Tuesday, December 19, 2023

ඉහළ කෝට්ටේ බිම්ගෙය හා මීයන ඇල්ල

හුඟ කාලෙකින් චාරිකාවක් යන්නට නොහැකි වීමේ අපලය දූරිම්භූත වී ගියා සේය. නුවර පැණිදෙණියේ හේරත්ලාගේ ගෙදර සිට අපි ගමන ඇරඹීමු. උදේ හතයි පනහට පේරාදෙණියෙන් පහළට තිබෙන කෝච්චියට එන්නට අපට හැකි විය. කට කපල නොසිටියත් ඇතුළේ සෙනඟ සිටි බැවින් ෆුඩ්බෝඩ් එක මම ඉතාම ආසාවෙන් තෝරා ගත්තෙමි. මග මග පසුවන අතිශය රමණීය දසුන්වලට පෙම් බඳිමින් මඳ සීතල විඳිමි. කෝච්චිය වංගු ගනිද්දී එංජිම දෙස බලා ඉන්නට මම කොහොමත් ආසය.


 

පිළිමතලාව, කඩුගන්නාව, බලන පසු වෙයි. වම් පසින් විටෙක ප්‍රපාතයයි. එහි ගම්මාන කුඩාවට දර්ශනය වේ. ඇතැම් තැනෙක නුවර කොළඹ මහා මාර්ගය හඳුනා ගත හැකිය. කඩුගන්නාවේදී නාය ගිය තැන අලුතින් ඉදිකළ ආරක්ෂිත තාප්පය කෙළින්ම ඇස ගැටේ. වම් පැත්තේ අහස යට උතුවන්කන්ද, ඌරාගල, බතලේගල කඳු උඩ බලාගෙන සිටින්නේ මහා සෞන්දර්යයක් අපට පෙන්වන්නටය.

ඉහළ කෝට්ටේ දුම්රිය ස්ථානය පේරාදෙණයෙන් ඇරඹි රුපියල් හැටක් වූ අපේ දුම්රිය ගමනේ අන්තයයි. හේරත්, ඔහුගේ බිරිඳ, ගඟුලි දුව හා මා යන අප නඩය දුම්රිය පිටත් වූ පසු ඉදිරියට පිය මැනනත් ස්ටේසමේ නිලධාරින්ගෙන් ඒ පිළිබඳ විමසිය යුතුම විය. එය ඒ තරමටම දුම්රිය ගමන් හා අපේ ආරක්ෂාව හා කෙලින්ම සම්බන්ධ වූවක් බැවිනි. බිංගෙය ඇතුළේ සිටියදී දුම්රියෙන් පරිස්සම් විය යුතුය. පුළුවන් තරම් දුම්රිය නොයන වේලාව තුළම බිම්ගේ නැරඹිය යුතුය. ඉහළට හා පහළට දුම්රිය තිබෙන වේලාවන් දැක්වෙන කාලසටහන හිතේ සටහන් කර ගතිමු. 


 

මීළඟ දුම්රියත් පිටත් වූ පසු ඇවිදීම වරදක් වූ රේල් පාර දිගේ ඇවිද ගියෙමු. මීටර් තුන් හාර සීයක දුරක ඇවිදීමකින් බිම්ගෙයි මුවදොර පෙනෙන්නට තිබිණි. වැහිබර නොවූ, මීදුම් හීන කාලගුණ තත්වය අපට ආශිර්වාදයක් විය.

Photo credit: Ms Induni Dandeniya

Photo credit: Ms Induni Dandeniya

Photo credit: Ms Induni Dandeniya

Photo credit: Ms Induni Dandeniya



බිම්ගේ තරණය අපේ පළමු ගමනයි. මඳ දුරක් යද්දී පිටතින් එන ආලෝකය සම්පූර්ණයෙන් මැකී යයි. ආපසු බැලූ විට මෙතෙක් පෙණුන බිම්ගේ මුවදොර දැන් පෙනෙන්නටද නැත. කෑලි කැපෙන ගණාන්ධකාරයේ එකෙකුට එකෙක්වත් පෙනෙන්නට නැත. රැගෙන ගිය විදුලි පන්දමද ෆෝන් ලයිට්ද දල්වාගෙන අපි බිම්ගේ මැදින් රේල් පාර මැදින් ගමන් කළෙමු. හදිසියේ දුම්රියක හඬ ඈතින් ඇසිණි. පෙර දැනුවත්ව සිටි අයුරින් කලබල නොවී බෑග් ගලවා බිම තබා අපද බිම්ගේ බිත්තියට හේත්තු වීමු. බිම්ගේ තැන තැන එවන් අවස්ථාවල ආරක්ෂිතව සිටින්නට සැකසූ අවතලයන් ඇත. එහෙත් ඒවායේ සැඟවිය හැක්කේ දෙතුන් දෙනෙකුට පමණි. කෝච්චිය එද්දී විදුලි එළි නිවා ගතිමු. එය මට අලුත්ම අද්දැකීමකි. අප ඉදිරියෙන් දුම්රිය ගමන් කර අවසන් වන තෙක් නිසොල්මන්ව බලා සිටියෙමි. දුම්රියේ ඉන්නා උන්ට අප පෙනෙන්නේ නැත. එහෙත් බයක් දැනේ. බිම්ගෙයක් තුළින් යද්දී එකදිගට ගයන අහිංසක හූව එකවරම යකඩ කැබැල්ලක් හෝ ගුලියක් සේ එළියට විසී වීමට බැරි නැත.

බිම්ගේ එහා ඉමෙන් මතුවන තුරු අපි ඇවිද ගොස් තිබිණි. කියවා තිබූ අමුතු ගුහාව නම් අපට මගහැරී තිබිණි. වට අවට පිරික්සුවද එවන් බිම්ගෙයකට යන සලකුණක් දැක්ක නොහේ. අප යළි බිම්ගෙයට පිවිසුනෙමු. බිම්ගෙයින් එළියට විත් වම් පැත්තේ බිම්ගෙයට පිටින් වූ අඩි පාරේ ගමන් කළෙමු. අතිශය චමත්කාරජනක වූ ද මනරංජනීය වූද දසුනකි අපට වම්පසින් දිසෙන්නේ. 

Photo credit: Ms Induni Dandeniya

කඳු මුදුනක සිට පාතාලය දෙස බලන අපට ඈතින් පෙනෙන්නේ නවීකරණය කළ අම්බලමකි. කැලෑවෙන් වැසී ගත් මේ පල්ලම හරහා බැඳුණු පුරාවෘත්ත රාශියකි. ආච්චිට හාල් ගරන කතාවත්, මේ බිම්ගෙය හෑරීම තුළ සැඟවුණ කතාත්, මියන් ඇල්ල සෑදුන හැට් කතාවත් චිරප්‍රසිද්ධය. ඒවා මෙතැන යළි යළි පුනරුච්චාරණය කළ යුතු නැත. ඇඟිලි තැබූ සැණින් ගූගල් දෙවියා විසින් ඒ තොරතුරු ඔබට ලබා දෙනු ඇත.
දකුණු පස තිබිය යුතු ඇල්ල අද නැත. ඒ ඊයේ පෙරේදා වැසි ඇද නොහැළුණ බැවිනි. එහෙත් බිම්ගෙය තුළදී අපට මුණ නොගැසුණ ගුහාව මෙතැනින් විත් එබිකම් කරයි. දුර ප්‍රමාණ මැනවින් හිතින් මැනගෙන අපි යළි හැරී ඉස්ටේසම දෙසට පිය මැන්නෙමු. බිංගෙයි කටින් ආයේ ඇතුළු වූ අපි වම් පස පිළිබඳ මහත් විමසිල්ලෙන් පියනැගීමු. ඔව්.. අපට මෙවර වැරදුණේ නැත. අපේ ඉස් මට්ටමටත් අඩියක් දෙකක් පමණ ඉහළින් ඒ් හරස් ගුහාවේ සිට එන ආලෝකය හමු විය. 


 

ගොඩ වෙන්නට කියා ඉනිමං හෝ වෙනත් ආධාරක නැත. ඒ් බිත්තියේම සෑදුන උත්තලවීම් අවතලවීම් ආධාරක සේ ගෙන අපහසුවෙන් බඩ ගා ගත යුතුය. තරමක අපහසුවෙන් අප සියලු දෙනා උඩට නැග ගත්තෙමු. වව්ලන්ගේ රජ දහනක් වූවත් එයින් බාධාවක් නැත. මුල් හරියේ හිස පාත් කරගෙන නැමීගෙන යා යුතුය‍. කෙළවර සෙන්දර්ය‌යේ පරිපාකයට විවෘත වූ බිහිදොරයි. මනසින් මවා ගන්න. වැසි සහිත කාලයක නම් මා ඉදිරියේ දිය ඇල්ලක් කඩා හැලෙනු ඇත. ඈත දසුන් පෙනෙන්නේ ඒ් විනිවිදය. එයට පින නැත.

Photo credit: Ms Induni Dandeniya

 
Photo credit: Ms Induni Dandeniya

බිම්ගෙය හදන විට ඉවත් කළ යුතු විසල් ගල් බිම්ගෙය ‌කෙළවරටම ගෙන නොගොස්  මෙතැනම හරස් උමගක් සාදා එයින් එම ගල් ඉවතට ගෙන ගොස් පහළට ‌පෙරළා දැම්මාය යන කතාවක් මේ හරස් බිම්ගෙය සෑදීමේ හේතුව ලෙස මා අසා ඇත. (එහෙත් වෙනත් බිම්ගෙවල්වල නැති මෙහි  පමණක් එසේ වන්නට හේතු කාරණාවක් ඇතිද. එය සොයා ගත යුතුය. මේ සටහන ලියන මොහොතේ එහි අවශ්‍යතාව තදින් දැනේ. ඒ්  සඳහා සුදුසුම කෙනෙක් අප අසලම සිටියෝය. දන්දෙනිය මහතාය. ඉන්දුනී මහත්මියගේ පියාණන්ය. ජීවිතයේ බොහෝ කලක් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයකම ස්ථානාධිපතිවරයා වශයෙන් සේවය කළ එතුමා සිහිවීම අරුමයක්ද. එහෙත් මා ප්‍රමාදය. වටිනා මිනිසුන්ගේ වෙන්ව යාම් සෑම විටම දරා ගත නොහැක්කේ එබැවිනි. කෙනෙකුගේ අවශ්‍යතාව වඩ වඩා දැනෙන්නේ ඔවුන්ගේ වියෝවෙන් පසුව බව යළි යළිත් මට පසක් වෙයි.)

අපි යළි පැමිණියෙමු‍. පේරාදෙණියටම පැමිණි පසු මට හා හේරත්ට ආපසු යන්නට සිදු විය. ඇගේ කණ්ණාඩිය වෙනුවෙනි. උපැස් යුවළක වටිනාකම හතළිස් ඇඳිරිය ඇත්තෝම දනිති. ආපසු කෝච්චියක ඉහළ කෝට්ටේට ගොස් එතැන් සිට පයින් බිම් ගෙයට ගොස් මඩ නාගෙන බඩගාගෙන උමගට නැගුණද කණ්ණාඩිය නම් හමු නොවිණි.

(ප.ලි. ඉන් පසු කිහිප වතාවක්ම කොළඹ සිට මහනුවරට දුම්රිය ගමනේ යෙදුණෙමි. මේ බිම් ගෙයට කෝච්චිය ඇතුළු වත්ම ඇස දකුණු පස බිත්තියේ තියුණු නිරීක්ෂණයේම යෙදේ. ඒ සෑම විටම බිම්ගෙයි මැද හරියේ ආගන්තුක ආලෝකය දැක ගන්නට තරම් මගේ ඇස දක්ෂ විය.)

ගැමුණු පී. දසනායක

2023 පෙබරවාරි

 

 

No comments:

Post a Comment