බව කියැවේ. දඹගල්ලේ කේ. බී. රත්නායකයන්ගේ අටදහස් රටේ අප්‍රකට පුණ්‍ය භූමි කෘතියට අනුව මෙහි අතීතයේ රහතුන් වහන්සේලා වැඩ සිට ඇත. ගල් පර්වතවතයේ ගුහා සහ දිය පොකුණු මා නොදුටු එහෙත් දැකිය යුතුම දේය.




වැල්ලවායේ සිට මොනරාගල පැත්තට එන විට වරුණගම හමුදා කඳවුරට කලින් දකුණු පස තමයි මේ විහාරය පිහිටලා තියෙන්නෙ.

ගැමුණු පී. දසනායක
2021 දෙසැමබර්

No comments:

Post a Comment