Saturday, January 6, 2018

පුංචි ශ්‍රී පාදය - ඇල්ල LITTLE ADAM'S PEAK ELLA

පුංචි ශ‍්‍රී පාදය - ඇල්ල


අද අපේ ගමනාන්තය පුංචි ශ‍්‍රී පාදයයි. ජානක මල්ලීත්, ප‍්‍රදීප් හා ඔහුගේ බිරිඳත්, ආශා මැඩමුත්, කුසුමුත් අපේ නඩයයි. අපේ ගමනාරම්භය මොනරාගල වුවත් ඔබ එනවා නම් වැල්ලවායට ඇවිත් ඇල්ල පාර දිගේ ඇල්ල ටවුමට පැමිණෙන්න. ඇල්ල ටවුමෙන් නමුණුකුල පාරේ කිලෝමීටරයක් දෙකක් පමණ ගිය තැන වම් අතට වූ වංගුවක් ළඟ අපේ ශ‍්‍රී පාදයට යන මාර්ගයයි. එතැන ඔබේ වාහනය ගාල් කර ගත හැකි ය. අප යද්දී මඳ සිරිපොදක් වැටෙමින් තිබිණි. ළඟ තිබුණු කුඩ කෑලි ටික පිහිටට ආවත් වැස්සෙන් පිහිටක් ලබා ගන්නට කිසිවක් මිලදී ගන්නට කඩයක් නම් අහලකවත් නැත. 

මහ පාරේ සිට දකුණු අත පැත්තේ ඉහළට දිවෙන මඟ දිගේ අපේ පයින් ගමන ඇරඹිය යුතු ය. ත‍්‍රී රෝද රථයකින් මඟ ඇසුවත් අපි අපේ ගමන පයින්ම යන්නට තීරණය කළෙමු. වැහි ආවරණවලින් වටකළ ත‍්‍රී රෝද රථයකින් ගමන් කිරීමට නම් කුමටද අපි මෙවන් ගමනක් ආවේ. සෞන්දර්යය විඳිය යුත්තේ ඇස් දෙකිනි. මඟ දෙපස තේ වතු ය. 





දකුණු පැත්තේ සෞන්දර්යය යායක් වනා ඇත. ඇල්ල වැල්ලවාය පාර පසු කරමින් එය ඉහළට දිවේ. 







තේ වතු මැදින් අපේ පාර පාර එළී ඇත. තැන තැන හෑරී ගොසිනි. ගල් ගෙඩි ගැලවී ගොසිනි. ඒ මගෙහි ගොස් දකුණට හැරිය යුතු ය. එහෙත් ගේට්ටුවකි. එය වසා ඇත. මෙතැන දක්වා යම් වාහනයකින් පැමිණියේ වුව ඉන් පසුව අනිවාර්යයෙන්ම පයින් ගමන් ගත යුතු ය. අතිශය චමත්කාරජනක වූ දසුන් පෙළක් දෙපසින් නරඹමින් අපි ඉදිරියට ඇදෙමු.

මේ පෞද්ගලික තේ වත්තකි. 98 ACRES නම් වේ. ලිප්ටන් සීට් යද්දී හා එද්දී මෙන් නොව තවමත් (ඒ කියන්නේ 2017) මේ වත්තට ඇතුළු වීමට සත පහක්වත් අය නොකරයි. නිකන් යන්න දුන්නා කියා කිසි විටෙක මේ බිම වනසන්න එපා. එහෙත් තැන තැන ප්ලාස්ටික්, පොලිතින් විසි කර තිබෙන කනගාටුායක දසුන්ද නොදුටුවා නොවේ. 


මගදී හමුවුණ ගසක් යට බංකුවක් ගසා ඇත. එය විඩා නිවා ගැන්මට කදිම තැනකි. අප ගෙනා කෙටි ආහාර කිහිපයකුත් බීම බෝතලයත් මගදී ඇතිවුණ මඳ විඩාව නිවා දුන්නේ ය. 



එතැන් සිට තනා ඇති පඩි පෙළ ඉහළ යන්නට ඇරයුම් කරයි. මුහුදු මට්ටමේ සිට මීටර 1141ක උසින් පිහිටි කඳු මුඳුනට තව මීටර් 300ක් දුර ය. 

කඳු මුදුනට ම පඩි පෙළ තනා ඇතියෙන් මහත් ආයාසයකින් තොරව කඳු තරණය කළ හැකි ය. කන්දක් කීවාට සිරීපාදේ හෙවත් සමනල කන්ද තරම් කන්දක් නොව් මේ. 




එහෙත් මුඳුන ආසන්නයේදී පඩි නැත. යාම ද දුෂ්කර නොවේ. එහි වම් පසට දිවෙන කුඩා අඩි පාර අසල ගසා ඇති දැන්වීම විඩා නිවා ගැනීමට ඇරයුම් කරයි. සංචාරකයින් වෙනුවෙන් තැනුණ කුඩා මඩු සහිත ඒ හෝටලයයි. තේ වත්තේ නමින් ම එය නම් කර තිබේ. 98 ACRES හෝටලයයි ඒ ඈතින් දිස් වන්නේ. 




කන්ද සමනල නොවුව ද අප දකින දසුන ගැන කියන්නට නම් වචන නැත. වටේට ම ගිරි ශිකරයන් ය.






එක් පසෙකින් ඈතින් මොනරාගල පැත්ත ය. 

අනික් පසින් බණ්ඩාරවෙල දිසාව ය. 



වැහිබර කාලගුණය විසින් ඒ චමත්කාරයට තවත් අරුතක් දී තිබේ. ඈතින් පහළින් පෙනෙන්නේ අප පැමිණි මාවතයි. ඒ ඇල්ල වැල්ලවාය මාර්ගය පීත්ත පටියක් සේ දිසේ. මවුන්ට් හෙවන් හෝටලය ද ඒ දසුනට ඇතුළත් ය. 

කොළ පාට පසුබිමක රටහුණු කෑල්ලකින් අහම්බෙන් ඇඳුණු කෙටි ඉරි කැබැල්ලක් සේ පෙනෙන සුදු පැහැය රාවණා ඇල්ල බව මා කෙසේ නාඳුනන්නන ද? අපූරුම චමත්කාරයකි. 



කඳු මුදුනේ අලුතක ඉදි කළ බුදු පිළිමයකි. 




මේ මුදුන සමග ම එකට මූණ බලාගත් තවත් මුදුනක් අප ඉදිරියේ ඇත. එහිත් නොයා ගියොත් ඒ මුදුන තරහ වේවි. 



නාඋල්ලේ ධම්මානන්ද හාමුදුරුවන්ගේ ඌව ඉතිහාසය පොතේ දැක්වෙන ශ‍්‍රී පාදය මෙය විය යුතු ය. එහි මේ පිළිබඳ කදිම පුරාණෝක්තියක් ඇත. ඒ අනුව ඉස්සර මෙතැන ඒ සිටු කුමරුන් විසින් කරවන ලද ශ‍්‍රී පාදයක් හා සමන් දේවාලයක් තිබී ඇත. මේ පොත ලියන 1966 කාලයේදී සමන් දෙවොලේ ගෙපළ දක්නට තිබී ඇත. ඔබට වඩා තහවරු වනු පිණිස ඒ පොතේ පිටු කැබැල්ල ම මුහුණතේ තබමි. ලොකු කර බලන්න. ඉතිහාස පොතක ඇති සෞන්දර්යය මේ දකින සෞන්දර්යය මෙන් ම රසවත් ය. ඇතැම් විට ඊටත් එහා ය.




ඒ සිටු කුමරු මෙතැන ශ‍්‍රී පාදය ඉදි කර ඇත්තේ සැබෑ ශ‍්‍රී පාද කන්ද මෙන් ම මෙහි ඉර සේවය දුටු නිසාලූ. ඉතින් අපිත් අනිවාර්යයෙන් උදෑසනක පැමිණිය යුතු ම ය. මනසින් විඳින ඒ අතිශය චමත්කාරජනක රසඳුන ඇස තවරා ගන්නට අප ඇස් පින් කර ඇතැයි මට සිතෙන්නේ මොනරාගලත් ඇල්ලත් යනු එතරම් දුරක් නොවන නිසයි. ඒත් යළි එනවා කියා ගිය කොයිතරම් සුන්දරත්වයන්ට අප පොලූ තබා ඇත්ද වැඩ රාජකාරි හමුවේ.
ගොම්මන් අඳුර අප යන තුරු බලා සිටින බව දැනුණෙන් පැය ගණනකට නොව විනාඩි ගණනකට අපේ විඳීම සීමා විය. 

හැමදාමත් ලස්සන දේ දැක නැවත එද්දී සිතනවා මෙන් යළි එන සිහිනයත් සමඟ පඩි පෙළ බැස තේ වතු මැදින් පාරට පැමිණ, ඇල්ල ටවුමට පැමිණ, ඇල්ල වැල්ලවාය මග දිගේ ඇදෙමු. මවුන්ට් හෙවන් හෝටලය ළග පීඨිකාවේ සිට ඉහළ බැලූ විට අප නැඟුණ ඒ පුංචි ශ‍්‍රී පාදය මොනවට දිස්වේ. 








ඉහළට නැගුණ කෙනෙක් පහළ සිට තමා නැඟි උස දෙස බලා සිටිද්දී දැනෙන සතුටක මහිම.....

ගැමුණු පී. දසනායක
2017-10 ගිය ගමනක්

Thursday, December 28, 2017

පරවියන් ඇල්ල paraviyan ella

පරෙයියන් ඇල්ල - බඩල්කුඹුර



බොහෝ කලෙකින් ගමනක් යන්නට බැරි වුණේ වැඩ වැඩි නිසා ම නොවේ. වැස්ස නිසාමත් නොවේ. වැස්ස පිට වරද පටවන්නට මගේ දිව නොනැමේ. මොනරාගලට වැස්ස ආශිර්වාදයකි. මොනරාගලට කට්ටිය දුෂ්කරයි කියා කියන්නේත් කට්ට වියළි බව නිසයි. ඉතින් ඒ වියළි බිම නිවා සනසන වැස්සට කෙසේ නම් දොස් නගම් ද? මොනරාගලට ඇද වැටෙමින් තිබූ මහ වැසි දැන් නතර වී ඇත. එහෙත් වැසි කාලයට පමණක් ප‍්‍රාදුර්භූත වන ඇලි කිහිපයක් තාම සක‍්‍රීය වී ඇත. පෙරේදා වැල්ලවාය ටවුම කිට්ටුවද්දී ඈත පෙනෙන අලකොළ ඇල්ල ගැන කීවේ අප මිත‍්‍ර චමින්ද ය. 

‘‘යමුද කොහේ හරි’’. විනාඩි දහයක් ඇතුළත තීරණය කළ ගමනාන්තය පරෙයියන් ඇල්ල ය. ජානක මල්ලීත්, චින්තාත් ‘‘අපේ’’ නඩය විය. සැලසුම්ගත චාරිකා කීයක් නම් මේ වන විට අතරමග නතර වුණිද. කෙනෙකුට නිවාඩු නැත. තවෙකෙකු ගෙදර ගොසිනි. තවෙකෙක් තවෙකෙකු සමග යන්නට අකමැති ය. එහෙත් සිතූ විටෙක ගොසින් පැය තුන හතරකින් එන්නට මේ මොනරාගල කොයි තරම් නම් සෞන්දර්යය වනා ඇති ද. මේ මොනරාගලදැයි ඔබ තුන් හිතකවත් නොසිතනු ඇත. දැනගත්තත් අපි බලන්නට ඔබ නොඑන බව මම දනිමි. එහෙත් බැරි වෙලාවත් යන්නට හිතුණොත් කියා ඒ සෞන්දර්යයට නිවැරදි මග කියමි. 


බඩල්කුඹුර නගරයෙන් බුත්තල පාරේ කිලොමීටර හතරක් පමණ ගිය තැන පාරේ දකුණු පස පරෙයියන් ඇල්ලට මඟ කියන පුවරුව හිටගෙන සිටින්නේ ඔබ එනතුරු ය. එම ප‍්‍රදේශය පුන්සිසිගම නම් වන්නට ඇත. කිලෝමීටර 2 යනුවෙන් ඔබට දුර ප‍්‍රමාණය ද ලකුණු කර දී තිබෙන්නේ තව දුරටත් නොවරදින්නට ය. 




මුල සිට ම මඟ දෙපස සෞන්දර්යය වනා තිබේ. එහෙත් පාර නම් එතරම් සුපිරි නැත. තැන තැන කොන්ක‍්‍රීට් දමා තිබුණත් ඒ කොන්ක‍්‍රීට් කොටස කෙළවර වන්නේ තියුණු ගැට්ටකිනි. අප ගමන් කරන විට්ස් වර්ගයේ මෝටර් රථයට නම් එය ඔරොත්තු නොදෙන සේ ය. තැන් කිහිපයකදී ම අපට බැස යට වදිනවාදැයි බලන්නට සිදු විය. එබැවින් ඔබ පැමිණේ නම් සුදුසු උස වාහනයකින් පැමිණෙනවානම් යෙහෙකි.  මගේ ආදරණීය තුරඟා සිහිපත් වේ. ඔහියේ යකාගේ පඩිපෙළවල් පවා උඩ පනිමින් තරණය කළ ඌ අද පැත්තකට වී සිටියි. 


මේ වට අවට මඟ දෙපස පාළු ය. එහෙත් ගම්මිරිස් වගාව ප‍්‍රධාන බෝගය බවට පත් වෙමින් මඟ දෙපස ම දැකිය හැකි ය. ඉඳ හිට මනුස්ස පුළුටක් හමු වේ. තණ කමින් සිටින ගව රැළකි. මගදී අපට මඟ පෙන්වන්නෙක් සෙට් විය. යට වදීයැයි බියෙන් අප වාහනයෙන් බසිද්දී අප මිත‍්‍රයා ද නතර වී බලා සිටී. 

එහෙත් බෝ ගහ හන්දියේදී අපට මඟ වැරදිනි. අප උඩහ පාරේ ටික දුරක් ගමන් කොට තිබිණි. යා යුත්තේ හන්දියෙන් දකුණටය.



මග හමු වූ ගැමියන් කිහිප දෙනෙකු ම අපට ළෙන්ගතුව මඟ කියා දුන්නෝ ය. මනුස්සකම් තාමත් ඉතිරිව තිබෙන බව ඒ කතාවන්වල වූ සුහදත්වය ම දෙස් දෙයි. සෞන්දර්යයක පරිපාකයක් කරා ඇදෙන්නේ වුව ද මේ ජීවත් වීම නම් අතිශය දුෂ්කර එකක් ම ය. ප‍්‍රධාන පාරේ සිට කිලෝමීටර එකහමාරක් පමණ ගෙවුණු තැනින් අපි වාහනය නතර කළෙමු. එතැන කුඩා නිවහනේ අත්තම්මා කෙනෙකු එළියට පැමිණියා ය. ‘‘ඔතනින් වාහනේ නවත්තල පහළට යන්න’’. අපි ටිකක් ආත්තම්මා හා කතා කරමු. ඉස්සර ඇය මෙතැන කුඩා කඩයක් කළාලූ. ඉන් පසුව කොන්දෙ අමාරුවත් එක්ක ඒක නතර වුණාලූ. ඇය දිගු කතාන්තරයක් අපට කීවා ය. කීවාම නොවේ. අපි අසා දැන ගත්තෙමු. ‘‘පරෙයියන් ඇල්ල කියන්නේ පරෙවියෙකු වගේ නිසා නොවේ. උඩ ගලක පරෙවියෙකුගේ රූපයක් කොටල තියෙනවා. නිධානෙක. ඒත් කාටවත් ගන්න බෑ.’’

මෙය මැණික් ගගේ අත්තකින් බිහිවුණක් නොව මේ නම් මැණික් ගඟමයි කියා මා නිවැරදි කළේ ඇයයි. දුන්හිඳයාය නම් වූ මේ ගම්මානය පුරා විසිර ඇති දුෂ්කරතාවය ඇය විස්තර කළා ය. පරෙයියන් ඇල්ලට පහළින් දුන්හිඳ ඇල්ල නමින් තවත් ඇල්ලක් ද ඇති බව ඇය හෙළි කළා ය. 

සියලූ විස්තර දැන අපි පඩිපෙළ දිගේ පහළට බසිමු.  





පඩිපෙළ කෙළවර මහත් සෞන්දර්යයයි. ඉතා කුඩා දිය ඇල්ලකි. එය පෙණ බුබුළු නංවමින් ගලා බසී. 



නමුත් ඇල්ලට ගඟ දිගේ පහළට යා යුතු ය. ගඟට බැස රෙදි සෝදා ගල් පොත්ත මත වේලෙන්නට දමා බලා සිටින අමුතු පුද්ගලයා අත දිගු කොට කීවේ එයයි. 

ගං ඉවුර දිගේ සැදුණ කැලෑ පාර දිගේ අපි ඇවිද යමු. 








අපේ බලූ මිත‍්‍රයාට තවත් මිතුරෙක් සෙට් වී ඇත. 



ඔවුන් දෙදෙනා ම අපට මඟ පෙන්වමින්, විටෙක අපට ඉස්සර වෙමින් ගමන් කළෝ ය. විටෙක මඟ දුෂ්කර ය. අතු ඉති මතින් පැන යා යුතු ය. මුලදී කොතරම් ආසාවෙන් ගමනට මුල පිරුවත් චින්තාට නම් මේ ගමන තෙහෙට්ටුදායක වනු ඇත. මේ පින්තූර දැක්කොත් ඇගේ මිතුරියන් අපටත් දොස් කියනු ඇතැයි අප අපට ම කියා ගත්තේ ඒ නිසා වන්නට ඇත. ගල් පොත්තක් මතට පැමිණියත් එකවර ඒ දසුන නොපෙනේ. හඬ ඔස්සේ අප මඟ සොයා යා යුතු ය. සොයන්නාට ලැබෙන සම්පතේ වටිනාකම නම් මේ යැයි කියන්නට මට වචන නැත. එක් ඇල්ලක් නොවේ ඇලි දෙකක් පහළට කඩා හැළේ. 






එහෙත් අප දැක ඇති මහත් පරසිදු දුන්හිඳ, දියලූම තරම් උස නැත මේ මනමාලි. කොට මනමාලියකි. කොට වුවත් සුන්දරත්වයෙන් ඈ ඒ කිසිවකට නොපරදියි. දුන්හිඳ මෙන් මෙහිද දුම් විසි වේ. පාමුල තඩාගය අතිශය ගැඹුරු එකකි. දිය නෑමට නම් සුදුසු නැතැයි සිතමි. වටේට ම කැලෑව ය. කඩා හැලෙන දිය දහරාව ඈතින් ඈතට ඇදී යයි. දැවැන්ත ගල් ගෙඩි දිය පහරට මතු නොව පෙදෙසට ම හැඩ තලයන් එක් කරයි. ගලින් ගලට පය තබමින් දිය ඇල්ලේ හොඳම රූප රාමුව සොයා යා හැකි ය. 













දෙපා දියේ ඔබාගෙන අපි පාතරාසය ගනිමු. රොටිවල වුවත් අමුතු රහක් මේ වාගේ වෙලාවල්වලදී දැනේ. මෙය ලූමිනස් කොළ පැහැ තටු තිබෙන කූරන්ගේ වාස භූමියක් බව උන් ම අප වෙත පැමිණ කියා සිටිති. 

වැඩි වේලා රැඳිය නොහැකි ය. යසිත් අයියා අප එනතුරු බලා ඇති. අද හවස ඩියුටිය මගේ ය. ඉතින් විනාඩි කිහිපයකට අප දෑස්වල පිපාසය සංසිඳුවා මහත් සෞන්දර්යයකින් හදවත පුරවා ලූ සෙනේවන්තියගෙන් සමු ගනිමු යළි එන පොරොන්දුව පිට.

පඩිපෙළ මුදුනේදී ආත්තම්මා සමඟ මුණුබුරෙක් ද අප එනතුරු බලා සිටිති. අපි ඔවුන්ගෙන් සමු ගෙන ආපසු ගමන් ඇරඹීමු. 



ගමන් සගයා අප පසුපස තාම දිව ඒ. කන්න දුන්නාට කෘතගුණයක් ද එය. මගදී හමුවන සංචාරකයෙක් පසුපස වැටෙන මුන් යළිත් එද්දී නැවත ආපසු පැමිණෙන්නකු හා පසුපස යයි. ‘‘දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙච්චාවෙ කියල ඔහෙ දවස ගෙවනව මුන්’’ අපේ ඇතැමුන් ද පතන්නේ අපිත් එයාකාරයෙන් වන්නට නොවේ ද. එවිට ඒ අයට හරි ලෙහෙසිය. එහෙත් නගුට දෙපරන්ද අස්සේ ගහගෙන පැත්තකට වී සිටින්නට නොහැකි ය. අපට ද යුතුකම් වගකීම් කියා දෙයක් ඇති බැවිනි. සෞන්දර්යය හැඟීම් නම් වූ දිය දහර තුළින් අපුළ වූ සිද්ධියක් රබර් බෝලයක් සේ මතු වෙයි.

ගැමුණු පී. දසනායක 
2017-12 ගිය ගමනක්