Friday, March 25, 2016

චොකලට් හා බත්



චොකලට් හා බත් 

             මොනරාගල ටවුමේ මා කෑම ගන්නා එක්තරා කඩයක් ඇත. බත් එක 130 කි. එහෙත් මා 150ක් දුන් විට මුදලාලි ඉතුරු 20 නොදේ. දහයේ චොකලට් දෙකක් පීරිසියක දමා එය මා දෙසට තල්ලූ කරන ඔහු ඉන් පසු අහක බලා ගනී. මුවින් නොකියන දහසක් දේ සිතින් කියමින් චොකලට් දෙකත් ගෙන කඩෙන් පිට වෙමි. මේ අයුරින් මම දිනපතා චොකලට් කන්නෙකු වීමි. කල් යත් ම මට එය අප්පිරිය විය. ඉන් පසු මම ඒ චොකලට් බෝඩිමේ බල්ලාට දැම්මෙමි. ටික කලෙකින් ඌට ද ඒවා එපා විය. බල්ලොත් නොකන චොකලට් මගේ කාමරේ මේසේ මත පිරී ඉතිරෙන්නට විය. ඒවාට කුමක් කරම්දැයි කල්පනා කරමින් සිටින විට හදිසියේම ගණ දෙයියෝ මා ඉදිරියේ ප‍්‍රාදුර්භූත වූහ. මං හවස කඩේ ගොස් කෑම එක ගෙන මුදලාලිට රුපියල් සීයක් සමඟ චොකලට් තුනක් දුන්නෙමි. මුදලාලි ටික වේලාවක් ඇසි පිය නොහෙලා මා දෙස බලා සිට මුවින් නොකියන දහසක් දේ සිතින් කියමින් එය ගෙන අහක බලා ගත්තේ ය.

                සැබැවින් ම මෙසේ පාරිභෝගිකා රවට්ටන්නට ව්‍යාපාරිකයාට කිසිසේත් නොහැකි ය. මා කළින් සඳහන් කළ වෙළෙන්දා පාරිභෝගිකයා නොඉල්ලූ" ඔහුට අනවශ්‍ය භාණ්ඩයක් ඇඟේ ගසා විකිණීමකි කරන්නේ. මෙවන් වංචාවක් රෝහල් කැන්ටිමක ද සිදු වන අතර එතැන හුවමාරු භාණ්ඩය වන්නේ දහයේ පෑන් ය. මෙය වෙළෙන්දාගේ කූට උපක‍්‍රමයකි. මාරු සල්ලි තබා ගැනීම ඔහුගේ වගකීමකි. වෙළෙන්දාට චොකලට් හෝ පෑනක් ලැබෙන්නේ රුපියල් හයක් වැනි මුදලකටය. ඔහු එය පාරිභෝගිකයාගේ ඇඟේ බලෙන් ගසා එකකින් රුපියල් හතරක වාසි ලබයි. අපි ද මේවා දැක නෑසූ කන් ව, නොදුටු දෑස් ව සිටිමු. එහෙත් 2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ පළමුවන කොටසේ අධිකාරියේ අරමුණු පැහැදිළි කරමින් දක්වා ඇත්තේ "අසාධාරණ වෙළඳ පිළිවෙත් හෝ වෙළෙන්දන් විසින් සිදු කරන වෙනත් යම් ආකාරයක පාරිභෝගික සූරාකෑම්වලට එරෙහිව සහනයක් ලබා දීම" යනුවෙනුයි.

















No comments:

Post a Comment